Main Logo

Saturday 24 November 2018

රන්ජන් හා කරුණාරත්න


රන්ජන් හා කරුණාරත්න



රන්ජන් රාමනායක කියන දේ ගැන සඳහන්  කිරීම වැඩකට ඇති දෙයක් නොවුණත් කරුණාරත්න ජයසූරියගේ ප්‍රකාශ ගැන සඳහන් කරන්නේ නම් රන්ජන්ට තැනක් නොදීම නුසුදුසු යැයි සිතනවා. මා සඳහන් කරන්නේ රන්ජන් වාද පිටියේ කරන ලදැයි කියන ප්‍රකාශයක් ගැනයි. ඔහු පස් දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් දිය හැකි තීන්දුවක් ගැන කියන බවයි පෙනී යන්නේ. ඔහුට අනුව තුන්දෙනකු තමන්ට පක්‍ෂව දෙන බවයි හැඟෙන්නේ. මට හැඟී යන්නේ රන්ජන් රාමනායක දැනටමත් දී ඇති අතුරු තහනම් නියෝගය තමන්ට පක්‍ෂපාතීව දුන් එකක් බව විශ්වාස කරන බවයි. ඔහු ඒ අනුව ඉදිරි විනිශ්චයක් ගැන කියනවා වෙන්න පුළුවන්.




අද ඇතැමුන් හිතන්නේ අතුරු තහනම් නියෝගය ආණ්ඩුවට විරුද්ධ ව දුන් එකක් කියායි. එය සම්පූර්ණයෙන් වැරදියි. ශ්‍රෙෂ්ඨාධිකරණය අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගැන අතුරු නියෝගයක් පමණයි දී ඇත්තේ. එය ඉංගිරිසියෙන් නම් stay order යනුවෙන් කියැවෙන්නක්. එහි තේරුම එතෑන ම රඳා සිටින්න කියන එකයි. එවිට ඉස්සරහට යන්නත් බැහැ පස්සට යන්නත් බැහැ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ගැසට් නිවේදනය ගැන කිසිවක් නොකර එතැන ම ඉන්න කියන එකයි. මේ අනුව පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරන්න ඕන. පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ පසුගිය දහහතරවැනි දා නව සැසි වාරයක් ආරම්භ කරන ලෙස ජනාධිපති පළ කර තිබූ ගැසට් නිවේදනයක් අනුවයි. ඉන්පසු කතානායක වරින් වර පාර්ලිමේන්තුව රැස්වන දිනය නියම කරලා. එසේ කළ හැකි ද යන්න ප්‍රශ්නයක්.



ශ්‍රෙෂ්ඨාධිකරණය අදාළ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳ තීන්දුව දෙසැම්බර් මස හත්වැනි දා දීමට නියමිතයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා අදාළ පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා ද නැද්ද කියන එකයි. ඒ තීන්දුව අතුරු නියෝගය මත පදනම් වන්නේ නැහැ. අතුරු නියෝගය දී ඇත්තේ නඩුව විභාග කර අවසන් වන තෙක් පමණයි. තීන්දුවත් සමග අතුරු නියෝගය අහෝසි වෙනවා. රන්ජන් රාමනායකට අතුරු නියෝගයක් හා තීන්දුවක් අතර වෙනස තේරෙන්නේ නැති පාටයි. අතුරු නියෝගය එකක් තීන්දුව තවත් එකක්.



රන්ජන් රාමනායකට තබා කරුණාරත්න ජයසූරියටත් බොහෝ දේ නොතේරෙන බව පේන්න තියෙනවා. පේන්න තියෙනචා කියා කියන්නෙ ඔහුගෙ ක්‍රියාකාරීත්වය නොතේරුම්කම මත ද නැත්නම් සිරිකොතෙන් එල්ල වන බලපෑම් මත ද එහෙමත් නැත්නම් ඒ දෙකම නිසා ද කියල නිශ්චිත ව කියන්න බැරි නිසා. කොහොමටත් ඊයේ පාර්ලිමේන්තුවේ දී ඊනියා කතානායක කියා සිටියේ තමා ක්‍රියා කරන්නේ ස්ථාවර නියෝග136 හා 143 යටතේ බවයි.



136 හා 143 මෙසේයි. 136: මෙම ස්ථාවර නියෝගවලින් විධිවිධාන සලසා නොමැති ඕනෑම කාරණයක දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පවත්වාගෙන යාම විධිමත් කිරීම සඳහා  කතානායකවරයාට බලය තිබිය යුත්තේ ය. 143: මෙම ස්ථාවර නියෝගවල නිශ්චිත වශයෙන් විධිවිධාන සලසා නොමැති සියලුම කරුණු ද, මෙම ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර සම්බන්ධයෙන් සියලුම ප්‍රශ්න ද, මෙහෙයවීම සිදුකරනු ලැබිය යුත්තේ කථානායකවරයා විසින් යෝග්‍ය යැයි සලකනු ලබන ආකාරයට වරින් වර කරනු ලබන නියෝග ප්‍රකාරව ය.



ඊනියා කතානායකවරයා කර ඇති ප්‍රකාශ අනුව දැන් ආණ්ඩුවක් නැහැ. අගමැති ඇමති මණ්ඩලයක් නැහැ. සභානායක නැහැ. එහෙත් විරුද්ධ පක්‍ෂ නායකයකු සිටිනවා. ඒ සම්බන්ධන්. මේක නම් පුදුම ආණ්ඩුවක්. ආණ්ඩු පක්‍ෂයක් නැතිව විරුද්ධ පක්‍ෂයක් පවතින්නේ කොහොම ද? ඊනියා කතානායක කියන්නේ ආණ්ඩුවක් නැත්නම් ක්‍රියා කරන්නේ කෙසේ දැයි ස්ථාවර නියෝගවල දක්වා නොමැති නිසා පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පවසත්වාගෙන යාම විධිමත් කිරීම සඳහා තමාට බලය ඇති බව.           



ස්ථාවර නියෝග මුලින් ම සකස් කර ඇත්තේ සුද්දන්. අප සුද්දන්ගේ දැනුම් ආධිපත්‍යයට යට වීම ප්‍රතික්‍ෂෙප කළත් සුද්දන්ට පිළිවෙළක් තියෙනවා. සුද්දන් කිසි දිනෙක ආණ්ඩුවක් නොමැති ව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑමක් ගැන කල්පනා කරන්නට නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ ස්ථාවර නියෝග සකස් කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවූ බව පැහැදිලියි. ආණ්ඩුවක් නොමැති ව පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑම වැනි අදහස් එන්නේ කරුණාරත්න ජයසූරිය වැන්නන්ට. ආණ්ඩුවක් නැතිව පාර්ලිමේන්තුවක්  පවත්වාගෙන යන්නේ රනිල්ලාගේ අනුර කුමාරට කොල්ලන්ගේ භාෂාවෙන් නම් පාර්ලිමේන්තුවේ ලොරි ටෝක් දීමට අවස්ථාව සලස්සන්න ද? ඒවා කන්ටේනර් ටෝක් ද? නැව් ටෝක් ද? කවුද කිවුවා අනුර කඩේ යන්නෙ නැත, යන්නෙ සුපර් මාකට් කියා.



අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය පත් කළ හැක්කේ ජනාධිපතිට පමණයි. පාර්ලිමේන්තුව ද ස්ථාවර නියෝග ද කතානායක ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. ජනාධිපති අගමැති හා ඇමති මණ්ඩලයක් පත් කරල තියෙනවා. පාර්ලිමේන්තුවට පුළුවන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල හැකි නම් සම්මත කර ගන්න විතරයි.  ඒත් මේ හැම එකකට ම පිළිවෙළක් තියෙනවා. දැන් ඔය ගෙනාවා කියන විශ්වාසභංග යෝජනාවෙන් කියැවෙන්නෙ මොකක් ද? ඒකෙන් කියැවෙනව ද ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බව. අනෙක් අතට එය ගෙනාවෙ ක්‍රමවත් පිළවෙළකට ද? ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල නැත්නම් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නෙ නැහැ. ඒක තමයි 48(2)න් කියැවෙන්නෙ. අමාත්‍ය මණ්ඩලයට විරුද්ධව නිසි අයුරින් විශ්වාසභංග යෝජනාවක් ගෙනාවත් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නෙ නැහැ. විජිත හේරත් ගෙනා ඊනියා විශ්වාසභංග යෝජනාවෙ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ කියල කියනවා ද? ආණ්ඩුව කියන්නෙයි අමාත්‍ය මණ්ඩලය කියන්නෙයි එකක් ම නො වෙයි.



කොහොමටත් හරි විධියට ආණ්ඩුවට විරුද්ධ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල හරි විධියට සම්මත කර ගත්තත් කතානායකට බැහැ අගමැති කෙනෙක් ආණ්ඩුවක් අමාත්‍ය මණාඩලයක් නැහැ කියන්න. ජනාධිපති හිතනව නම් අමාත්‍ය මණ්ඩලය විසිරිලා කියලා ඔහු ඒ අමාත්‍ය මණ්ඩලය ම හරි වෙනත් අමාත්‍ය මණ්ඩලයක් හරි පත් කරාවි. තවමත් උපරිම විශ්වාසය තියෙන්නෙ මහින්දට. ඊනියා කතානායකට බැහැ කිසිම අවස්ථාවක ආණ්ඩුවක් නැහැ කියලා කියන්න. එය ව්‍යවස්ථාවට විරුද්ධයි.



ඒ නිසා ආණ්ඩුවක් නැහැ කියල ප්‍රකාශ කරල ආණ්ඩු නැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න පුළුවන් කියල හිතල තමාන්ට ඕන විධියට ස්ථාවර නියෝග අර්ථනිරූපණය කරලා මේ කරන්නෙ පාර්ලිමේන්තුව පවත්වා ගෙන යෑම විධිමත් කිරීම ද? ඊනියා කතානායක 143 ප්‍රකාර ව කර ඇති නියෝග මොනවා ද?



ඊනියා කතානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවුල් කරලා. ඔහු පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කරලා ජනතාවගේ පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක බලය අහෝසි කරලා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනුලංඝනීය ව්‍යවස්ථාවක් උල්ලංඝනය කිරීමක්. ඊනියා කතානායක මේ වැරදිවලට වන්දි ගෙවන්නේ කොහොම ද කියන එක විතරයි බලන් ඉන්න තියෙන්නෙ.