Main Logo

Wednesday 28 March 2018

විශ්වාසභංගයෙන් පසු


විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයට තව ඇත්තේ සතියක කාලයක්. විශ්වාසභංගයෙන් පසු කුමක් සිදුවේ ද යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ සිත්වල තියෙන්න පුළුවන්. සමහරවිට ඒ ගැන කතා කිරීම පිළිබඳ ව ඇතැමුන් විරුද්ධ වන්නත් පුළුවන්. විශ්වාසභංග යෝජනාව තවත් රංගනයක් පමණක් ලෙස හිතන දාර්ශනිකයනුත් ඉන්න පුළුවන්. මේ රටේ පඬියන් අමුතු ම ආකාරයක පිරිස්. මා විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට එයට විරුද්ධ ව මැරෙන්න ලැහැස්ති වුණු පඬියන් අද කියනවා ඕක කියන්න දෙයක් ය, හැම දෙයක් ම බොරු බව අපි දන්නවා කියා. නලින් ද සිල්වා කිව්වත් නැතත් හැම දෙයක් ම බොරු කියලා.




ඔවුන්ට අනුව නලින් ද සිල්වා කියන්න ඕන නැහැ හැම දෙයක් ම බොරු කියලා. ඔවුන් ඒ බව දැන හිටියලු. මට තේරුම් ගන්න බැරි මේ පඬියන් මෙතෙක් කල් විද්‍යාව පට්ටපල් බොරු කී එක ගැන උරණ වෙලා හිටියෙ මොක ද කියලා. හැම එකක් ම බොරු නම් ඉතින් ගුරුත්වාකර්ෂණයත් බොරු වෙන්න එපැයි. ඒත් ඔවුන් ම තමයි ගුරුත්වාකර්ෂණය තියෙනවා මෙන්න එය මට දැනෙනවා කියලා බෙරිහන් දුන්නෙ. එක පඬියකු අහලා තිබුණා අහවලා කියලා කෙනකු නැත්නම් අහවලාට වෙඩි තියන එක ප්‍රශ්නයක් නොවෙයි. වෙඩි තියන්නෙ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන න්‍යුට්‍රෝන ගොඩකට කියලා. එ පඬියා හිතනවා ඇති ඉලෙක්ට්‍රෝන බොරු නොවෙයි කියලා. නැහැ ඉලෙක්ට්‍රෝනත් බොරු වෙඩි තැබීමත් බොරු. ඒ සියල්ල අප සංස්කරණය කරගත් සංකල්ප. බෞද්ධ නොවන අයකුට කිසි දා ඒ තේරෙන්නෙ නැහැ. මේ කරුණු අබෞද්ධයන්ට කීම කාලය කා දැමීමක් පමණයි.



මේ පඬියන් ඒත් දන්නෙ නැහැ බොරු හා පට්ටපල් බොරු අතර තියෙන වෙනස. මා මේසය යැයි කිව්වොත් ඒකත් බොරුවක්. පොල් වැටෙනවා කිව්වොත් ඒකත් බොරුවක්. ඒවා සංයුක්ත ඉන්ද්‍රිය ගෝචර බොරු. එහෙත් මේ බොරු වියුක්ත කතන්දරවලින් තේරුම් ගන්න විට එතැන තියෙන්නෙ පට්ටපල් බොරු. මේ රටේ පඬියන්ට යමක් තේරුම් ගන්නට බොහෝ කල් ගත වෙනවා. අද පඬියන් සියල්ල බොරු කියන එක තේරුම් අරන්. ඔවුන්ට බොරු සහ පට්ටපල් බොරු අතර වෙනස තේරුම් ගන්න තව කල් යාවි. අපි එතෙක් ඉවසිල්ලෙන් බලා ඉඳිමු.



රනිල් ඉවත් කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය දිය යුතු ය යනුවෙන් පෙබරවාරි මැතිවරණයට බොහෝ කලකට පෙර මා කී කතාව මෛත්‍රිපාල හා මහින්ද මැතිවරණයට එකතු විය යුතු ය ලෙස තේරුම් ගත් පඬියන් ඉන්න රටක විශ්වාසභංගයට පසු කුමක් වේ ද යන ප්‍රශ්නය ඇසීම පවා සිරිසේනට කඩේ යෑමක් ලෙස හැඳින්වෙන්න පුළුවන්. මා සිරිසේන සමහ තවම ජීවිතේට වචනයක්වත් දුරකතනයෙන්වත් කතා කර නැහැ. මට ඔහු හමු වී ඇත්තේත් අවස්ථා දෙකක දී පමණයි. එයත් මහින්ද සමග ඔහු සිටි අවස්ථා. ඒ දෙක ම අරලියගහ මන්දිරයේ දී.



විශ්වාසභංගය මූලික වශයෙන් රනිල්ට විරුද්ධව. එයට ආණ්ඩුව යන කොටස අඩංගු වාක්‍යය ඇතුළත් කර ඇත්තේ එසේ නොකර රනිල් ඉවත්කරන්න බැරි නිසා. රනිල් අගමැති ව සිටිය දී විශ්වාසභංගය දිනුවොත් රනිලුත් ආණ්ඩුවත් අස්වෙන්න ඕන. එහි දී මෛත්‍රිපාල අස්වන්නේ නැහැ. මෙහි ආණ්ඩුව කියන්නෙ අගමැති සහිත ආණ්ඩුව. එවිට මෛත්‍රිපාලට වෙනත් අගමැති කෙනකු යටතේ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්න පුළුවන්. ඒ නව ආණ්ඩුවෙ ඇමතිකම් භාර ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයෙ නායකයන් සූදානම් නැහැ. ඒ අර මඩ ගා ගැනීමේ කතන්දරය හා 2019 ජනාධිපතිවරණයට සූදානම් වීමේ කතන්දරය අනුව. ආණ්ඩුව වෙනස් වීමත් සමග පරණ ආණ්ඩුවේ මඩ අලුත් ආණ්ඩුවට නොඑන බව ඔවුන් නොදන්නවා නො වෙයි.



විශ්වාසභංගය පැරදුණොත් රනිල් තවදුරටත් අගමැතිව ඉඳීවි. ආණ්ඩුවත් වෙනස් වන්නේ නැහැ. විශ්වාසභංගය පැරදීම පිළිබඳ විවධ කතන්දර පඬියන් කියාවි. රඟ පෑම නැවතත් කරළියට ඒවි. රනිල් මෛත්‍රිපාල විරසකය ම මුල හිටන් රඟ පෑමක් යැයි කියාවි. ඊනියා ජාතික ආණ්ඩුව දිගට ම තියේවි. මෛත්‍රිපාලට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නත් ඉඩ තියෙනවා. එහෙත් විශ්වාසභංගය දිනලා හදන ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක් වේවි ද? ඒ බව තීරණය වන්නේ එ ජා ප මත. ඔවුන් සමහර විට රනිල් වෙනුවට වෙනත් නායකයකු පත්කරගෙන ඒ තැනැත්තා හෝ වෙනත් අයකු හෝ අගමැති ලෙස පත්කර ගෙන ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවාවි.



එහෙමත් නැත්නම් ඒකාබද්ධ විපක්‍ෂය මඩ ගා ගැනීමට අකමැති බැවින් විශ්වාසභංගයට පෙර රනිල් අගමැති කමෙන් ඉල්ලා අස්වී වෙනත් අගමැති කෙනකු යටතේ නැවතත් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගනීවි. එයටත් විශාල සම්භාවිතාවක් තියෙනවා. අද රාජිත චම්පක සරත් ෆොන්සේකා ආදීන්  එවැන්නක් සඳහා සාකච්ඡා පවත්වන බව පේනවා. ඔවුන් මූලික වශයෙන් මහින්ද විරෝධීන්. මහින්දට දඬුවම් නොකළ නිසා ඔවුන් දැන් රනිල්ටත් විරුද්ධයි. ජාත්‍යන්තරයත් රනිල්ට අස්වීමට බලකරන බවක් පේනවා. මේ සියල්ලන්ට ඊනියා ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍යයයි. රනිල් ඉල්ලා අසවුවහොත් එය විශ්වාසභංගය දිනීමක් ලෙස සලකන්න බැරි වේවි.



අලුත් ජාතික ආණ්ඩුවක රාජිත  වැන්නකු අගමැති වීමට ඉඩ තියෙනවා. එය ජාතිකවාදීන්ගේ හොඳට හිටින්නේ නැහැ. ප්‍රා දේශපාලනය නැවතත් ඇති වෙන්න පුළුවන්.  එවිට සුදු වෑන් මොන තරම් සුදු ද කියා හිතෙන්නත් පුළුවන්. ජාතිකවාදීන්ට ඉදිරි දැක්මක් නැහැ. දැක්මක් දුන්නත් ගන්නෙත් නැහැ. රනිල් ඇතිව විශ්වාසභංගය දිනුවත් ඊනියා නව ජාතික ආණ්ඩුවක රාජිත වැන්නකු අගමැති වීමට ඉඩ තියෙනවා. මට නම් හිතෙන්නෙ විශ්වාසභංගය දිනුවත් නැතත් අප පරාද වන බවයි. මෙය කබළෙන් ලිපට වැටීමක් වේ වි ද?