Main Logo

Wednesday 28 November 2018

පාර්ලිමේන්තු වැඩ කිඩ


පාර්ලිමේන්තු වැඩ කිඩ



ඊයේ ඊනියා කතානායක න්‍යාය පත්‍රයක් නැතිව පාර්ලිමේන්තුව කැඳවලා. ඔහු වැඩ කරන්නේ රනිල්ගේ හා සුමන්තිරන්ගේ අවශ්‍යතාවට බව නැවත නැවතත් කියන්න අවශ්‍ය නැහැ. රනිල්ටත් එතරම් දක්‍ෂ නීතිිඥයන් නැති බව පැහැදිලියි. ඔවුන්ට දැන් චොක්සි කෙනෙක් නැහැ. අද එ ජා පක්‍ෂය අමාරු තත්වයක ඉන්නෙ. ඔවුන්ගෙ මුහුණුවලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. මේ තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් රනිල් වෙනුවට සජිත් හරි නවින් හරි රවි කරුණානායක හරි අගමැති කිරීමේ වෑයමක යෙදී ඉන්නවා.




එහෙත් එය හරියන වැඩක් නො වෙයි. තවමත් පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තියෙන්නෙ මහින්දට. රනිල් අගමැති පදවියට පත් කළ යුතු යැයි කියා මන්ත්‍රීවරුන් සිය දෙනකුවත් දිවුරුම් පෙත්සම් මගින් කියන එකක් නැහැ. සජිත්ට රනිල්ට තරම්වත්  පිරිසක් නැහැ. සජිත් අගමැති කරන්න කිවුවොත් මෛත්‍රිපාලට අහන්න පුළුවන් සජිත්ට මහින්දට වඩා මන්ත්‍රීවරුන් ඉන්න බව පෙන්වන්න කියා. එහි පළමු පියවරක් ලෙස රනිල් එ ජා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කර සජිත් නායකත්වයට පත් කර ගන්න කියා ඉල්ලන්න පුළුවන්. අනෙක් අතට සජිත් කියන්නෙ රනිල් නායකයා ලෙස ඉන්නකම් තමන් අගමැති නොවන බව කියා ඇති පුද්ගලයෙක්. මෛත්‍රිපාල රනිල් අගමැති ලෙස පත් කරන්නේ නැහැ. එමෙන් ම ඔහුට රනිල් එ ජා පක්‍ෂයේ නායකයා ලෙස සිටිනතාක් ඒ පක්‍ෂයේ වෙන අයකු අගමැති ලෙස පත් කරන්නත් බැහැ.  



මේ අතර අර උපැවිදි මූසිලයා මට වරදිනකම් බලන් ඉන්නවා. ඔහුට රනිල් බලයට පත් වුණත් කමක් නැහැ මා වැරදි කියා පෙන්නන්න පුළුවන් නම්. ඔහු කියන්නේ මට කීර්තියක් අත් කර දෙන්න තම ශ්‍රමය ධනය කාලය කැප කළා කියා. ඔහු මා වෙනුවෙන් සුළුවෙන් හරි යමක් කර ඇත්නම් ඒ ගැන පින් දෙනවා. ඔහු කෙසේ කීවත් මට කිසිම අයකු මෙහෙයවන්න බැහැ. චින්තන පර්ෂදයේ අයවත් මා කියන ආකාරයට වැඩ කරන්නේ නැහැ. චින්තන පර්ෂදය කියන්නෙ මාක්ස්වාදී පක්‍ෂයක් නොවෙයි. එහි සාමාජිකයන්ට පූර්ණ නිදහස තියෙනවා.



අද එ ජා පක්‍ෂයට රනිල් හැර විකල්පයක් නැහැ. චම්පකලා රාජිතලා ආරම්භයක්වත් නැති අශ්වයන් පමණයි. ඔවුන්ට රනිල් නැත්නම් පිහිටක් නැහැ. ඔවුන්ට පමණක් නොව කරුණාරත්න ජයසූරියටත් එහෙමයි. ඊනියා කතානායක ස්ථාවර නියෝග දරුණු ලෙස උල්ලංඝනය කරනවා. පාර්ලිමේන්තු වැඩ කටයුතු තීරණය කෙරෙන්නේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මගින්. එහි සංයුතිය හා රාජකාරි නියම කෙරී ඇත්තේ 115 වැනි ස්ථාවර නියෝගයෙන්.



ඒ ස්ථාවර නියෝගය අනුව කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා උප සභාපති, සභානායක, විරුද්ධ පක්‍ෂයේ නායක, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, විරුද්ධ පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක හා තේරීම් කමිටුවෙන් නම් කෙරෙන තවත් අටදෙනකුගෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සමන්විත වෙනවා. එහෙත් මේ කාරක සභාවවත් ස්ථාවර නියෝග 116න් කියැවෙන ස්ථාවර නියෝග කාරක සභාවවත් වෙනත් කිසිම කාරක සභාවක්වත් පිහිටුවා නැහැ.



පාර්ලිමේන්තුවේ කටයුතු කාලය බෙදීම ආදිය සභානායකවරයා විමසා කතානායක පාර්ලිමේන්තු  කටයුතු පිළිබඳ කාරක සභාවට යොමු කරන්න ඕන. ඒ සලකා බලා පාර්ලිමේන්තුවේ කටයුතු කාලය බෙදීම ආදිය තීරණය කිරීම එම කාරක සභාවේ රාජකාරිය වෙනවා. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ දළ සැකැස්මක්, පිළිවෙළ, ස්ථාවර නියෝග 22න් කියැවෙනවා. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන්න ඕන.



එහෙත් මේ කාරක සභාව තවම පිහිටුවලා නැහැ. ඊනියා කතානායක සභානායක පිළිගන්නෙත් නැහැ ආණ්ඩුවක් තියෙන බව පිළිගන්නෙත් නැහැ. ඒ නිසා මේ කාරක සභාව පිහිටුවන්නත් බැහැ. ඒ අතර රනිල් කියනවා අගමැති තෝරන්නෙ පාර්ලිමේන්තුවෙන් කියලා. 2015 ජනවාරියේ හා අගෝස්තුවේ රනිල් අගමැති කෙරුවෙ පාර්ලිමේන්තුව ද? රනිල් ඊනියා කතානායකට වැරදි උපදෙස් දෙන අතර තම අනුගාමිකයන් නොමග යවනවා. අගමැති පත් කිරීම තනිකර ම ජනාධිපතිගෙ වැඩක්.



අදාළ කාරක සභා නොපිහිටුවා ආණ්ඩුවක් තියෙන බව නොපිළිගෙන ස්ථාවර නියෝගවලට පටහැණිව ඊනියා විශ්වාසභංග යෝජනා සම්මත කර ගෙන ඊනියා කතානායක තමාගේ ම වූ ඊනියා ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ අටවා ගෙන ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට පටහැණි ව ක්‍රියා කරනවා. ඊනියා අණ පනත් සම්මත කර ගන්නවා. එහෙත් එහි කිසිම වලංගු බවක්වත් අධිකාරි බලයක්වත් නැහැ. ඊනියා කතානායක ජනතාවගේ පරමාධිපත්‍යයේ ව්‍යවස්ථාදායක බලය පැහැර ගෙන.



ඊනියා කතානායක මේ වැඩ කරන්නේ පාර්ලිමේන්තුවට පිටින්. ඔහු කරන වැඩ පාර්ලිමේන්තුවේ තීරණ අනුව ගත් දේ නො වෙයි. එබැවින් ඔහුට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්. ඔහුට රනිල් වෙනුවෙන් දඬුවම් විඳින්නට වුවහොත් රනිල් කරදර වෙන එකක් නැහැ.



ඊයේ ආශු මාරසිංහ යෝජනාවක් ඉදිරිපත් කෙළේ ස්ථාවර නියෝග 19 යටතේ කියා කිවුවා. එහෙත් ස්ථාවර නියෝග 19 අනුව එවැනි යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ ස්ථාවර නියෝග 22 යටතේ ඇති ප්‍රශ්න අවසාන වූ විට. එහෙත් අද ස්ථාවර නියෝග 22 ක්‍රියාත්මක වන්නේ  නැහැ. ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවක් නැති නිසා. ආශූ මාරසිංහ දක්‍ෂ නීතිඥයකුගෙන් උපදෙස් ගන්නවා නම් හොඳයි.



අද පාර්ලිමේන්තුවට වඩා හොඳින් මෙරට ඇති අනෙක් සභා ක්‍රියාත්මක වන්නේ යැයි හිතන්න පුළුවන්. පාර්ලිමේන්තුව අද වැඩ කරන්නේ රනිල්ට හා සුමන්තිරන්ට, ඉනුත් වැඩියෙන් ම සුමන්තිරන්ට අවශ්‍ය විධියට. අද ක්‍රිකට් පමණක් නොව නීතිය හා ව්‍යවස්ථාදායකය ද දෙවරක් ක්‍රිස්තියානිකරණයට ලක් වෙලා. කොහොමටත් මේ සියල්ල බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රතිඵල. අද දෙවැනි වරකටත් ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි ආධිපත්‍යයට යට වෙලා. මේ පරාජය කිරීමට අද පාණදුරා වාදයක් මදි. එ ජා පක්‍ෂයේ අද සේනානායකලාගේ තිබූ මාත්තු ජාතිකත්වය ලේක්හවුස් විජේවර්ධන ඩෙප්ලාට කෙමෙන් යට වෙනවා.  වසන්ත සේනානායක පෙන්නුම් කරන්නේ සේනානායකලාගේ ජාතිකත්වය හා විජාතිකත්වය අතර තිබූ දෝලනයයි. අද දවසේ එය ඒ පැත්තට මේ පැත්තට පැනීම් ලෙස සැලකෙනවා.