Main Logo

Wednesday 21 November 2018

2015, 2018 හා නව ව්‍යවස්ථාව


2015, 2018 හා නව ව්‍යවස්ථාව



රනිල් අගමැති ධූරය දැරීම නවත්තල මහින්ද අගමැති කිරීම ගැන කිසිවකුවත් අධිකරණය ඉදිරියට ගියේ නැහැ. එ ජා පක්‍ෂයේ නීතිඥයන් තම සේවාදායකයන් අධිකරණයට යෑමට උනන්දු කෙළේ නැද්ද? එගෙමත් නැත්නම් ඔවුන් එවැන්නකට විරුද්ධ වුණා ද? අන්තිමේ දී එ ජා පෙ කීවේ එය පාර්ලිමේන්තුවේ දී විසඳාගන්නවා කියා. එහෙත් පාර්ලිමේන්තුවට එහි දී කරන්න දෙයක් නැහැ. ඒ බව තමයි අද එ ජා පෙරමුණට අකමැත්තෙන් හරි මුහුණ දෙන්න වෙලා තියෙන්නෙ.




මෙහි නෛතික පැත්ත තවදුරටත් කියන්න අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාව ඒ සම්බන්ධයෙන් ඉතා පැහැදිලියි. එහි නෛතික පැත්ත ගැන මේ ලිපිවල සඳහන් කරලා ඇති.  හැරත් 2015 ඔය ජනාධිපති ම රනිල් අගමැති ලෙස පත් කෙළෙ ඔය විධියටමයි. රනිල්ලාට කරන්න පුළුවන් එක ම දෙය මහින්දගෙ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ ගේන එක විතරයි. වෙන කිසිම දෙයක් කරන්න බැහැ. එ ජා පක්‍ෂයට හරි එ ජා පෙරමුණට හරි 113ක් නොවෙයි 223ක් ඉන්නවයි කියලා පෙන්නුවත් වැඩක් නැහැ. එහෙම පෙන්නලා අගමැති වෙන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවෙ කොතැනකවත් නැහැ. 



එ ජා පක්‍ෂය විශ්වාසභංග යෝජනාවවත් නීතියට රීතියට සම්ප්‍රදායට අනුව ගෙනාවෙ නැහැ. කරු ජයසූරියගෙ තනතුර පාවිච්චි කරලා චන්ඩි කමෙන් මහින්ද අගමැති තනතුරෙන් ඉවත් කරන්න පුළුවන් කියලා රනිල් අනුර සුමන්තිරන් කල්ලිය හිතන්න ඇති. පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩ කරල ස්ථාවර නියෝග අත්හිටුවල විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් කියලා රනිල් අනුර සුමන්තිරන් කල්ලිය හිතන්න ඇති. ඒ සියල්ල දැන් සිහිනයක් පමණක් වෙලා.



අගමැති කියන්නෙ වෙන්න පුළුවන් දෙයක් නො වෙයි. අගමැති කමට ජනාධිපති යමකු පත් කරන්න ඕන. ඒ අධිකාරි බලය තියෙන්නෙ ජනාධිපතිට පමණයි. කතානායකටවත්, පාර්ලිමේන්තුවටවත්, පාර්ලිමේන්තු ගැලරියටවත්, විදේශීය තානාපතිවරන්ටවත්, පොලිස් බලකායකටවත් ඒ බලය නැහැ. මේ සරල කතාව රනිල් දන්නෙ නැතුව වෙන්න බැහැ. 2015 ජනවාරි 9 වැනි දා රනිල් අගමැති වුණේ නැහැ. ජනාධිපති ඔහු අගමැති තනතුරට පත් කළා. ඒ වෙලාවෙ රනිල් කිවුවෙ නැහැ තමන්ට පාර්ලිමේන්තුවෙ බලයක් නැහැ ඒ නිසා තමන්ට අගමැතිකම  භාර ගන්න බැහැ කියලා.



2015 හා 2018 අතර ඇති එක වෙනසක් තමයි රනිල්ගේ හා මහින්දගේ වෙනස. 2015 ජනවාරි 8 වැනි දා ජනාධිපති මහින්ද. අගමැති දි මු ජයරත්න. ජනවාරි 9 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල. රනිල්ට මන්ත්‍රීවරුන් හිටියෙ හතළිස් ගාණයි. දි මු ජයරත්නට තුනෙන් දෙකක් හිටිය. ජනවාරි 8 වැනි දා තිබුණෙ ජනාධිපතිවරණයක් මිසක් පාර්ලිමේන්තු මැතිවරණයක් නො වෙයි. අගමැති හරි අමාත්‍ය මණ්ඩලය හරි වෙනස් කරන්න කියලා ජනතාව ඡන්දයක් දීලා තිබුණෙ නැහැ. ඒත් මෛත්‍රිපාල ජනාධිපති ලෙස දිවුරුම් දීල මොහොතකින් රනිල් අගමැති කළා.



මහින්ද දි මු ට කිවුවෙ නැහැ අගමැති කමේ එල්ලිලා ඉන්න කියලා. එ ජ නි සංධානයට තිබුණ පාර්ලිමේන්තුවෙ රනිල්ගෙ ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන්න. ඒත් මහින්ද තම පාක්‍ෂික මන්ත්‍රීවරුන් එවැන්නකට පෙළඹෙව්වෙ නැහැ. ඔහු සිනහ මුසු මුහුණින් මැදමූලනට ගියා. ඒත් ජනතාව ඔහු ආපසු කැඳෙව්වා.



2018 ඔක්තෝම්බර් මාසෙ ඒ මෛත්‍රිපාල ම ඒ විධියට ම රනිල් අගමැති ධුරය දැරීම නතර කරලා මහින්ද අගමැති ලෙස පත් කළා. රනිල් අරලිය ගහ මැදුරෙන් ඉවත් වුණේ නැහැ. ඒ වෙනුවට ඔහු තමා අගමැති කියලා හැමෝට ම විශේෂයෙන් ම බටහිර තානාපතියන්ට කියන්න පටන් ගත්ත. කරු ජයසූරියගෙ ඊනියා ප්‍රජාතන්ත්‍රවදී සුදු රෙද්දට මුවා වෙලා මහින්දට හීයෙන් විදින්න පටන් ගත්ත. ඒත් හී වැදුණෙ කරු ජයසූරියටමයි. හීය රෙද්දෙන් එහාට ගියේ නැහැ. හීය රෙද්දෙ පටලැවුණා. පාර්ලිමේන්තුව ඇණහිටියා. අක්‍රීය වුණා.



දැන් රනිල් අනුර සුමන්තිරන් කල්ලිය පාර්ලිමෙන්තුව යහමගට ගන්න හදනවා. මේ කුමක් සඳහා ද? පාර්ලිමේනතුව අක්‍රිය වී නැති බව, අත්හිටුවා නැති බව අක්‍රිය නොවන බව අධිකරණයට පෙන්නන්න ද?  ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක වන බව පෙන්නන්න ද? එහෙමත් නැත්නම් ඊනියා කතානායක කරු ජයසූරිය ලවා නව ව්‍යවස්ථාව සහ  තවත් ව්‍යවස්ථා විරෝධී පනත් සම්මත කර ගත් බව ප්‍රකාශ කරවා ගැනීමට ද?



තමන් 2015 ජනවාරියේ දී පිළිගත් විධායක ජනාධිපති බලතල 2018 ඔක්තෝම්බරයෙහි ප්‍රතික්‍ෂෙප කිරීමෙන් රනිල්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හඳුනා ගන්න පුළුවන්. ඔහු අද අනුර හා සුමන්තිරන් මත යැපෙනවා. දෙමළ ජාතික සංධානයත් ඒ සම්බන්ධයෙන් දෙදරලා. ක්‍රිස්තියානි බටහිරින් ආධාර ලබන ක්‍රිස්තියානි සුමන්තිරන් අද යෙදී සිටින්නේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක. ඔහු තම සිංහල බෞද්ධ විරෝධී නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි ව වියරු වැටිලා. සිවල් සමාජය කසිකබල් මාක්ස්වාදීන් සහ තවත් අය වැඩ කරන්නෙත් නව ව්‍යවස්ථාව වෙනුවෙන්. සුමන්තිරන්ගෙ නාමික නායක සම්බන්ධන් බටහිර තානාපතීන්ට නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නොහැකි වීම ගැන අඳෝනා කියලා.



අනුර දිසානායක හා විජිත හේරත් වැඩ කරන්නෙත් ඒ සඳහා ම පමණයි. අනුර රනිල්ට අරලිය ගහ මන්දිරයෙන් යන්න කියන්නෙ ව්‍යාජ මධ්‍යස්ථබවක් පෙන්වන්න. ඔහුට අවශ්‍ය මහින්ද අගමැති කමෙන් ඉවත් කරල නව ව්‍යවස්ථාව සම්මත කර ගන්න.  ජ වි පෙ ඔහු ඉවත් කරන්න කටයුතු කරන්නේ නැත්තේ එහි අද කිසිම ජාතිකත්වයක් නැති බව පෙන්නමින්. නැති පංතියක් ගැන කතා කරමින් සම්මුති අර්ථයකින්  ඇති ජාතිය ප්‍රතික්‍ෂෙප කරන කසිකබල් මාක්ස්වාදීන්ට කම්කරු පංතියක් පෙන්නන්න බැහැ. තවමත් කිසිවකුටවත් කම්කරු පංති විඥානය කම්කරුවන්ට ගෙනියන්න බැරි වෙලා. කාල් පොපර් මාක්ස්වාදය විිද්‍යාවක් නොවේය කිව්වත් මාක්ස්වාදය තමයි බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කියන්න තියෙන හොඳ ම උදාහරණය. 



රනිල් අනුර සුමන්තිරන් අත්වැල් බැඳ ගෙන ඉන්නෙ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා. මේ අවස්ථාව මග හැරුණොත් එය කර ගන්න බැරි බව ඔවුන් දන්නවා. ඒ මිසක් ඔවුන්ට ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය  2015 එක විධියකටත් 2018 තව විධියකටත් ක්‍රියාත්මක වෙන්න බැහැ.