Main Logo

Sunday 25 March 2018

අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?


අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?



ජනාධිපති මෛත්‍රිපාල පකිස්ථානයේ ජනරජ උළෙලට සහභාගි වෙලා ආපහු ඇවිල්ල. ඒ රටේත් ඉන්දියාවේත් ජනරජ දිනය තමයි වැදගත් ලෙස සැලකෙන්නෙ. එංගලන්තයෙන් නිදහස් වීම පළමු අවස්ථාවේ සම්පූර්ණ වන්නේ නැහැ. දෙවැනි අවස්ථාවේ දී තමයි ඒ රටවල් ජනරජ බවට පත්වුණෙ. ඔවුන්ට වැදගත් ජනරජයක් බවට පත්වෙච්ච දිනය. එදිනට තමයි විදේශීය රාජ්‍ය නායකයන්ටත් ආරාධනය කරන්නෙ. මෛත්‍රිපාල පකිස්ථාන් උළෙලට සහභාගි වෙන අවස්ථාවෙ කල්පනා කළා ද ලංකාවෙ ජනරජ දිනය පවත්වන්නෙ නැත්තෙ ඇයි ද කියලා. වසන්ත සේනානායක කල්පනා කෙළේ මොනවා ද?




අප මේ ජනරජ කතාව විටින් විට ලියලා තියෙනවා. මහින්ද ජනාධිපති කාලෙත් ලියලා තියෙනවා. නන්දිකඩාල් ජයග්‍රහණය හා ජනරජ දිනය එක දිගට ගෙන උත්සව පැවැත්වීම ගැනත් ලියලා තියෙනවා. නන්දිකඩාල් පූර්ණ ජයග්‍රහණයක් නොවන බව ඇත්ත. ඒත් අප අඩුම තරමෙන් පරදවන්න බැහැ කියලා රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද්ධ විශේසඥයන්  කියපු කොටි ත්‍රස්තවාදය පරාජය කළා. ඒත් කිසිවකු ඒ සතපහකට ගණන් ගත්තෙ නැහැ. සංහිඳියාව රකින්න ද දන්නෙ නැහැ.



කෙහොම වුණත් මැයි විසිදෙකට මොකද වුණෙ. සුළු කලක් මැයි විසිදෙක මෙරට නිවාඩු දිනයක් වුණා. ඒත් එ ජා ප ආණ්ඩු එය නැති කළා. එයට පසු මහින්දවත් මැයි විසිදෙක නිවාඩු දිනයක් කෙළෙ නැහැ.  ඒ මොකද කියන එක ප්‍රශ්නයක්. ශ්‍රී ල නි ප ප්‍රමුඛ ආණ්ඩුවල ජාතිකත්වයක් වගේ ම ව්‍යාජ සමාජවාදයකුත් තිබුණා. ඔවුන්ට ජනරජයක් වීම සුවිශේස සිද්ධියක් වෙන්න ඕන. හැරත් ලංකාව ජනරජයක් බවට පත් කෙළෙ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙ ආණ්ඩුවකින්. එහෙම තියෙද්දිත් මහින්ද ජනරජ උත්සතවයක් පැවැත්වීමක් ගැන හිතුවෙ නැත්තෙ ඇයි? අඩු තරමෙන් මැයි විසිදෙවැනි දා නිවාඩු දිනයක් නොකෙළෙ ඇයි? ශ්‍රී ල නි පක්‍ෂයෙ එකල මේ ප්‍රශ්නය කතා වුණෙ නැද්ද?         



අප මැයි විසිදෙක සම්පූර්ණයෙන් ම අමතක කරලා තවමත් පෙබරවාරි හතර සමරනවා. ඒකට එංගලන්ත රජ පවුලෙ චාල්ස්ලා එඩ්වඩ්ලා ගෙන්නනවා. මෙරට දේශපාලනඥයන් (හා උගතුන්) තරම් දීනයන් පිරිසක් ලෝකයේ වෙනත් රටක ඉන්න පූළුවන් ද? පකිස්ථාන අගමැති මෛත්‍රිපාලගෙන් ලංකාවෙ  ජනරජ දිනය සැමරීම ගැන අහන්නෙ නැතිව ඇති. ඇහුව නම් මෛත්‍රිපාලට දෙන්න පුළුවන් උත්තරය මොකක් ද?



සමහරවිට මාක්ස්වාදියකු කියන්න බැරි නැහැ  මෙරට තවම නිදහසක් ලබා නැති නිසා ඔය දින දෙකෙන් එකක්වත් සමරන්න ඕන නැහැ. සැබෑ නිදහස උදාවෙන්නෙ කම්කරු පංතිය රාජ්‍ය බලය අතට ගෙන ජනතාවට නිදහස ලබා දීමෙන් පසුව ය කියා කියන්න පුළුවන්. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙරට විතරක් නොවෙයි ලෝකයෙ කොහේවත් කම්කරු පංතියක් බෙහෙතකටවත් හොයා ගන්න බැරි වීම. කම්කරු පංතිය කියන්නෙ කම්කරුවන්ට නොවෙයි. ජාතියක් කියා දෙයක් නැහැ කියලා බෙරිහන් දෙන මාක්ස්වාදීන්ට කම්කරු පංතිය පෙන්නන්න පුළුවන් ද?



කාල් මාක්ස්ගෙ මාක්ස්වාදය විද්‍යාවක් නොවේය කියලා කාල් පොපර් කිව්වා. මාත් 1980 තරම් ඈත කාලයක මාක්ස්වාදය විද්‍යාත්මක ද කියලා දීර්ඝ ලිපියක් ලිව්ව. ඒ කාලෙ මා මාක්ස්වාදයෙන් සම්පූර්ණයෙන්වත් බටහිර විද්‍යාවෙන් කොහොමටවත් කැඩිලා තිබුණෙ නැහැ. අද නම් මට ඒ සියල්ල පට්ටපල් බොරු. ඒ වියුක්ත හින්ද නොවෙයි. මා එසේ කියන්නෙ බෞද්ධයකු ලෙස ද්වායතානුපස්සනා සූත්‍රය පදනම් කරගෙන. ඇතැමුන් පැවිදි ව සිටිය දී පවා ඒ සූත්‍රය අවබෝධ කර ගෙන නැහැ. දැන් නැවත පැවිදි වුණත් වැඩක් නැහැ. මා විඥානවාදියකුවත් ද්‍රව්‍යවාදියකුවත් නො වෙයි. බුදුදහමත් එසේමයි. බුදුදහමේ යථාර්ථයක් තියෙන බව කියන්නෙ ද්‍රව්‍යවාදීන්. යථාර්ථයක් නැත කී පමණින් විඥානවාදී යැයි කියන්නේ ද්විකෝටිකයෙහි හිරවුවන්. ඔවුන් චතුස්කෝටිකයත් ඇත්තේ කෝටික (අන්ත) දෙකක් පමණක් යැයි සිතනවා. 



බටහිර භෞතික විද්‍යාවෙ ගුරුත්වාකර්ෂණය නිව්ටන්ගෙ හිතළුවක්, පට්ටපල් බොරුවක් වුණත් ඒකෙන් වැඩක් ගන්න පුළුවන්. සමහර සංසිද්ධි ඒකෙන් විස්තර කරන්න පුළුවන්. එහෙත් මාක්ස්ගෙ පංතියෙන් විස්තර කරන්න පුළුවන් මොන කෙංගෙඩියක් ද? කම්කරු පංතිය ඉපදෙන්නෙ පංති විඥානය නැතිවළු. ඒක නියම ද්‍රව්‍යවාදී කතාවක්. කම්කරු පංතිය විඥානවාදී වෙන්න බැහැ. ඒක නිසා කම්කරු පංතියට පංති විඥානය පිටින් ගෙනි යන්න ඕන කියලා ලෙනින් කියලා තියෙනවා.



විජේවීර පංති පහක් පැවැත්වුවෙ මේ පංති විඥානය ගෙනි යන්න ද දන්නෙ නැහැ. ගුරුත්වාකර්ෂණය කියන්නෙ සමහර වෙලාවට හරි යන (හරි නොවෙයි) වැඩක් ගන්න පුළුවන් පට්ටපල් බොරුවක්. කම්කරු පංතිය කියන්නෙ කිසිම වැඩක් නැති කිසිම වෙලාවක හරි නොයන පට්ට ම පට්ටපල් බොරුවක්.  මාක්ස්වාදීන්ට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවකින්වත් නිදහස ලබා ගන්න බැහැ. පුටින්ගෙන් අහල බලන්න.



මෛත්‍රිපාල ඔය කසිකබල් මාක්ස්වාදය ගැන හිතන්න ඕන නැහැ. කොහොමටත් ඔහුට මේ දවස්වල විශ්වාසභංගෙ වැඩ ඇති. ඒ වුණත් නිවාඩු තියෙන වෙලාවක ජනරජ නිවාඩුව නැති කෙළෙ මොකද කියලා හිතනවා නම් හොඳයි. චන්ද්‍රිකාගෙන් හරි මහින්දගෙන් හරි අහලා බලන්න. මටත් උත්තරයක් තියෙනවා. ඒක පස්සෙ කියන්නම්. පෙබරවාරි හතර නිවාඩුව නැති කරලා මැයි විසිදෙක නිවාඩු දිනයක් කරන්න බැරි ද? අපේ අය හුඟක් වැඩ කරන නිසා පෙබරවාරි හතරත් නිවාඩුවක් දුන්නට කමක් නැහැ. ඒකට ජෙනිංග්ස් නිවාඩුව කියන්න පුළුවන්. මාර්තු දෙවැනිදාටත් නිවාඩු දීලා ඒකට ඩොයිලි නිවාඩුව කියමු. බැරි වෙලාවත් ඔය දින සඳුදාවක හරි සිකුරාදාවක හරි වැටුණොත් සති අන්තය දිර්ඝ කරගන්න පුළුවන්. සතිය දිර්ඝ කරන විධියක් නැද්ද? අර විද්‍යාවට හරිහමන් දෙයක් එකතු කරන්න බැරි  විද්‍යාඥයකු අපට කියලා දෙනවා ද?