Main Logo

Friday 30 November 2018

ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව


ඇතැම් රාජපක්‍ෂලා හා රාජසභාව



මා මේ සමාජයේ ජීවත්වන්නේ පිටස්තරයකු ලෙස. තමන් රට ජාතිය ආගම ගැන කල්පනා කරමින් කරන උදාර සේවයෙහි දී මගේ නමත් ඉඳහිට කීම නිසා මට ඊනියා කීර්තියක් ලැබී ඇතැයි අයකු කියනවා. මට කිසිම කීර්තියක් අවශ්‍ය නැහැ. මා මළ පසු දුක් ගීයක් ලිවීමට සොහොන් කොතක්වත් ඉදිකිරීමට අවශ්‍ය නැහැ. අවසන් හුස්මත් සමග මා නොවන මා පිට වී යනවා. එහෙත් මා හුස්ම ගන්නාතාක් මගේ අදහස් ප්‍රකාශ කරනවා. ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රතික්‍ෂෙප කිරීම ගැන මට ප්‍රශ්නයක් නැහැ. මා ඔවුන් ද ප්‍රතික්‍ෂෙප කරනවා.




කුඩා ලිපියක බොහෝ දේ සඳහන් කිරීම අපහසුයි. අද රටේ දේශපාලනය වෙනස් වන වේගය අනුව දිනකට ලිපි දහයක්වත් ලියන්න ඕන. එහෙම ලිව්වත් කියවන පිරිසක් නැහැ. එහෙත් කවුරු කියෙව්වත් බැලුවත් දැක්කත් නැතත් මා ආපසු යන්නේ නැහැ. කිවයුතු දෙය කියන්න ඕන. ඇතැමුන් හිතන විධියට නොව මා රාජපක්‍ෂලාට විරුද්ධව වැඩ කරන්න කිසිවකු මෙහෙයවා නැහැ. එහෙත් ඇතැම් අවස්ථාවල රාජපක්‍ෂලාටත් විරුද්ධව යම් යම් දේ කියන්න වෙනවා.



ඊයේ පැවති ඩී ඒ රාජපක්‍ෂ සමරුවේ වැඩ කටයුතු සංවිධානය කෙරුණේ මහින්ද රාජපක්‍ෂගේ හෝ ගෝඨාභය රාජපක්‍ෂගේ හෝ මූලිකත්වයෙන් යැයි මා සිතන්නේ නැහැ. එහි සමරු දේශනය කෙරී ඇත්තේ නාලක ගොඩහේවා අතින්. ඔහු ගැන රටේ ඇත්තේ විශාල ප්‍රසාදයක් නො වෙයි. අද ඇතැම් රාජපක්‍ෂලා වටේ සිටින අයට නැවතත් තනතුරු ලබා දීමට කටයුතු කෙරෙනවා. එය කිසිසේත් ම පැසසිය යුතු කටයුත්තක් නො වෙයි. මෛත්‍රිපාල නොවන්නට මේ ඇතැමුනට අද තනතුරු ලැබිලා. දැන් මා සිරිසේනවාදියකු සිරිජාතිකවාදියකු  ලෙස හංවඩු ගසන්න. ඒ කෙසේ වෙතත් අද රට ගෙන යෑමේ දී බෝන් අගේන් වැනි සංවිධානවල බලපෑම තිබෙන බව පැහැදිලියි.



ඩී ඒ රාජපක්‍ෂ සැමරුමේ දී ජාතික ගීය සිංහල හා දෙමළ බසින් ගැයුණේ කාගේ වුවමනාවට ද? කා සැනසීමට ද? එ ජා පක්‍ෂය ජාතික ගීය සිංහලෙන් හා දෙමළෙන් ගැයුවේ වෙන වෙන ම. එහෙත් රාජපක්‍ෂලා ඒ ගයන්නේ එකට ම. සිංහලෙන් ශ්‍රී ලංකා මාතා කියා ඒ සමග ම ශ්‍රී ලංකා තායි කියනවා. ඊළඟට සිංහලෙන්, එය ම දෙමළෙන් ආදී වශයෙන් තමයි ඊයේ ඊනියා ජාතික ගීය ගැයී තියෙන්නේ. ඇතැම් රාජපක්‍ෂලා රනිල්වාදීන් වෙන්න ඇති. ඔවුන් රනිල් ඉක්මවා යමින් රනිල් ප්‍රතිපත්ති ගෙන යනවා. මේ ආණ්ඩුවට 113 ලබා ගැනීමට නොහැකි වූවා ද? නැත්නම් ඒ ලබා ගැනීම වැළැක්වූවා ද? රටට මැතිවරණයක් අවශ්‍යයි. එහෙත් මැතිවරණ ඉල්ලීමේ එකම අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම ද? රකින්න ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා ද? බහුතර මතය පාර්ලිමේන්තුවේ නියෝජනය කරවන්නේ කෙසේ ද? අද පාර්ලිමේන්තුවේ නියෝජනය වන්නේ  2015 අගොස්තු ජනමතය මිස 2018 පෙබරවාරි ජනමතය නො වෙයි. ඒ කෙසේ වෙතත් මා නම් යෝජනා කෙළේ රනිල් ඉවත් කර මහින්ද අගමැති කර ටික කලක්වත් භාරකාර සම ආණ්ඩුවක් පවත්වාගෙන යෑමටයි.



අද පාර්ලිමේන්තුව විගඩම් මඩුවක් වෙලා. පාර්ලිමේන්තුවක් නැතිව පත්කර ගන්නා රාජසභාවක් මගින් මෙරට රාජ්‍යය පවත්වාගෙන යන්න බැරි ද? පාර්ලිමේන්තුව කියන්නේ අපේ රාජසභාවේ විකාශයක් නො වෙයි. එය එංගලන්තයේ රජුට, පූජකයන්ට හා වංශවතුන්ට විරුද්ධ ව ගෙන ගිය ව්‍යාපාරයක් මගින් බිහි කෙරුණක්. එහෙත් අදත් එහි රජු (රැජන) ඉන්නවා. පූජකයන් හා වංශවතුන් ඊනියා සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඉන්නවා. ඉංගිරිසින් රජුවත් පූජකයන්වත් වංශවතුන්වත් නැති කර ගත්තේ නැහැ. කළ එකම දේ ජනතාවගේ නාමයෙන් ජන්මයෙන් වංශවතුන් නොවූ පිරිසක් වංශවතුන් කර ගැනීම පමණයි. ඒ අලුත් වංශවතුන්ට හවුස් ඔෆ් කොමන්ස් නමින් ආයතනයක් හදා දුන්නා. සුද්දන් ඒ ආයතනය  පාර්ලිමේන්තුව ලෙස අප මත දැමුවා. අප අද එහි බරින් මිරිකෙනවා.



ඊනියා කතානායක කරන තරමක් කරන්නෙ ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් ස්ථාවර නියෝගවලටත්, ව්‍යවස්ථාවටත් විරුද්ධ දේ. ඊයේ ගෙනා අගමැතිගේ මුදල් කපා දැමීම ඒ සෑම දෙයකට ම විරුද්ධ දෙයක්. ඒ ගැන ආණ්ඩුවේ විවිධ අය කියා තිබෙන බැවින් තවත් කියන්න අවශ්‍ය නැහැ. අනුර කුමාරට මේ ගැන අවබෝධයක් නැහැ. ඔහු හිතන්නේ අයවැය විවාදවල දී ඒ ඒ අමාත්‍යාංශවල වැය ශිර්ෂවලට විරුද්ධව ව විපක්‍ෂය වැය ශීර්ෂය රුපියල් දහයකින් කපා දැමීම වැනි යෝජනාවක් රවි කරුණානායක ඊයේ පාර්ලිමේන්තුවේ දී කළා කියා.  ඒ වැය ශීර්ෂ රුපියල් දහයකින් කපා දමන යෝජනාව පාර්ලිමේන්තු සම්ප්‍රදායක් පමණයි. එය ගෙනැවිත් ඇති පනතකට (විසර්ජන පනත) කාරක සභා අවස්ථාවේ දී විරුද්ධ වීමක් පමණයි. එය අලුත් යෝජනාවක් නො වෙයි. ඊයේ රවි ගෙනාවේ අලුත් යෝජනාවක්. එය මුදල් පනතක්. එහෙත් එය ගෙනාවේත් පනතක් ලෙසින්වත් නො වෙයි. එය නීතිගත පනතකට (විසර්ජන පනතට)  විරුද්ධව ගෙන ආ යෝජනාවක්. මුදල් සම්බන්ධ එවැනි යෝජනාවක් පනතක් ගෙන ආ හැක්කේ මුදල් ඇමතිටයි. රවි මුදල් ඇමති වී සිටියේ බොහෝ කලකට පෙර. ඔහුට පසුව මංගලත් මුදල් ඇමති වෙලා හිටියා. අද මුදල් ඇමති මහින්ද. රවි අගමැති වීම සඳහා ලකුණු එකතු කරනවා ද?



ඊයේ විජයදාස පාර්ලිමේන්තු ගිහින්. ඔහු කාගේ දාස දැයි නිශ්චිත ව කියන්න බැහැ. පැරණි විජය රජුගේ ද? නැත්නම් වෙන කාගේවත් ද? ඔහු යෝජනාවක් ගෙනැවිත්. ඒ අනුව ඊනියා කතානායක ජනාධිපති හමුවෙලා. සුමන්තිරන් වෙනුවෙන් සම්බන්ධන් ජනාධිපතිට ලියුමක් දීල තමන් එ ජා පක්‍ෂයේ ඕනෑම කෙනකු අගමැති වෙනවාට කැමති කියලා. එ ජා ප කවුරු අගමැති වුණත්  රනිල් එ ජා ප නායකයා ව සිටිනතාක් රනිල් තත්වාකාරක (ක්‍රියාවෙන්) ජනාධිපති. මෛත්‍රිපාල එය නොදන්නවා නො වෙයි. එ ජා ප ආණ්ඩුවක් පිහිටෙවුවොත් තමන්ට අත්වන ඉරණම ගැනත් මෛත්‍රිපාල නොදන්නචා නො වෙයි. එහෙත් ඔහුට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇතැම් රාජපක්‍ෂලා කටයුතු කරන විධිය. අද රටේ අර්බුදයට එයත් එක් හේතුවක්.



අද ප්‍රශ්නවලට තවත් හේතුවක් වන්නේ උසාවියේ අතුරු තහනම් නියෝගය (රැඳවීම් නියෝගය stay order) වරදවා ක්‍රියාත්මක කිරීම. රැඳවීම් නියෝගයක් අනුව ආපස්සට යන්න බැහැ. එතැන ම රැඳී ඉන්න ඕන. අද කෙරෙන්නේ ජනාධිපතිගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයෙන් ආපස්සට ගිහිල්ලා නව පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීමේ ගැසට් නියෝගය ක්‍රියාත්මක කිරීම. උසාවිය ලබන හත්වැනි දා තීන්දුව දෙන තෙක් පාර්ලිමේන්තුව රැස්වීම වැරදියි. එහෙත් ඊනියා කතානායක පාර්ලිමේන්තුව අදට කල් දාලා. අද රතන හිමියන් වඩිනවා ද? චම්පක රතන හාමුදුරුවො හිතුවෙ පාර්ලිමේන්තුව සුද්දන්ගෙ පූජකයන්ට තැනක් වූ නිසා අපේ හාමුදුරුවරුන්ටත් වඩින්න සුදුසු තැනක් කියලා. පාර්ලිමේන්තුව වෙනුවට තෝරාගත් රාජසභාවක් පත් කර ගනිමු.