Main Logo

Friday 16 November 2018

කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද? (නොවැම්බර් 16 පළමුවැනි ලිපිය)




කරු ජයසූරිය පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කරනවා ද



එක්සත් ජාතික පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ නායකයන් පිරිසක් ඊනියා කතානායක සමග ජනාධිපති හමුවෙලා. කරු ජයසූරිය ඇතැම් පක්‍ෂ නායකයන් පමණක් පිරිවරාගෙන ජනාධිපති හමුවන්නේ කෙසේ ද? ඔහු පක්‍ෂ නායකයෙක් ද? කරු ජයසූරිය තම පක්‍ෂපාතිත්වය ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. එතැන ජ වි පෙරමුණ නියෝජනය වී නැත්තේ හුදෙක් තම අනුගාමිකයන් රැවටීමට පමණයි. ඔවුන්ට සෙසු ජනතාව නම් රවටන්න බැහැ. ව්‍යවස්ථාවවත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවත් නොදත් ජ වි පෙ නායකයන්ට පුළුවන් එ ජා පක්‍ෂය කියන ආකාරයට කටයුතු කිරීම පමණයි. ඒ නිසා ඔවුන් ගියයි නොගියයි කියලා වෙනසක් නැහැ.




ආරංචි හැටියට ජනාධිපති කරු ජයසූරිය ඇතුළු පක්‍ෂ නායකයන්ට කියා තිබෙන්නේ ස්ථාවර නියෝගවලට හා ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනැල්ල මහින්ද රාජපක්‍ෂ හා ආණ්ඩුව පරදවන්න කියා. ජනාධිපති  කිවුවේ මොකක් ද යන්න හරියට ම දන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් සමහරවිට නිකුත් කරන එකකුත් නැහැ. ඒ මොකක් වුණත් කරු ජයසූරිය හා අනෙක් නායකයන්තමන් වැරදි බව පළමුව පිළිගන්න වෙනවා.



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වැනි ව්‍යවස්ථාව යටතේ අප සියල්ලන් ම ව්‍යවස්ථාව හා නීතිය රැකීම අපේ යුතුකමක් ලෙස සලකන්න ඕන. අද කරු ජයසූරිය ඇතුළු එ ජා පෙරමුණේ දෙමළ ජාතික සංධානයේ ජ වි පෙරමුණේ මන්ත්‍රීවරුන් ව්‍යවස්ථාව රකින්නේ නැහැ. ඔවුන් එමගින් තම මූලික යුතුකම් ඉටු කරන්නේ නැහැ.



කරු ජයසූරිය හෙවත් ඊනියා කතානායක ස්ථාවර නියෝග කඩකළ ආකාරය අද සිදු වූ දේ යනුවෙන් දහහතර වැනි දා ලියූ දෙවැනි ලිපියෙන් සඳහන් කළා. ස්ථාවර නියෝගවල 47(1) යටතේ සඳහන් වන දේ සිංහලෙන් කියා ඇත්තේ මෙසේයි. කථානායකවරයා විසින් ප්‍රශ්නය විමසිය ලැබිය යුතු අතර පක්‍ෂයි හා විරුද්ධයි යනුවෙන් කටහඬවල් අනුව ඡන්දය ලබාගෙන කථානායකවරයා විසින් ප්‍රතිඵලය ප්‍රකාශ කරනු ලැබිය හැකි ය. මෙයින් කියැවෙන්නේ ගාලගෝට්ටියක් මැද කතානායක හඬින් තීරණයක් ගැනීම නොවෙයි. ඔහු ඡන්දයක් ලබා ගත යුතුයි. එහෙත් ඊනියා කතානායක එසේ කර නැහැ.



ජ වි පෙ විජිත හේරත් විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුය කියා මාධ්‍ය සංදර්ශනයක දී කියා තිබෙනවා. එහෙත් ඔහු කියන්නේ නැහැ ස්ථාවර නියෝග අත්හිටුවන්නත් සිදු වෙන්නෙ ස්ථාවර නියෝගවලට යටත් ව බව. සුමන්තිරන්ගේ යෝජනාව සම්බන්ධයෙන් මා කියා ඇත්තේ මෙයි. ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි. විජිත හේරත්ට තව ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඔහු විශ්වාසභංගයේ දිනය ගැන පොඩි ළමයි කියන කතා කියනවා. ජ වි පෙ නායකයන් වයසින් වැඩි වුණාට දැනුම් තේරුම් කමින් වැඩි වෙලා නැහැ.



ඊනියා විශ්වාසභංගයක් ස්ථාවර නියෝග අත්හිටුවා ඇතැයි කියමින් ගේන්න බැහැ. දහහතරවැනි දා ස්ථාවර නියෝග අත්හිටවනු ලැබයේ නැහැ. කරු ජයසූරිය ඊයේ පාර්ලිමේන්තුවේ හැසිරුණේ ඉතාමත් නින්දිත ආකාරයකින්. ඔහු ජනාධිපති තමාට එවූ ලිපිය කියෙවුවේ නැහැ. ඔහු කීවේ තම පිළිතුරු ලිපියත් සමග ජනාධිපති ලිපිය ඉදිරිපත් කරන බවයි. ස්ථාවර නියෝගවල එසේ සඳහන් වන්නේ නැහැ. මා හිතන්නේ පාර්ලිමේන්තු මැතිවරණවලට ඉදිරිපත් වන්නන් පළමුව ස්ථාවර නියෝග පිළිබඳ පරීක්‍ෂණයකින්  සමත් විය යුතු බවට ව්‍යවස්ථාවෙහි සඳහන් විය යුතු ය කියා.



මහින්ද රාජපක්‍ෂ ඊයේ කළ ප්‍රකාශයෙන් පසු අර ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කී කිරිඇල්ල කලින් ලියාගෙන ආ ලියවිල්ලක් කියවමින් මහින්දගෙ කතාව ප්‍රතික්‍ෂෙප කරන්න යෝජනාවක් ගෙනැල්ල. එය ගෙනාවෙ මොන ස්ථාවර නියෝගයක් යටතේ ද? අගමැති ප්‍රකාශයක් ප්‍රතික්‍ෂෙප කරන්නෙ මොන නීතියක් යටතේ ද? ජනාධිපති ප්‍රතිපත්ති ප්‍රකාශයට විරුද්ධව නම් යෝජනාවක් ගෙනෙන්න පුළුවන්. කිරිඇල්ලගේ සුදුසුකම් පිළිබඳ ව මා දැනට කියන්නේ නැහැ.       



කොහොමටත් ඊයේ හා පෙරේදා කරු ජයසූරිය ඇතුළු පක්‍ෂ නායකයන් ක්‍රියා කර ඇත්තේ කිසිම නීතියකට අනුව නොවෙයි. එමෙන් ම තෙවරප්පෙරුම පාර්ලිමේන්තුවට පිහියක් ගෙනැවිත් ඇති බවට සාක්‍ෂි තිබෙනවා. ඊනියා කතානායක ඔහුට විරුද්ධව ගන්නා පියවර කුමක් දැයි රට ම බලා ඉන්නවා. තෙවරප්පෙරුම හැරෙන්න තවත් පිහි කාරයන් පාර්ලිමේන්තුවේ ඉන්නවා ද? එය දැන ගැනීමට තවත් නීත්‍යානුකූල නොවන යෝජනාවක් අවශ්‍ය ද?



ඊයේ ලිප්ටන් වටරවුමේ පැවැත් වූ රැස්වීමට පැමිණි අයගේ සිංහල ප්‍රතිශතය කුමක් ද? එය හඬින්වත් රුවින්වත් බලා ගන්න විධියක් නැහැ. රනිල් චම්පක හා එක්ව බටහිරයන්ගේ අරාබි වසන්තය සඳහා පාර කපන්න උත්සාහ කරනවා. බටහිර තානාපති කාර්යාලවලට ස්ථාවර නියෝග ගැන දැනුමක් තියෙනවා ද? ඔවුන් ස්ථාවර නියෝගවලට පටහැණි ව ගෙනෙන ලද ඊනියා යෝජනාවලට ඡන්දය විමසීමට බාධා කිරීම ගැන නිවේදන නිකුත් කරනවා. ඔවුන් දන්නේ නැද්ද ඡන්දය විමසන්න නම් ක්‍රමානුකූල ව ගෙන ආ යෝජනාවක් තිබිය යුතු බව.



අප ජර්මනියෙන් බොහෝ දේ ඉගෙන ගෙන තිබෙනවා. එහෙත් ජර්මන් තානාපති කාර්යාලය හැසිරෙන ආකාරයෙන් ඒ ලබා ගත් දැනුම ප්‍රශ්න කරන්න වෙනවා. බටහිර දාර්ශනිකයන් විද්‍යාඥයන් විශාල ප්‍රමාණයක් බිහි කළ රටක නියෝජිතයන් ක්‍රියා කරන්නේ එකී විද්‍යාඥයන්ට හා දාර්ශනිකයන්ට අගෞරවයක් වන අන්දමට. මෙහි දී මෙරට පඬියන්ට නැවතත් කිව යුත්තේ අප බටහිර දැනුම ප්‍රතික්‍ෂෙප නොකරන බවත් එහෙත් බටහිර දැනුම් ආධිපත්‍යයට යටත් නොවන බවත්.



ජනාධිපති ඊයේ කරු ජයසූරිය ඇතුළු පක්‍ෂ නායකයන්ට කියා ඇත්තේ ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගවලට එකඟ ව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් නමින් සම්මත කර ගත්තොත් තමාට එය සලකා බැලිය හැකි බවයි. කරු ජයසූරිය හා පක්‍ෂ නායකයන් එසේ කරන්න නම් පළමුව තමන් ඊයේ හා පෙරේදා පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය වැරදි බවට පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ යුතුයි. ඔවුන් තම වරද පිළිගත යූුතුයි. එසේ කර පළමුව පාර්ලිමේන්තුව යථා තත්වයට පත් කළ යුතුයි.



අප මුලින් ම කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් මෙවැනි අස්ථාවර තත්වයක් උදාවිය හැකි බවත් කරු ජයසූරිය තම ක්‍රියා කලාපයෙන් පාර්ලිමේන්තුව අක්‍රීය කර අත්හිටුවා ඇති බවත්. එහෙත් වගකිව යුත්තන් එය නොසලකා සිටියා.



පාර්ලිමේන්තුව යථා තත්වයට පත් වූ පසු කළ යුතු පළමු කාර්යය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවට තුනෙන් දෙකක ඡනදයක් ඇතිව යෝජනාවක් සම්මත කර ගැනීමයි. විජිත හේරත් එවැනි යෝජනාවක් ගෙන ඒමට සූදානම් ද? රනිල් ලිප්ටන් වටරවුමේ බෙරිහන් දුන්නට අද ජනාධිපතිවරණයක් පවත්වන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ.