Main Logo

Monday 19 November 2018

කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව


කරු රනිල් අනුර සුමන්තිරන් හා නව ව්‍යවස්ථාව



ඊනියා කතානායක කරු හා හිටපු අගමැති රනිල් බටහිර අවශ්‍යතා වෙනුවෙන් රට අවුලෙන් අවුලට පත් කරනවා. ඔවුන් ජනාධිපති තීරණය අනුව මහින්ද අගමැති ලෙස පිළිගැනීම දිගින් දිගට ම ප්‍රතික්‍ෂෙප කරනවා. එමගින් ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා. අපි නැවතත් මුලට යමු. ජනාධිපති අගමැති පත් කෙළේ ව්‍යවස්ථාවේ 42(4) අනුව්‍යවස්ථාවට අනුව. අපි එය නැවතත් උපුටා දක්වමු. 42(4): ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය.




මෙහි කිසි තැනක මන්ත්‍රීන් 113 දෙනකු සිටිය යුතු බවක් කියැවෙන්නේ නැහැ. ජනාධිපති මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති අය අගමැති ලෙස පත් කරන්න පුළුවන්. මේ පාර්ලිමේන්තුවේ අද විශ්වාසය උපරිම වශයෙන් ඇත්තේ කාට ද යන්න තීරණය කරන ක්‍රමයක් ජනාධිපතිට ඇති. ඒ අනුව මහින්ද අගමැති ලෙස පත්  කරලා.  අප කලිනුත් කියල තියෙනවා 113ක් අනවශ්‍ය බව. පසුවත් ඒ ගැන කතා කරමු.



අධිකරණ අතුරු නියෝගයක් අනුව ජනාධිපති කලින් තීරණය කර තිබූ ආකාරයට පසුගිය 14 වැනි දා පාර්ලිමේන්තුවේ නව සැසි වාරයක් ඇරඹුණා. එය අධිකරණ තීන්දුවක් නො වෙයි. අතුරු නියෝගයක් පමණයි.  අද පිරිසක් පස් දෙනකුගෙන් හරි හත් දෙනකුගෙන් හරි සමන්විත විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මුල් පෙත්සම් විභාග කරන ලෙස ඉල්ලා තිබෙනවා. එහි ප්‍රතිඵලත් බලා ඉඳිමු. විනිසුරුවන් පස්දෙනා හරි හත්දෙනා හරි අපක්‍ෂපාති වන බවට සැකයක් නොතිබිය යුතුයි. වරක් මා කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධව නඩු කී අවස්ථාවක ශිරානි බණ්ඩාරනායක අදාළ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා අස් වුණා.



දැන් අගෝස්තු 14 වැනි දා මොකද වුණේ. සභාව ස්ථාවර නියෝග අනුව පටන් ගත්තේ නැහැ. සාමාන්‍ය න්‍යාය පත්‍රය අනුගමනය කෙළේ නැහැ. සුමන්තිරන් යෝජනාවක් ගෙනාවා ස්ථාවර නියෝග අත්හිටුවීමට. ආණ්ඩු පක්‍ෂය  එයට විරුද්ධ වුණා. ගැලරියේ විදේශීය තානාපතිවරුන් හිටියා. ගාල ගෝට්ටි අස්සෙ ඊනියා කතානායක ව්‍යවස්ථා විරෝධීව ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේන්නත් ඉඩ දුන්නා. ඊනියා හඬින් තීරණ දුන්නා. මේ සියල්ල ගැන අප කලින් ලිපිවල කතා කළා. ඒ නැවත කියන්න ඕන නැහැ.



කිරිඇල්ල කියනවා හදිසි කටයුත්තක් නිසා විශ්වාසභංගය ස්ථාවර නියෝග අත්හිටුවලා ගෙනාව කියලා. යුද්ධයක් ආවොත් දවස් පහක් බලා ඉන්නව ද කියලත් අහනවා. මෙරට යුද්ධයක් නම් තිබුණෙ නැහැ. ඒත් කොටි සංවිධානය වෙන ම රාජ්‍යයක් සඳහා සටන් වැදුණා. ඒ වෙලාවෙ ජේ ආර්ලා චන්ද්‍රිකාලා රනිල්ලා ප්‍රේමදාසල දවස් පහක් නො වෙයි අවුරුදු තිහක් පමණ බලා හිටියා. රට බෙදන්න සාකච්ඡා කළා. රනිල් පාර්ලිමේන්තුවටවත් චන්ද්‍රිකාටවත් නොකියා නෝර්වේ තානාපතිට අවශ්‍ය අන්දමට ප්‍රභාකරන් එක්ක ගිවිසුම් අත්සන් කළා. කිරිඇල්ලලාට ප්‍රභාකරන් ඉවත් කරන්න වුවමනාවක් තිබුණෙ නැහැ. තිබුණෙ අවුරුදු තිහකින් හරි ප්‍රභාකරන්ට රටින් කොටසක්  පූජා කිරීමේ අවශ්‍යතාව. ඒත් කිරිඇල්ලලාට මහින්ද ඉවත් කරන්න දවස් පහක් ඉන්න බැහැ.



ඊනියා කතානායක ජනාධිපති කියන දේ පිළිගන්නෙ නැහැ. අර ස්ථාවර නියෝගවල සඳහන්  කාරක සභා ටික පිහිටුවලා සාමාන්‍ය න්‍යාය පත්‍රය අනුව කටයුතු කරමින් ඕන ම නම් ඔය වැදගත් කාරණය සාකච්ඡා කරන්න  සභාව කල් දාන්න තිබුණා. කිරිඇල්ලත් ඊනියා කතානායකත් අජිත් පෙරේරාත් දන්නෙ නැතිව ඇති ස්ථාවර නියෝගවලට අනුව හදිසි පොදු වැදගත්කමකින් යුක්ත කාරණා සඳහා සභාව කල් තබන්න පුළුවන් කියලා. අදාළ පිළිවෙල 19 වැනි ස්ථාවර නියෝගය යටතේ විස්තර වෙනව. ඒ අනුව තමයි යෝජනාවක් ගෙනෙන්න ඕන.



හදිසි යෝජනාවක් 19 වැනි ස්ථාවර නියෝගය යටතේ ගේන්න පුළුවන්. එය විශ්වාසභංග යෝජනාවක් වෙන්නත් පුළුවන්. 19 (2) (ඇ) යටතේ තමයි අර විස්සෙ කතාව සඳහන් වෙන්නෙ. අදාළ යෝජනාවට පාර්ලිමේන්තුවෙ අනුමැතියක් ලැබී නැත්නම් මන්ත්‍රීවරුන් 20 දෙනකු නැගී සිට යෝජනාව ගෙනෙන මන්ත්‍රීවරයාගෙ ඉල්ලීමට අනුග්‍රහය දක්වන්න ඕන. විවාද පැවැත්විය යුත්තේ 27 හා 28 ස්ථාවර නියෝග අනුව. දින පහක ඉක්මවීමෙන් පස්සෙ විවාදය ඇරඹිය හැකියි. ස්ථාවර නියෝග අනුව කටයුතු කළා නම් නිවැරදිව ගෙනා විශ්වාසභංගයක් ගැන විවාදය අද ආරම්භ කරන්න තිබුණා.



එහෙත් රනිල් අනුර සුමන්තිරන් කල්ලිය වැඩ කරන්නෙ ජේ ආර් උගන්නලා තියෙන විධියට. ජේ ආර් පළාත් සභා පනත සම්මත කර ගත්තෙ ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවක් නොසලකා හැර. මේ ගැන අප කීප විටක් ම කියල තියෙනවා. රනිල් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තෙත් අධිකරණයට පිටින්. ජේ ආර් උගන්නලා තියෙන විධිය අනුගමනය කරමින් රනිල්ලගෙ සිරිතක් තියෙනව කාරක සභා අවස්ථාවෙ දි ශ්‍රෙෂ්ඨාධිකරණයට නොගිහින් සංශෝධන ගෙනැල්ල සම්මත කර ගැනීමට. මෙය පහුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයක දි සිද්ධ වෙලා තියෙනවා. නව ව්‍යවස්ථාවටත් ඒ දේ ම සිද්ධ වෙන්න තිබුණා.



රනිල් දිගට ම අගමැති ව සිටියා නම් මේ ක්‍රමය දිගට ම ගෙන යනවා. විජාතික බලවේග රනිල්ගෙ ආණ්ඩුව පත් කර ගත්තෙම රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට. රනිල් අනුර සුමන්තිරන් කල්ලියෙ ප්‍රධාන අවශ්‍යතාව එයයි. රනිල් රැකගැනීමට අනුර හා සුමන්තිරන් මහත් වෙහෙසක් දැරුවා. අර හඳුන්නෙත්ති වාර්තාවෙන්  රනිල් ගැන එතරම් දෙයක් කියැවුණෙ නැහැ. ඩිව් ගුණසේකර වාර්තාවත් එක්ක මේ සියලු වාර්තා වහාම පළ කරන්න ඕන.



රනිල් ඉවත් කිරීම පිළිබඳ ගෝඨාභයත් පිළිතුරු දී තිබුණා. රනිල් ඉවත් කරන්න ඕන වුණෙ මහින්දට අගමැතිකම ගන්න නොවෙයි. අවශ්‍යතාව තිබුණෙ රටට. අර රට බෙදන ව්‍යවස්ථාව සමහර විට අද කරනව වගේ ම ස්ථාවර නියෝග අත්හිටුවලා ගේන්න තිබුණා. ස්ථාවර නියෝග අත්හිටුවල ව්‍යවස්ථාවට විරුද්ධව ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනා රනිල් අනුර සුමන්තිරන් කල්ලියට බටහිරයන්ගේ අවශ්‍යතාච වෙනුවෙන් දෙමළ ජාතිවාදයට කප්පන් දීම සඳහා නොකළ හැකි දෙයක් නැහැ. ජනතාවගේ පරමාධිපත්‍යය නැති කරපු ඊනියා කතානායකත් රනිල් අනුර සුමන්තිරන් කල්ලියත් මැතිවරණයකින් දේශපාලනයෙන් අතුගා දාන්න ඕන.  ඊනියා කතානායක විසින් අත්හිටවනු ලැබ  ඇති අක්‍රීය කරනු ලැබ ඇති කඩා කප්පල් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වන්න ඕන. අපි අධිකරණ තීන්දුව දෙන තෙක් බලා ඉඳිමු.