Main Logo

Monday 12 March 2018

ගෝඨාභයගේ කඩුළු තුන


ගෝඨාභයගේ කඩුළු තුන



අප ඊයේ සඳහන් කළා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වයට පත් වී ඇති බව. මා ඔහුට සුබ පතනවා. එහෙත් ඒ පත්වීම ගැන මගේ ඇත්තේ සැක මුසු හැඟීම්. ඒ කරුණු කිහිපයක් නිසා. පළමුවෙන් ම ඔහු වටා සිටින අයට ජාතිකත්වයක් නැහැ. මා ජාතික චින්තනයේ අයකු නො වෙයි. මා ඒ බව කියන්නේ අද ඊයේ නො වෙයි. ජාතික චින්තනය ගුණදාස අමරසේකර බටහිරින් ගත් අදහසක්. ජාතික චින්තනය නමින් වෙබ් අඩවියක් තියෙනවා. එහි සාමාජිකයන්, අඩුම තරමෙන් එයට යම් අනුග්‍රහකත්වයක් දක්වන්නන් දසදාහක් පමණ ඉන්නවා ය කියනවා. ඒ අය අතරින් කී දෙනකු ගෝඨාභය කිට්ටුවෙන් ඇසුරු කරනවා ද? කිට්ටුවෙන් ඇසුරු නොකරන්නන්ට ඔහුට උපදෙසක් දෙන්න බැහැ. ගෝඨාභයට උපදෙස් දෙන්නන්ගෙන් කී දෙනකු ජාතික චින්තන වෙබ් අඩවිය ඇසුරු කරනවා ද?




ජාතිකත්වයක් ඇති සියළු දෙනා ජාතික චින්තන වෙබ් අඩවිය ඇසුරු කළ යුතු යැයි මා කියන්නේ නැහැ. එහෙත් මෙහි ගැටළුවක් තිබෙනවා. ගෝඨාභය වටා සිටින අය එදා මා කොල්ලුපිටියේ හෝටලයක පැවති රැස්වීමේ දී දුටුවා. ඔවුන් බොහෝ දෙනකු ගැන මගේ ඇත්තේ ප්‍රසාදයක් නො වෙයි. ජාතිකත්වය විවිධාකාරයෙන් ඇති බව මා පිළිගන්නවා. මා කරන්නේ මගේ කතන්දරය ඒත්තු ගැන්වීම පමණක් යැයි කියමින් විවිධ ලිපි විවිධ ජනමාධ්‍යවලට හුදීජන පහන් සංවේගය පමණක් සඳහා ම ලියන බවක් පෙන්වන අයත් ඉන්නවා. මටත් මේ ලිවීම කරදරයක් වෙලා. මා ලියන කිසිම දෙයක් සමාජය විසින් පිළිගැනෙන්නේ නැහැ. රනිල් ඉවත් කෙරෙන්නේ නැති බව දැන් ජී එල් පීරිස් නිතර භාවිතා කරන වචනවලින් නම් සක්සුදක් සේ පැහැදිලියි. ජාතිකවාදීන් ද රනිල් ඉවත් කිරීම ප්‍රශ්නයේ දී මට විරුද්ධයි.



ගෝඨාභය වටා සිටින්නවුන් ද රාජපක්‍ෂ පවුල ද රනිල් ඉවත් කිරීමට ගෝඨාභය මෛත්‍රිපාලට ශක්තියක් දෙනු දකින්න කැමති නැහැ. ගෝඨාභය වටා සිටින්නවුන් එසේ අකමැති වන්නේ එවැන්නකින් ගෝඨාභයගේ ජනාධිපති අපේක්‍ෂකත්වයට පහරක් වදින බව කියමින්. ආණ්ඩුවේ පවු කර ගසන්නට ගෝඨාභය ඉදිරිපත් නොවිය යුතු ය යන්න ඔවුන්ගේ අදහසයි. එය ආණ්ඩුවේ පවු කරගැහීමක් ලෙස දැකීම ම තමයි ප්‍රශ්නය. රනිල් ඉවත් කිරීම ආණ්ඩුවේ පවු කර ගැහීමක් වන්නේ කෙසේ ද? ආණ්ඩුව හැම ප්‍රශ්නයක් ම විපක්‍ෂය පිට පටවන්න සූදානම් වනවා වගේ ම විපක්‍ෂයත් හැම ප්‍රශ්නයක් ම ආණ්ඩුව පිට පටවන්න හදනවා. මෙයත් එක්තරා ආකාරයක ගණු දෙනුවක් (ඩීල්) වෙන්න පුළුවන්. මෙරට සිංහල බෞද්ධයනට එරෙහි ව සංස්කෘතික ආක්‍රමණ රාශියක් තිබිය දී ජාතිකත්වවාදීන් යැයි කියා ගන්නන් ද ජාතික චින්තන වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් ද ඒ සියලු ප්‍රශ්න ආණ්ඩුව පිටින් යවන්න හදනවා. මට ඔවුන් සමග කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඔවුන් කියාවි මා ආණ්ඩුවේ ඒජන්තයෙක් කියලා.  ඇතැම් ජාතිකවාදීන් යැයි කියන්නන් තවමත් හිතන්නේ රනිල් මෛත්‍රිපාල විරසකය රඟපෑමක් පමණක් බවයි. අතුරුදහන් වූවන්ගේ පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව තෙල්දෙණියේ සිද්ධී නිර්මාණය කළා යැයි කියන ජාතිකවාදී බුද්ධිමත් නීතිඥයන් ද මෙරට සිටිනවා. ඒ පනත කිසිම සංශෝධනයක් නැතිව සම්මත කර ගැනීම ගැන ඒකාබද්ධ විපක්‍ෂය ද වග කියන්න ඕන.



රනිල් අගමැති ව සිටිය දී ගෝඨාභයගේ ජයග්‍රහණය ගැන  කතා කිරීම තරමක ප්‍රශ්නයක්. රනිල් ඉවත් නොකර 2019ක් ගැන කතා කිරීම ඵලදායක නැහැ. කොහොමටත් ගෝඨාභයට කඩුළු තුනක් පනින්න තියෙනවා. පළමුවෙන් ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ජනාධිපති ධුරය උත්සවවලට පමණක් සීමා කළොත් ගෝඨාභය ජනාධිපති වීමෙන් වැඩක් නැහැ. අද තත්වය අනුව රනිල් යම්කිසි ආකාරයක ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට ඉඩ තියෙනවා. එමගින් ජනාධිපති බලතල කපා දමන්න ඉඩ තියෙනවා.



දෙවනුව නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමත් සමග ජනාධිපති බලතල කපා නොදැම්මත්  ජනාධිපතිවරණය කල් දැමීමටත් පාර්ලිමේන්තු කාලය දික්කර ගැනීමටත් ඉඩ තියෙනවා. එසේ වුවහොත් 2019 කල් යනවා. එවිට ගෝඨාභයට තවත් කල් බලා සිටින්න වෙනවා. මෙහි දී රනිල්ට බණ්ඩාරනායක මැතිණියගේ 1972 උදාහරණය තිබෙන බව අමතක කරන්න එපා. මා ඒ උදාහරණය ගැනීමට බැරි බවට ලිපි ලියා තියෙනවා. තර්ක කර තියෙනවා. එහෙත් ජාතිකත්ව මතධාරී පඬියන් මගේ මත හා තර්ක ප්‍රතික්‍ෂෙප කරන කල රනිල් ඒ පිළිගනි ද?



තුන්වැනුව ඒ කිසිම බාධාවක් නැතිව 2019 ජනාධිපතිවරණය පැවැත්වුවත් ජයග්‍රහණය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. පසුගිය පෙබරවාරි පළාත් පාලන මැතිවරණය ජනමත විචාරණයක් හෝ ආණ්ඩු පෙරළියක් ලෙස හෝ නොසලකන ලෙස මා ඉල්ලා සිටියත් පොහොට්ටුවේ නායකයන් එසේ කෙළේ නැහැ. ඒ මැතිවරණය පළාත් පාලන මැතිවරණයකට වඩා ජාතික මැතිවරණයක් වූවා. බොහෝ පොහොට්ටු ඡන්දදායකයන් තම කොට්ඨාසයට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයා ගැන සොයා බැලුවේ නැහැ. ඔවුන් ඡන්දය දුන්නේ මහින්දට ජනමත විචාරණයකට.



එහෙත් පොහොට්ටුවට මහරගම බයිසිකලයේ ඡන්ද ආදිය එකතු කළත් 46%කට වඩා ලැබුණේ නැහැ. මෙය 20-20 තරගයක් ටෙස්ට් තරගයක් සමග සැසඳීමක් නො වෙයි. එක් පඬියකු පෙබරවාරියේ දී ජනවාරි අටවැනි දා ජනවරම නැති වූ බව කීවේ පෙබරවාරිය 20-20 ලෙස සැලකීමෙන් නො වේ. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට ජනවරම අහිමි වූ බව කියන අතර 20-20 ගැන කතා කිරීම සංගත බව පිළිකන්නට විසිකිරීමක්. ඇතැමකු කීමට උත්සාහ කරනවා පනස්හයේදීත් ම එ පෙරමුණට ඡන්ද 36%කට වඩා ලැබුණේ නැහැ කියා. කොට්ඨාස ක්‍රමයට පමණක් පවත්වන මැතිවරණයක දී 36%ක් ඡන්ද ලබා පාර්ලිමේන්තුවේ ආසන බහුතරයක් දිනාගන්න පුළුවන්. එහෙත් ජනාධිපතිවරණයක දී 50%ක් හා එකක් ලබාගත යුතුයි. එමෙන් ම යම් ආකාරයක අනුපාත ක්‍රමයක් ක්‍රියාත්මක වන විටත් පාර්ලිමේන්තුවේ හෝ පළාත් පාලන ආයතනයක හෝ බලය ලබා ගැනීමට විශාල ඡන්ද ප්‍රමාණයක් අවශ්‍යයි. පෙබරවාරි 10 වැනි දා ද මෙය දැකගත හැකි වුණා. තවමත් පොහොට්ටුවට ආයතන ගණනාවක ම බලය නැහැ.



එක්සත්  ජාතික පක්‍ෂයට සාමාන්‍යයෙන් 30%ක පමණ ඡන්දයක් තියෙනවා. එසේ තිබිය දීත් ඒ පක්‍ෂය පාර්ලිමේන්තුවේ ආසන අටටකට සීමා වූ අවස්ථා තිබුණා. ජේ ආර් අනුපාත ක්‍රමය ඇති කෙළේ ම එ ජා පක්‍ෂය ඒ තත්වයෙන් මුදා ගැනීමටයි. ජනාධිපතිවරණය කියන්නේ එක් අතකින් බැලුවොත් තනිකර ම අනුපාත ක්‍රමය මත ක්‍රියාත්මක වන්නක්. අද  ජාතිකත්වයේ විවිධ ස්වරූපවලට  50%කට වඩා ඡන්ද තියෙනවා. එහෙත් ඒ තියෙන්නෙ විසිරලා. ගෝඨාභයට ඒ විසිරුණු ඡන්ද එකතු කරන්න වෙනවා. ඔහු වටා ඉන්නවුන්ට එය කළ හැකි ද යන ප්‍රශ්නය මතුවෙනවා. පොහොට්ටුව ඔහුට සම්පූර්ණ සහාය දේවි ද? දැන් මට සිරිසේනවාදියා මුග්ධයා බකපණ්ඩිතයා කොන්ත්‍රාත්කාරයා ආණ්ඩුවේ ගැත්තා ගේම් කාරයා මැන්ටලයා ආදී නම් පටබඳින්න.