Main Logo

Sunday 4 March 2018

ගෝඨාභය හා මෛත්‍රීබය



ගෝඨාභය හා මෛත්‍රීබය


ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම පිළිබඳ විවිධ කතා බහ කලක් තිස්සේ පැතිර යනවා. රණවිරුවන් දඩයම් කරන්නේ නැතැයි කියන ආණ්ඩුවක් රණවිරුවන් සම්බන්ධ ආරක්‍ෂක ලේකම්වරයා අත් අඩංගුවට ගන්න හදනවා. ආණ්ඩුව කියාවි අත්අඩංගුවට ගැනීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කටයුතු සම්බන්ධයෙන් නොවෙයි කියලා. රටේ සාමාන්‍ය නීතිය අනුව පුරවැසියකු සම්බන්ධ චෝදනාවකට පරීක්‍ෂණ කිරීම අදාළ අංශවල කටයුත්තක් කියා ආණ්ඩුව කියන්න පුළුවන්.

දැන් පොලීසිය හා සාමය සම්බන්ධ ඇමති රනිල්. තව කතාවක් තියෙනවා සරත් ෆොන්සේකාට ඒ ඇමතිකම දෙන්න යනවා කියලා. මෙය මෛත්‍රිපාලට තම විධායක බලය පෙන්වීමට ලැබෙන අවස්ථාවක්. ඔහුගේ කණ්ඩායමේ ඇමතිවරු ඒ පත්කිරීමට විරුද්ධයි. මෛත්‍රිපාලට පුළුවන් සරත් ෆොන්සේකා පත් නොකර සිටීමට. සරත් ෆොන්සේකාගේ සුදු කොඩි කතාව ඔහුට විරුද්ධ ව තිබෙනවා.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නීතිඥයන් පිරිසක් කටයුතු කරනවා. ඔවුන්ට අනුව ඔහුට විරුද්ධ ව උසාවියක වැරදිකරුවකු ලෙස තීන්දු කළ හැකි චෝදනාවක් නැහැ. එහෙත් ප්‍රශ්නය එය නො වෙයි. මෙය නෛතික ප්‍රශ්නයක් නොව දේශපාලනික ප්‍රශ්නයක් වීමයි. අද ඉන්නා පොලිස්පතිගේ හා නීතිපතිගේ අපක්‍ෂපාතීත්වය පිළිබඳ බොහෝ දෙනකුට විශ්වාසයක් නැහැ. අද නීතිය මෙහෙයවෙන්නේ දේශපාලනයෙනුයි. නීතිය නැවීම කියන එක ප්‍රසිද්ධ ඉංගිරිසි කියමනක්. ඉංගිරිසින් ද නීතිය නවනවා. ලංකාවේ ඇතැමුන් සම්බන්ධයෙන් නවන්න නීතියක් නැහැ. නීතියක් නැති තැන ඇත්තේ දේශපාලනයයි.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්විය හැක්කේ දේශපාලනයෙන් පමණයි. එනම් දේශපාලන බලතුලනයේ වෙනස් වීමකින්, වෙනස් කිරීමකින් පමණයි. අද මේ වන විට 2019 ජනාධිපතිවරණය ගැන සූදානමක් තියෙනවා. ප්‍රසිද්ධියේ මොනවා කීවත්, මොනවා නැතැයි කීවත්, පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය සඳහා ගෝඨාභයගේ හා බැසිල්ගේ නම් ඉදිරිපත් වී ඇති බව ප්‍රසිද්ධ රහසක්. මට නම් මෙය ප්‍රමුඛතා හඳුනා නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. 2019 දී ජනාධිපතිවරණයක් තිබේවි ද යන්න ගැන ස්ථිර විශ්වාසයක් තිබනවා ද?

රනිල් අගමැති තනතුරේ සිටිනතාක් මට නම් ඒ ගැන විශ්වාසයක් නැහැ. රනිල් නව ව්‍යවස්ථාව සම්මත කර ගෙන පාර්ලිමේන්තුව දික් කර ගන්නත් පුළුවන්. මා කියන දේ සමග මෙරට උගතුන් බහුතරයක් එකඟ වන්නේ නැහැ. ඔවුන් පසුගිය අවුරුදු තිස්පහක පමණ කාලයක කිසි දිනෙක මා සමග එකඟ වී නැහැ. මේ උගතුන් අතර දොස්තරලා ඉංජිනේරුවන්, පරිපාලන නිලධාරීන්, කලාකරුවන්, විද්වතුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදීන් සිටිනවා. මේ සම්බන්ධ හොඳම උදාහරණයක් නම් දොරමඬලා වැඩසටහනෙහි කාලෝ ෆොන්සේකා සමග ඇති වූ විවාදයයි. උගතුන් එදා බටහිර විද්‍යාවේ හා දැනුමේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටියා. ඒ ඒසේ වුවත් අදත් මගෙන් නූගතුන් යැයි කියන්නන් අසන්නේ එවැනි විවාද දැන් නොපැවෙත්වෙන්නේ ඇයි ද කියා. මා උගතුන්ගේ රාමුවෙන් පිට වී අවුරුදු තිස්පහක් පමණ වෙනවා.

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට නම් රනිල් අගමැති තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කී විට ඒ උගතුන් මට ඔරවනවා. රනිල් අගමැති තනතුරේ සිටිනතාක් ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළැක්විය නොහැකි බවත් 2019 ජනාධිපතිවරණය ගැන හිතන්න පෙර රනිල් ඉවත් කර සිටිය යුතු බවත්  කී විට ඔවුන්ට මට බැණ වැදීමට අවශ්‍ය වනවා. ඔවුන් මගේ මුහුණවත් නොබලා යනවා. රනිල් ඉවත් කළ යුතු යැයි මා කියන්නේ 2015 අප්‍රේල් පමණ කාලයේ සිටයි. ඒ ඔහු මෙරට ජාතිකත්වයට විරුද්ධ නිසා.  ජාතිකවාදීන් යැයි කියා ගන්නා බොහෝ දෙනා මෛත්‍රිපාලට ජාතිකත්වයක් නැතැයි කීමට නම් ඉදිරිපත් වෙනවා. එහෙත් ඔවුන් අමතක කරුණ මෛත්‍රිපාල පහුගිය ආණ්ඩුවේ ඇතැමුන්ගේ කෙණෙහිළිකම් නිසා ජාතිකත්වයට විරුද්ධ වූවන් විසින් යොදා ගැණුනු බවයි. ඔහු තමා යොදා ගැනීමට ඉඩ හැරීම සුදුසු යැයි මා කියන්නේ නැහැ. අවුරුදු තුනහමාරකට පසු අද ඔහු රනිල්ලාට විරුද්ධ වෙනවා.

එහි දී ඒ අරගලය සඳහා ඔහුගේ ශක්තිය වැඩි කිරීමට ඇතැම් මහින්දවාදීන් ක්‍රියා කරන්නේ නැතිවා පමණක් නොව ඒ අරගලයට අකුල් හෙළීමෙන් රනිල් තහවුරු කරනවා. එමගින් ඔවුන් බලාපොරොත්තුවන 2019 ජනාධිපතිවරණය නැති කර ගන්නවා. ඔවුන් නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමටත් වක්‍ර ව උපකාර කරනවා. අදවත් ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයට සහභාගි වීම ප්‍රතික්‍ෂෙප කරන්නේ නැත්තේ ඇයි?

මෛත්‍රිපාලට විරුද්ධව විදේශීය තානාපතිවරු හා ඔත්තු සේවා අද ක්‍රියාත්මක වෙනවා. මෛත්‍රිපාල එඩිතර පුද්ගලයකු නො වෙයි. ඔහු අඩුම තරමෙන් පහුගිය ආණ්ඩුව කාලයේ ඇමතිවරයකු ලෙස තමාට තිබිය යුතු බලය වෙනුවෙන්වත් සටන් කෙළේ නැහැ. පොහොට්ටුවේ ඇතැමුන් ඔහුට ශක්තිය ලබා දෙන්නේ නැහැ. ශක්තිය යනු මැතිවරණ ගිවිසුම් නොවන බව ඇතැම් පඬියන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් තම පඬිකම නිසා කලින් කීවේ රනිල් මෛත්‍රිපාල අරගලය රඟපෑමක් කියායි. අවශ්‍ය නම් ඔවුන්ට තවමත් එසේ කිව හැකියි. අවශ්‍ය ශක්තිය ලබා නොදී මෛත්‍රිපාල රනිල්ගේ සේවකයකු බවට පත් කර අප කිව්වෙ නැද්ද ඔය අරගලය රඟපෑමක් බව කියා අපෙන් අසන්න පුළුවන්. මෛත්‍රිපාලගේ ජාතිකත්වයක් නැති බවට අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයට සිංහල බෞද්ධ විරෝධීන් පත් කිරීම පෙන්නන්න පුළුවන්. ඔය කාර්යාලය පිහිටුවීමට බල කරන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල්. එංගලන්තය හා ඉන්දියාව අපේ ප්‍රධාන සතුරන් යැයි කී විට උගතුන්ගේ මුණු දික් වෙනවා. මෛත්‍රිපාලට විදේශවලින් රනිල්ගෙන් ඇති බලපෑම හමුවේ ඔහු රනිල්ගේ කීකරු ජයසූරියටත් වඩා කීකරු වෙනවා. විදේශීය බලපෑම්වලට මුහුණ දිය හැකි අතුරුදහන්වූවන්ගේ කාර්යාලය අතුරුදහන් කළ හැකි ආණ්ඩුවක් අද අද ම පත්කර ගන්න පුළුවන්. ඒ රනිල් ඉවත් කර මෛත්‍රිපාල ශක්තිමත් කිරීමෙන්. මෛත්‍රිපාල බයයි. අපට අවශ්‍ය ඒ බය නැති කිරීමටයි. ඒ මිස මෛත්‍රිපාල අද ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම නො වෙයි. එසේ ඉවත් කළොත් රනිල් ජනාධිපතිවීම වළක්වන්න බැහැ.

මෛත්‍රිපාල එක් පැත්තකින් බයයි තමා රනිල් හා ඔහුගේ මිතුරන් නැතිව ආණ්ඩුවක් පිහිටෙව්වෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන් විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල රනිල් සමග එකතු වී ඒ ආණ්ඩුව  පෙරළයි ද කියලා. ඔහු බයයි තමාට විරුද්ුධ ව දේෂාභියෝගයක් ගෙනේවි කියලා. ඒ නිසා ඔහුට අවශ්‍යයයි ඒකාබද්ධ විපක්‍ෂෙ කිහිප දෙනකුවත් නව ආණ්ඩුවේ ඇමතිකම් ගැනීමට. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂෙ ඇතැමුන්ට අද ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ඔවුන් හිතන්නෙ ආණ්ඩුවට ගොස් මඩ තවරා නොගෙන පළාත් සභා තරග කිරීමටත් 2019 ජනාධිපති වීමටත්. රනිල් බලයේ සිටියොත් 2019 ජනාධිපතිවරණය නොදී ඔවුන්ගේ ජනාධිපති සිහිනය බොඳ කරන්න පුළුවන්.

රනිල්ට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව දැන් ප්‍රසිද්ධ වෙලා. එහි දී ප්‍රවේසම් විය යුතුයි. රනිල් එ ජා ප නායකයා. ඔහුට තවමත් එ ජා පාක්‍ෂිකයන්ට බලපෑම් කරන්න පුළුවන්. විශ්වාසභංග යෝජනාව ගැන කීකරු ජයසූරිය කුමක් කරාවි ද? යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කරාවි ද? මේ ප්‍රශ්නවලට මුහුණ දීම මුහුණු පොතේ හුදකලාව වීර බයිලා කීම තරම් පහසු නැහැ. මහින්දගේ ශක්තිය මෛත්‍රිපාලට සක්‍රීය ව ලබා දෙන්නේ නම් එවැනි ප්‍රශ්නවලට බියක් සැකක් නැතිව මුහුණ දෙන්න පුළුවන්.           


________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-03-04