Main Logo

Friday 23 November 2018

අනුරගේ විනෝද සමය


අනුරගේ විනෝද සමය



මේ ලිපිය කාලය වෙබ් (බ්ලොග්) අඩවිය සඳහා ලියන්නක්. එහෙත් එය තිස්දෙනකුට පමණ විද්‍යුත් තැපෑලෙන් ද යැවෙනවා. ඔවුන් අතර ජනමාධ්‍යවේදීන් ද කිහිප දෙනකු ඉන්නවා. ඒ ජනමාධ්‍යවේදීන්ට මේ ලිපිය වැදගත් නොවන බව පැහැදිලියි. එබැවින් මින් පසු මගෙන් කරුණු විමසන අයකු දෙදෙනකු හැරෙන්න වෙනත් කිසිම ජනමාධ්‍යවේදියකුට මේ ලිපිය යැවෙන්නේ නැහැ. මේ ඔවුන්ට යැවෙන අවසාන ලිපියයි. මෙරට ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඔවුන්ටත් මා ගැන ප්‍රසාදයක් නැති බව මා දන්නවා. මගේ ලිපියක් අදහසක් මතයක් ප්‍රචාරය වීම වැළැක්වීමට කටයුතු කරන ජනමාධ්‍යවේදීන් පිරිසක් ද ඉන්නවා. ඔවුන් සමග ඇතැම් ජාතිකවාදීන් ද ඉන්න බව මා දන්නවා.





මගෙන් වැදගත් යමක් නොකියැවෙනවා වෙන්න පුළුවන්. එහෙත් මා දරණ මත මා ලියනවා. එක් අයකු ප්‍රකාශ කර සිටියේ මා මිය ගිය පසු ජීවිතය, ඔහුගේ වචනවලින් නම් බෝරිං වේවිය කියා. ඒ මා බෝධි පූජා දෙවියන්ට පහනක් තැබීම වැනි ඔවුන්ට, නැවතත් ඔවුන්ගේ බසින් නම් ආතල් ගත හැකි දේ කියන්නා නැති වන නිසා. ඒ කෙසේ වුවත් ගුරුත්වාකර්ෂණයක් තිබෙන බව පංචෙන්ද්‍රිය ගෝචර ව ප්‍රත්‍යක්‍ෂ කළ අයකු ඉන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පමණයි. එහෙත් ඔහු අදාළ ඉන්ද්‍රිය අපට පෙන්වන්නේ නැහැ.



නිවුටන් තරම් මේ තරුණයන්ගේ බසින් නම් ආතල් දෙන්නකු ලෝකයේ පහළ වී නැහැ. ඔහු පංචෙන්ද්‍රිය ගෝචර නොව මනසින්වත් මවා ගත නොහැකි දේ ප්‍රකාශ කළා. මාක් නම් දාර්ශනිකයා බැරි ම තැන කියා සිටියේ භෞතික විද්‍යාවේ දී පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා නොගත යුතු බවයි. අයින්ස්ටයින් මාක්ගේ බසට මුල දී සවන් දුන්නා. අයින්ස්ටයින් ඒ අනුව නිවුටන්ගේ අවස්ථිති සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණය ප්‍රතික්‍ෂෙප කළා. එහෙත් ඉතාමත් වියුක්ත අවකාශ-කාල වක්‍රතාව නම් සංකල්පයක් ඉදිරිපත් කළා. බටහිර විද්‍යාවට පට්ටපල් බොරු නොකියා ඉන්න බැහැ.   



අද තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කෙරෙන අවසාන දිනයයි. තේරීම් කාරක සභාව පත් කෙරෙන්නේ ස්ථාවර නියෝග 114 යටතේයි.  එය මේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේ දී ම කරන්න තිබූ දෙයක්. එහෙත් ඊනියා කතානායකට අවශ්‍ය වූයේ මහින්ද අගමැති කමෙන් ඉවත් කර බටහිර තානාපතියන් සතුටු කිරීමටයි. අප රට ගැන රටේ දේශපාලනය ගැන ප්‍රසිද්ධියේ කතාකර ඇඟිලි ගසන තානාපතියන්  තානාපති කාර්යාල නිලධාරීන් ආපසු යවන්න ඕන. කොහොම හරි පාර්ලිමේන්තුව ගෙන යෑමට කාරක සභා අවශ්‍ය නිසා පළමුව තේරීම් කාරක සභාව පිහිටුවන්න වෙලා. අනෙක් කාරක සභාවලට නම් කෙරෙන්නේ තේරීම් කමිටුවෙන්.



අප ඊයේ ද කී පරිදි තේරීම් කාරක සභාව තෝරන්නේ කෙසේ ද කියා ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ නැහැ. එවිට සම්ප්‍රදාය අනුගමනය කරන්න ඕන. සම්ප්‍රදාය අනුව ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ වැඩි බලයක් තියෙන්න ඕන. මෙහි දී රනිල්ලාගේ අනුර කුමාර දිසානායක (රනිල්ලාගේ කියන්නේ වාසගම) කියන්නේ අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයක් නැති නිසා තේරීම් කාරක සභාවට පක්‍ෂවල මන්ත්‍රී සංඛ්‍යාවේ අනුපාතය අනුව තේරීම් කාරක සභාවට පත් කර ගත යුතු ය කියා. අනුර අද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයක් නැහැ කියන්නේ විජිත හේරත් පාර්ලිමේන්තු මහා ලේකම්ට තුණ්ඩුවක් දී ඉදිරිපත් කළ ඊනියා විශ්වාසභංග යෝජනාව සම්මත වීය යන අදහසින්.



එහෙත් ඒ ඊනියා විශ්වාසභංගය ස්ථාවර නියෝග අනුව ඉදිරිපත් කළ එකක් නො වෙයි. ගාල ගෝට්ටි මැද ඊනියා කතානායක හඬින් සම්මත වී යැයි කී  සුමන්තිරන්ගේ ස්ථාවර නියෝග අත්හිටුවීමට කළ ඊනියා යෝජනාවක් පසුබිම් කරමින්  ගෙනෙන ලද්දක්. ජ වි පෙ එකල තුණ්ඩු යවා කඩ වස්සා ප්‍රජාතන්ත්‍රවාදය රැකි අයුරින් තුණ්ඩු යවා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගෙනෙන්න බැහැ. ජනාධිපතිට පමණයි අගමැති පත් කිරීමේ බලය තියෙන්නේ. සම්මත ආකාරයකට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් සම්මත වුවත් කෙරෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසිරීම පමණයි. ජනාධිපතිට ඒ අමාත්‍ය මණ්ඩලය ම වුණත් නැවත පත් කිරීමට බාධාවක් නැහැ. එහෙත් එසේ කරන්නවත් විශ්වාසභංග යෝජනාවක් සම්මත වී නැහැ.



කොහොමටත් තේරීම් කාරක සභාවට ඊනියා කතානායක ද ඇතුළුව පත් කර ගත හැක්කේ දෙළොස් දෙනකු පමණයි. අනුර කියන්නා වගේ එය පාර්ලිමේන්තු මන්ත්‍රින් සංඛ්‍යාවට අනුපාත විය යුතු නම් ජ වි පෙරමුණට තේරීම් කාරක සභාවේ මන්ත්‍රීන් කී දෙනකු හිමි විය යුතු දැයි ගණන් බැලීම ඒකීය ක්‍රමය උගන්වන පාසල් ගුරුවරුන්ට අභ්‍යාසයක් ලෙස සිසුන්ට දෙන්න පුළුවන්. එය තුනෙන් එකක් පමණ වෙනවා. ඒ අනුරගේ තුනෙන් එකක් ද විජිත හේරත්ගේ තුනෙන් එකක් ද යන්න අද ම තීරණය කරන්න වෙන්නේ නැහැ. අද නාම යෝජනා දීමට ඇති අවසාන දිනය පමණයි.



ඒ කොහොම වුණත් ජ වි පෙ තේරීම් කාරක සභාවට දෙදෙනකුම යෝජනා කරලා. අනුර ක්‍රමය අනුව ජ වි පෙ දෙදෙනකු තේරීම් කාරක සභාවට පත් කරන්න නම් තේරීම් කාරක සභාවේ හැත්තැපස් දෙනකු පමණ ඉන්න ඕන. එහෙත් අද තේරීම් කාරක සභාවේ ඉන්න පුළුවන් දොළොස් දෙනකු පමණයි. ඒ සංඛ්‍යාව වෙනස් කරන්න පුළුවන්. ඒ ස්ථාවර නියෝග වෙනස් කිරීමෙන්.   එහෙත 134 වැනි ස්ථාවර නියෝගය අනුව එය සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ සඳහා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව පිහිටුවා තියෙන්න ඕන. එහෙත් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව නම් කරන්න පළමුව තේරීම් කාරක සභාව පත්කර ගන්න ඕන. අනුර දැන් මොක ද කියන්නෙ. කොහොමත් අද තේරීම් කාරක සභාව පත් කර ගන්නෙ නැති නිසා ඔය හිටියා වගේ ලබන සතිය වෙනකන් ඉන්න පුළුවන්.