Main Logo

Saturday 3 March 2018

කතන්දර



කතන්දර


මට කලකට පසුව ගිය සතියේ පඬියකු මුණ ගැසුණා. ඔහු කලක් චින්තන පර්ෂදයේ ද සිටියා. එහෙත් පසුව ඔහු ඉවත් වී ගියා. පසුගිය සතියේ දෙවරක් ම ඔහු මා මුණ ගැසීමට පැමිණියා. අප ටිකක් කතා කළා. එහෙත් ඔහුට වෙනත් අරමුණක් ඇති බව කලකට පසුවත් පෙනී ගියා.

එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් ආචාර්ය උපාධිය සඳහා කටයුතු කරන බවත් උන්වහන්සේට තමා යම් ආධාරයක් කරන බවත් ඔහු පැවසුවා. මට පළමුව කල්පනා වූයේ ඒ භික්‍ෂූන් වහනසේ නම ආචාර්ය උපාධියක් සඳහා වෙහෙසෙන්නේ ඇයි ද කියායි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයක සේවය කරනවා නම් ඒ සඳහා හේතුවක් තියෙනවා. එහෙත් උන්වහන්සේ එසේ විශ්වවිද්‍යාලයක සේවය කරන බවක් මා දන්නේ නැහැ.

අනෙක උන්වහන්සේ ධර්මධර භික්‍ෂූන් වහන්සේ නමක්.තරුණ හාමුදුරුනමකුත් නො වෙයි. උන්වහන්සේ හොඳට බෞද්ධ පොතපත කියවා තිබෙන බව පැහැදිලියි. වරක් උන්වහන්සේ මා හමුවීමට වැඩියා. මා සමග කතා කළ දෙයින් මට පැහැදිලි වූයේ උන්වහන්සේට මා ගැන පැහැදීමක් ඇති නොවුණු බවයි. මා එතරම් බෞද්ධ පොතපත කියවා නැහැ. උන්වහන්සේ පසුව මගේ මිතුරකු සමග පවසා ඇත්තේ මා බුදුදහම පිළිබඳ යම් යම් දේ කියන්නේ පොතපත නොකියවා බවයි. එය ඇත්ත. එහෙත් මා මට තේරෙන බුදුදහමක් ගැන කියනවා.

උන්වහන්සේ ආචාර්ය  උපාධිය සඳහා කිනම් ක්‍ෂෙත්‍රයක කරුණු එකතු කරනවා දැයි මා දන්නේ නැහැ. එහෙත් මා හමුවීමට පැමිණි පඬියා මගේ ලෝකයත් උන්වහන්සේට දී තියෙනවා. උන්වහන්සේට එහි මූලාශ්‍ර කවරේ දැයි දැන ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. එවිට පඬියා කුන්ගේ හා ෆෙයරාබෙන්ඩ්ගේ පොත් ලබා දී මුලාශ්‍ර එහි තිබෙන බව කියා තිබෙනවා. පඬියා වක්‍ර ව කියා ඇත්තේ මා අලුත් දැනුමක් එකතු කර නැති බවත් ඉංගිරිසි පොත්වල කරුණු සිංහලෙන් ලියන බවත්. මා අලුත් දෙයක් නොකියන බව චම්පක රණවකගේත් කාලෝ ෆොන්සේකාගේත් තවත් අයගේත් මතයයි.

මා අලුත් දෙයක් කියා ඇතත් නැතත් පඬියාට හා අනෙක් අයට අවශ්‍ය වී ඇත්තේ මා අලුත් දෙයක් කියා නැති බව කීමටයි. කලින් සඳහන් භික්‍ෂූන් වහන්සේ මා කෙරෙහි ප්‍රසාදයක් නැත්තේ මා බෞද්ධ පොතපත නොකියවා බුදුදහම පිළිබඳ මත ප්‍රකාශ කිරීම සම්බන්ධවයි. මා කියන දේ අලුත් ද නැත් ද බුදුදහමට එකඟ ද නැත් ද යන්න ගැන උන්වහන්සේ කිසිවක් දෙසූ බවට ආරංචියක් නැහැ. පඬියාට අවශ්‍ය මා අලුත් දෙයක් කියා නැති බවත් තවත් දේත් කීමයි.

මට මේ කිසිවකින් වැඩක් නැහැ කියා කියන්න අවශ්‍ය නැහැ. එහෙත් මෙරට යම් පිරිසක් මගෙන් අලුත් දැනුමක් එකතු වී නැති බව කියන බව නම් පැහැදිලියි. පඬියාට මා කතන්දර පිළිබඳ කතාව කිව්වා. මා ඔහුට කියා සිටියේ අපට වෙනත් අය ගැන විවිධ කතන්දර ඇති බවයි. මට ඔහු ගැනත් කතාවක් තිබෙන බව මා කිව්වා. ඔහු කියා සිටියේ එවැනි කතන්දර නැති බවත් හැකිනම් ඔහු ගැන ඇති මගේ කතන්දරය උපයෝගී කර ගෙන ඔහු එදින රාත්‍රී දොළහට කරන්නේ කුමක් ද යන්න කියන ලෙස අභියෝග කරන බවයි.

මෙය කතන්දර (ප්‍රවාද) නිර්මාණය පිළිබඳ සාකච්ඡාවකට අප ඇද දමනවා. කතන්දර විවිධාකාරයි. බටහිර භෞතික විද්‍යාව යම් යම් දේ ගැන අනාවැකි පළ කරනවා. ඒ අනාවැකි වියුක්ත ඒවා. එහෙත් බටහිරයන් ඒ වියුක්ත අනාවැකි සංයුක්ත නිරීක්‍ෂණ සමග සංසන්දනය කරනවා. එය රීති විරෝධියි. වියුක්ත අනාවැකි සංයුක්ත ප්‍රකාශ සමග සංසන්දනය කරන්නෙ කෙසේ ද? බටහිර භෞතික විද්‍යාවේ ඇත්තේ වියුක්ත ප්‍රවාද. ඒ වියුක්ත බව බටහිර සමාජයීය විද්‍යාවන්හි නැහැ. එසේ තිබිය දී සමාජයීය විද්‍යාවන්හිත් අනාවැකි පළ කරනවා.

එහෙත් භෞතික විද්‍යාවේ මෙන් වෙනත් කිසිම ක්‍ෂෙත්‍රයක අනාවැකි හරියන්නේ නැහැ. භෞතික විද්‍යාවේ අනාවැකිත් සියයට සියයක් හරියන්නේ නැහැ. හරියනවා කියන්නේ හරි කියන එක නො වෙයි. කොහොමටත් ඒ ඒ ක්‍ෂෙත්‍රවල අනාවැකි කියන්නෙ කතන්දර ආශ්‍රයෙන්. මේ කතන්දරවලට ප්‍රවාද කියලා කියනවා. පුද්ගලයන් සම්බන්ධයෙනුත් කතන්දර තියෙනවා. පඬියා කියන්නේ පුද්ගලයන් ගැන කතන්දර නිර්මාණය කරන්න බැහැ කියලා. එය වැරදියි. අපට අප දන්නා (ඕනෑම අර්ථයකින්) පුද්ගලයකු ගැන අදහසක් තියෙනවා. එසේ නැතිව බැහැ. ඒ අදහස් නැත්නම් කතන්දර අප හදාගන්න ඒවා. ඒ කතන්දර අනුව තමයි අප එක එක්කෙනා සමග වැඩ කරන්නෙ. ඒ කතන්දර සංයුක්තයි.

මා යම් පුද්ගලයකු කියලා කියන්නෙ මගේ කතන්දරයකට. ඒ කතන්දරය වෙනත් අයකු ඒ පුද්ගලයා කියලා කියන කතන්දරයට වෙනස්. මගේ කතන්දරය ඔබේ කතන්දරයෙන් වෙනස්. ඒත් අපට කතන්දර නැතිව පුද්ගලයන් සමග ගණුදෙනු කරන්න බැහැ. අප අපේ කතන්දර වෙනස් කරනවා. අප සමහර වෙලාවට කියනවා ඒ මා හිතන් හිටිය මිනිහ නොවෙයි කියලා. එයින් කියන්නෙ මගේ කතාව දැන් හරියන්නෙ වැඩ කරන්නෙ නැහැ කියලා. මා එවිට කතාව වෙනස් කර ගන්නවා.

මේ සංයුක්ත පෞද්ගලික කතාවලින් යමකු අද රාත්‍රී දොළහට කරන්නෙ කුමක් ද යන ප්‍රශ්නයට නිශ්චිත ව පිළිතුරු දෙන්න බැහැ. එහෙම අනාවැකි කියන්න බැහැ. අර පඬියා ගැන මගේ කතාවෙ (මේ කතාව තමයි පඬියා. පඬියා ගැන කතාව කියන එක වැරදියි) තියෙන්නෙ බොරු කාරයා, වංචනිකයා කපටියා වගේ දේ. එහෙත් ඇතැම් විට ඒ කතාව හරියන්නෙ නැහැ. ඕනෑම කතාවක් ගැන කියන්න තියෙන්නෙ ඒකයි. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂණ කතාවත් හරියන්නෙ නැති වෙලාවල් තියෙනවා.


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-03