Main Logo

Monday 19 November 2018

පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි


පාර්ලිමේන්තුව කැඳවීම ම වැරදියි

                                     



එතරම් උගත් කමක් නැති අයකු ප්‍රශ්නයක් නැගුවා. ඔහු තාප්පයක් බැඳගෙන යන විට යම් කිසිවකු එයට විරුද්ධව උසාවියට යනවා. උසාවිය අතුරු තහනම් නියෝගයක් දෙනවා. එවිට ඔහු කළ යුත්තේ කුමක් ද? මේ අතුරු තහනම් නියෝගය යන්නට ඉංගිරිසියෙන් කියන්නේ stay order කියායි. එහි තේරුම නැවතී සිටීම, රැඳී සිටීම ආදිය මිස අවලංගු කිරීම නොවෙයි.





යම් කිසි වැඩක් කරගෙන යෑමේ දී යම් අවස්ථාවක දී කළ හැකි කාර්යයන් තුනක් තිබෙනවා. ඒ වැඩය ඉදිරියට කර ගෙන යෑම, කළ වැඩය නැති (අහෝසි) කිරීම, වැඩය එලෙස ම රඳවා ගෙන සිටීම ඒ කියන්නේ වැඩය ඉදිරියට යන්නෙත් නැහැ ආපස්සට යන්නෙත් නැහැ. තාප්පය කැඩීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් දුන්නොත් කළ යුතු වන්නේ තාප්පය බැඳීම නතර කිරීම පමණයි. තාප්පය බැඳීම පටන් ගත් තැනට යා යුතු නැහැ. ඒ කියන්නෙ තාප්පය කඩන්න ඕන නැහැ. තාප්පය බැඳ තිබූ තැන රඳවා ගෙන සිටිය යුතුයි.



ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට දින නියම කළා. එයින් තම මානව අයිතිවාසිකම් කඩ වී යැයි පිරිසක් අධිකරණයට ගියා. අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.



අර තාප්පය බැඳීම සිද්ධිය වගේ ම මෙහි දී ද කළ හැකි කාර්යයන් තුනක් තිබුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයට සූදානම් වීම, පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීම හා මැතිවරණය අවලංගු කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ක්‍රියාවලිය රඳවා ගෙන සිටීම.



රඳවා ගෙන සිටීම යන්නෙන් අදහස් කරන්නේ නැහැ ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තිබූ තත්වයට ආපසු යා යුතු ය කියා. අර එතරම් උගත් නැති මිත්‍රයා කියන තුරු මාත් සිතා සිටියේ විසුරුවා හැරීමට පෙර තිබූ තත්වයට යා යුතු ය කියා. එසේ කළහොත් විසුරුවා හැරීම අවලංගු වෙනවා. වෙනත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙනවා. පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමට පෙර තිබූ තත්වයට යෑම නිසයි ජනාධිපතිගේ නව සැසිවාරය නොවැම්බර් 14 වැනි දා ක්‍රියත්මක වුණේ. එහෙත් එය වැරදියි. අද තත්වය පාර්ලිමේන්තුව විසුරුවා හැරත් නැහැ. විසුරුවා නොහැරත් නැහැ. ද්විකෝටිකයේ එවැනි අවස්ථාවක් නැහැ.



අධිකරණය තම තීන්දුව දෙන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ. එමෙන් ම ආපස්සට ගොස් නව සැසිවාරයක් කැඳවෙන්නෙත් නැහැ. stay order යනු එයයි. අධිකරණ තීන්දුව දෙන තෙක් තාප්පය බඳින්නෙත් නැතිව කඩන්නෙත් නැතිව ඉඳිමු.