Main Logo

Tuesday 27 November 2018

කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්


කුමන්ත්‍රණ හා අශිෂ්ටකම්



බොහෝ දෙනකුට ඊයේ පළ වූ ලිපියේ කාශ්‍යප රජු සහ සකර්බර්ග් සසඳමින් ලියූ දේ එක්කෝ තේරී නැහැ. එහෙමත් නැත්නම් එහි ඇගයීමට තරම් දෙයක් නැහැ. කැටපත් පවුර ඉදි කළ කාශ්‍යාප රජුට කොහොමටත් සකර්බර්ග්ට ලැබෙන පිළිගැනීම ලැබෙන්නේ නැහැ. කැටපත් පවුර ගැන කතා කරන අයට wall කියන්නෙත් පවුරක් බව වැටහෙන්නේ නැහැ. ඔවුන් තම wall එක ගැන ආඩම්බරයෙන් කියනවා. එහෙත් ඒ wall  සියල්ල අවසානයේ දී එක් පවුරක් බවට පත් වනු ඔවුන් දකිනනේ නැහැ. ඔවුන් මූහුණු පොතේ පවුරේ කුණුහරුප ලියනවා. මා ලියුවේ කුමක් ද කියාවත් ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ද තේරුම් ගෙන නැහැ.




මා ලියන දේ මූසිලයන් විසින් ප්‍රතික්‍ෂෙප කෙරෙනවා. එක් උපැවිදි මූසිලයකු මහින්ද අගමැති පදවියට පත් වීම වරදින තුරු බලා සිටින්නේ මට එහි වැරැද්ද පැටවීමටයි. මූසිලයන් ගැන මට අවබෝධයක් තියෙනවා. ආසනික් ප්‍රශ්නයේදීත් මා එය හොඳාකාර ව දුටුවා.  මෙරට ජාතික ව්‍යාපාරයේ අය ගැන මා හොඳින් දන්නවා. මගේ ලිපි මාධ්‍යවල පළ කිරීම වළක්වන්නේ බොහෝ විට ඔවුන් විසිනුයි. ආසනික් ප්‍රශ්නයේ දී ගුණදාස අමරසේකර කිසිවක් නොකළ නමුත් ජාතික ව්‍යාපාරයේ අනෙක් දන්ත වෛද්‍යවරුන්ට ඔහු ලවා පෙරවදන් ලියවා ගැනීමට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. මා විද්‍යාඥයකු වීමට නොහැකි වූ පුද්ගලයකු ලෙස ඔවුන් දකිනවා වෙන්න ඇති.



මහින්ද අගමැති පදවියට පත් කෙරී ඇත්තේ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාවට එකඟ ව. එහෙත් එය ඊනියා ජාතික ආණ්ඩුව බිඳ වැටීම සමග සම්බන්ධයක් නැහැ. ඒ ජී එල්ලා  සරත් සිල්වාලා සුපුරුදු පරිදි මහින්දට එල්ලීමට දෙන ලණුවක් පමණයි. මහින්ද අගමැති පදවියට පත් කිරීමේ ව්‍යවස්ථානුකූල බව ගැන මා කලින් ලිපිවලත් දෙරණ සමග පැවැත් වූ සාකච්ඡාවකදීත් කියා ඇති.  ඒ සාකච්ඡාව ප්‍රචාරය වන දිනය දැන්වීමට එහි නිෂ්පාදක පොරොන්දු වූ නමුත් එසේ කෙළේ නැහැ. මා ඒ දිනය හා වෙලාව දැනගත්තේ වෙනත් ක්‍රමයකින්. මහින්ද අගමැති පදවියට පත් කෙරුණේ එ ජා පෙරමුණේ ඇතැමුන් කියන පරිදි කුමන්ත්‍රණයකින් නම් නො වෙයි. එය කෙරුණේ ව්‍යවස්ථාවේ 42(4) හා 43(3) අනුව්‍යවස්ථා යටතේයි. ජනාධිපතිට ඒ සඳහා බලතල තියෙනවා. ජනාධිපති ව්‍යවස්ථාවට එකඟ ව කරන දෙයක් කුමන්ත්‍රණයක් වන්නේ කෙසේ ද?



රනිල් ඉවත් කිරීමට අවශ්‍යාතාව ඇති වුණේ ඊනියා දින සීයේ ආණ්ඩුව ඇති වී මාස තුනකින් මහා බැංකු බැඳුම්කර වංචාවත් සමග. එදා සිට මෙරට ආණ්ඩු දෙකක් තිබුණා. එකක් රනිල්ගේ ආණ්ඩුව අනෙක මෛත්‍රිපාලගේ ආණ්ඩුව. ඒ බව කබීර් හෂීම් නොදන්නවා වෙන්න බැහැ. අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ආණ්ඩු දෙක ක්‍රියාත්මක වන ආකාරය ඔහු නොදැන සිටියේ යැයි කියන්න බැහැ. අමාත්‍යවරුන් සමග කිසිම සම්බන්ධයක් නොතිබූ අපටත් නීතියෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික ව ආණ්ඩු දෙකක් තිබුණා. ඒ බව අද ජනාධිපති ද පිළිගෙන තියෙනවා. කබීර් හෂිම් ඊනියා නෛතික ආණ්ඩුවක් ගැන කියන්නේ ආණ්ඩු දෙකේ කතාව වසා දැමීමට.



ආණ්ඩු දෙකෙන් වඩා බලවත් වූයේ රනිල්ගේ ආණ්ඩුව. ඒ ආණ්ඩුව කළ ජාතිද්‍රෝහී ව්‍යවස්ථා විරෝධී  වැඩ සියල්ල හෙළි දරවු කළ යුතු ය. මහා බැංකු බැඳුම්කර වංචාව එකක් පමණයි. එය වසා දැමීමට හඳුන්නෙත්ති වාර්තාවෙන් ද උත්සාහයක් දරා තියෙනවා. ජ වි පෙරමුණ ද රනිල්ගේ ආණ්ඩුවේ කොටස් කාරයෙක්. සියල්ල වැරදී ගොස් ඇති ජ වි පෙ අද තම පව් වසා ගැනීමට හා තම අනුගාමිකයන් රැවටීමට රනිල්ගේ ආණ්ඩුව විවේචනය කරනවා.



රනිල් හා රනිල්ගේ ආණ්ඩුව ඉවත් කිරීමට මෛත්‍රිපාලට ශක්තියක් තිබුණේ නැහැ. ජාතික ව්‍යාපාරයේ ඇතැමුන් සාවඥ ව කිව්වේ මෛත්‍රිපාලට මයිලෝ දිය යුතු බවයි. ඒ ශක්තිය ලබා දිය යුතුව තිබුණේ ජනබලය ඇති මහින්ද විසින්. එහෙත් පෞද්ගලික ප්‍රශ්න මත දේශපාලනයෙහි යෙදෙන ඇතැමුන් එය වැළැක්වූවා. පසුගිය පෙබරවාරියේ පොහොට්ටුව, ශ්‍රී ල නි ප හා එක්සත් ජනතා නිදහස් සංධානය එකතු වී 59%ක පමණ ඡන්දයක් ලබා ගත්තා. එය පාර්ලිමේන්තු මැතිවරණයක් නොවූවත් එයින් පැහැදිලි වූයේ 36%ක පමණ ඡන්දයක් ලබා ගත් එ ජා පෙරමුණට ඒ වන විටත් ජනවරමක් නොතිබූ බවයි. ඇතැම් මෛත්‍රිපාල විරෝධී මහින්දවාදීන් නොවන්නට අඩුම තරමෙන් එ අවස්ථාවෙහි රනිල් හා රනිල්ගේ ආණ්ඩුව ඉවත් කිරීමට තිබුණා. දැන් එ ජා පෙරමුණු ඡන්දය 36%ටත් අඩුයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවොත් ඒ බව පෙනී යන බව එ ජා පෙරමුණ දන්නවා. ඔවුන් මැතිවරණයකට විරුද්ධ එබැවිනුයි.



ඔවුන්ට අවශ්‍ය 2015 ලබා ගත් ජනවරම දැන් නැති වුවත් තව දුරටත් රනිල්ගේ ආණ්ඩුව පවත්වාගෙන යෑමටයි. එය තමයි කුමන්ත්‍රණය. පැරණි ජනවරමක් අනුව ආණ්ඩු කිරීමයි කුමන්ත්‍රණය. මේ ව්‍යවස්ථාව ප්‍රජාත්ත්‍රවාදයට ගරු කරන්නේ නැහැ. කලින් අවුරුද්දකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තිබුණා. එහෙත් දහනවවැනි ව්‍යවස්ථාවෙන් එය අවුරුදු හතරහාමාරකට කල් දැමුණා. තුනෙන් දෙකක  තවත් කොන්දේසියක් ද දැම්මා. එහෙත් ජාතිද්‍රෝහි ආණ්ඩුවක් සහිත පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට මුළු මහත් ජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන ජනාධිපතිට බලය ලැබුණා. එය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතුල් කරන ලද 62(2) අනුව්‍යවස්ථාවෙන් ජනාධිපතිට තිබෙනවා. එහෙත් ජී එල්ලා නන් දොඩවන 33(2) (ඇ) අනුව්‍යවස්ථාවෙන් ඒ බලය ජනාධිපතිට ලැබෙන්නේ නැහැ. 33(2) (ඇ) අනුව්‍යවස්ථාවෙන් දෙන දේ 70 (1) අනුව්‍යවස්ථාවෙන් නිෂේධ වෙනවා.



එහෙත් 62(2) අනුව්‍යවස්ථාව යෙදා ගැනීම යුක්ති යුක්ත කළ යුතුයි. ඒ සඳහා පෙබරවාරියේ ලැබූ ජනවරම උපකාර වෙනවා. අනෙක් පැත්තෙන් ව්‍යවස්ථානුකූල ව පත් කරනු ලැබූ අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් සහිත පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමට, අත්හිටුවීමට ඊනියා කතානායක ක්‍රියා කිරීමෙන් ඔහු (3) ව්‍යවස්ථාවේ හා (4)(අ) අනුව්‍යවස්ථාවේ සඳහන්  ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය පැහැර ගෙන තියෙනවා. 62(2) මත ක්‍රියා කිරීම ඒ අනුව යුක්ති යුක්ත කෙරෙනවා.



අනෙක් අතට දේශපාලන අශිෂ්ට බවේ ගිලී ඇති ජ වි පෙරමුණ  ජනාධිපතිගේ මේ  ක්‍රියා අශිෂ්ට යැයි කියනවා. ඡන්දය දීමට පැමිණෙන අයට මරණ වරෙන්තු නිකුත් කළ ජ වි පෙරමුණට දේශපාලන අශිෂ්ටකම් ගැන කතා කිරීමට අයිතියක් තියෙනවා ද? ඒ කුමක් වුවත් ජ වි පෙරමුණ එ ජා පෙරමුණේ අශිෂ්ටකම් එදත් අදත් වහනවා. අද බොරුවට කෑ ගැහුවත් හඳුන්නෙත්ති වාර්තාවෙන් සම්පූර්ණ කතාව නොකියැවුණු බවට චෝදනා තියෙනවා. රනිල්ගේ දේශද්‍රෝහී  අශිෂ්ට ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ව ඉවත් කිරීම අශිෂ්ට විය හැක්කේ අශිෂ්ටත්වය ආරක්‍ෂා කරන ජ වි පෙ වැනි ඊනියා විප්ලවයක් වෙනුවෙන් මිනී මැරූ අශිෂ්ට පක්‍ෂයකට පමණයි.