Main Logo

Monday 12 November 2018

ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්


ආණ්ඩුවේ අමේෂා සංසිද්ධියක්



දෙරණ නාලිකාවේ දෙවෙනි ඉනිම නාට්‍යයේ ඉන්නවා අමේෂා කියා චරිතයක්. ඇගේ යෙහෙළියක් වූ නිලූ හා නිලූගේ සැමියා මේනක තරුණ අනුහස් හා අවන්ත අසමගි කිරීම සඳහා අමේෂා යොදා ගන්න සැලසුම් කරනවා. අමේෂා කියන්නෙ අවන්තගෙ අම්මා. අනුහස්ගේ අම්මා අමේෂා නොවූවත් පියා අවන්තගේත් පියා. අමේෂා ව්‍යාපෘතිය සාර්ථක වේ දැයි සමහරවිට ලබන සතියේ දී දැනගන්න පුළුවන් වේවි. දැන් පඬිපෝතකයකු කියන්න බැරි නැහැ මා බලන්නේ දෙවෙනි ඉනිම වැනි ජනප්‍රිය නාට්‍ය මිසක් ඊනියා සම්භාව්‍ය නාට්‍ය නොවෙයි කියා. ඒකට කමක් නැහැ. මා සම්භාව්‍යත් නැහැ ජනප්‍රියත් නැහැ.




මට අමේෂා මතක් වුණේ අද එක්සත් ජනතා නිදහස් සංධානය හා පොදුජන පෙරමුණ භේද කිරීම සඳහා යම් පිරිසක් යොදා ගැනීමට තවත් පිරිසක් කටයුතු කරන බවක් පෙනෙන නිසා. අමේෂාගේ ජීවිතය ඇත්තේ අවන්ත වටා. ඇය අනුහස්ට විරුද්ධයි. පොදුජන පෙරමුණටත් එක්සත් ජනතා නිදහස් සංධානයටත් අම්මලා දෙන්නකු ඉන්න පුළුවන්. ඒත් ඇත්තේ එක පියකු පමණයි. ඒ පියා මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය.



මගේ මේ කියමනට විරුද්ධ වන අය පොදුජන පෙරමුණෙත් සංධානයේත් ඉන්න පුළුවන්. මට ඔවුන් ප්‍රශ්නයක් නොවෙයි. මා ඔවුන් සත පහකට මායිම් කරන්නේ නැහැ. එහෙත් ඔවුන්ගේ දේශපාලනයත් අවසාන වශයෙන් රඳා පවතින්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත. මේ රටේ විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතියයි. අප එය බටහිර යුදෙව් ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්කෘතියේ රටවලට මතක් කරනවා. බටහිරයන්ට අවශ්‍ය අපත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ සංස්කෘතික ආධිපත්‍යයට නතු කර ගන්න.



අද මෙරට ඇති විජාතික පක්‍ෂ පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමට විරුද්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයට යෑමට සූදානම් වන බවට ආරංචියි. ඔවුන්ගේ සහායට උසාවි යන්නේ කවුදැයි අපි බලමු. උසාවියෙන් කුමන තීන්දුවක් ලැබේ දැයි අප දන්නේ නැහැ. අප ඒ ගැන අනාවැකි පළ කරන්න යන්නෙත් නැහැ. ඊයේ ජනාධිපති සිරිසේන තමාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු වූයේ ඇයි දැයි ජාතිය අමතා ප්‍රකාශ කළා. ඒ කතාව හොඳයි. සිරිසේන සංස්කෘතික ප්‍රශ්න ගැනත් සඳහන් කළා. ඔහු දේශීයත්වය ගැන කියා අපට අවශ්‍ය දේශීය සංස්කෘතිය මත පදනම් වූ රටක් බවත් කිවුවා. කතාව හොඳ වුවත් ජාතිය ඇමතීම් වැඩිය හොඳ නැහැ. අතිරහත් තිත්ත වෙන්න පුළුවන්.



මෛත්‍රිපාල කලින් කළ කතාවකත් මේ දේශීයත්වය ගැන කතා කළා. රනිල් සමග එකට හිටි සමයේ ඔහු විජාතික සංස්කෘතිය ඇස් පනා පිට දකින්න ඇති. මෛත්‍රිපාල මේ සංස්කෘතික ගැටුම මුලදී ම දැන සිටිය යුතුව තිබුණා. කෙසේ වෙතත් අද ඔහු එය දන්නවා. පොදුජන පෙරමුණත් සංධානයත් එකම මූලවලින් පැවත එන බව කීමෙන් කියන්නේ නැහැ ඒ පක්‍ෂවල ඉන්න සියල්ලන් ජාතිකත්වයේ කියා. අමේෂාලා මේ පක්‍ෂවල ම ඉන්න පුළුවන්. කොහොමටත් අමේෂා අවන්තගේ මව.



අද සංධානයත් පොදුජන පෙරමුණත් මැතිවරණයට සූදානම් වෙනවා. ඔවුන් ඒ සඳහා සමගි ව සංධානයකින්/පෙරමුණකින් ඉදිරිපත් විය යුතුයි. අමේෂාලාට කිසිම ඉඩක් නොදිය යුතුයි. පෙබරවාරි පළාත් මැතිවරණයෙන් පසුව අප පෙන්වා දුන්නේ සංධානයටත් පොදුජන පෙරමුණටත් ලැබුණු සමස්ත ඡන්ද ප්‍රතිශතය 58ක් පමණ බව. අද එය පැහැදිලිව ම 60කට වැඩියි. 65% ක ඡන්දයක් ලබා ගැනීම අමාරු වන එකක් නැහැ. එහෙත් ඒ පක්‍ෂ දෙක ම එක ම පෙරමුණකින්/සංධානයකින් ඉදිරිපත් වුණොත්. අනුහස්ටත් අවන්තටත් එකතු වී මේනකගේ මැරයන්ට වැටෙන්න පහර දෙන්න පුළුවන් වුණා.



සංධානයටත් පොදුජන පෙරමුණටත් එක් වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් විජාතික බලවේගවලට නැවතත් නැගිටින්න බැරිවෙන විධියට වට්ටන්න පුළුවන්. ඒත් ඒ දේශීයත්වය ජාතිකත්වය මුල් කර ගැනීමෙන්. මෙහි දී ඇති විය හැකි ප්‍රශ්න විසඳා ගත හැකි විය යුතුයි. සංවිධායකකම් මෙහි දී ප්‍රශ්නයක් නොවිය යුතුයි. ඡන්ද 65% ඉක්මවන විට නොවෙයි ඊට අඩු වුවත් ප්‍රතිශතය වැඩි වන විට ඒ ඒ දිස්ත්‍රික්කයෙන් පත් වන මන්ත්‍රි සංඛ්‍යාව වැඩි වෙනවා. බෝනස් හා ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ද වැඩි වෙනවා. සංවිධායකලා දෙන්නකු ඉන්නවා නම් දෙදෙනාටම එක ම ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වෙන්න අවස්ථාවක් ලබෙන්න විශාල ඉඩක් තියෙනවා.



යම් අයුරකින් වෙන ම තරග කළහොත් බලාපොරොත්තු වන මන්ත්‍රීකම් නැති වනවා පමණක් නොව එ ජා පෙරමුණ ජයග්‍රහණය කිරීමේ ඉඩක් ද තියෙනවා. රනිල් දැරූ අගමැති ධුරය නතර කිරීමට ප්‍රධාන හේතුව වුණෙ සංස්කෘතික ගැටුම. ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම. එක්සත් ජාතික පක්‍ෂයේ කවුරු අගමැති වුණත් එහි රජයන්නේ විජාතිකත්වය. එහි නායකත්වයට සිංහල බෞද්ධයකු පත් වීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. අද බෝන් අගේන් ව්‍යාපාරය බෞද්ධයනට පමණක් නොව කතෝලිකයන්ටත් ප්‍රශ්නයක් වෙලා. ඒ බව කාදිනල්තුමාත් දන්නවා. බෝන් අගේන් ආගමිකයන් අගමැති ධුරයට පත් කර ගැනීමෙන් රටට යහපතක් සිදු වන්නේ නැහැ.



අද ජාතික බලවේගවලට තුනෙන් දෙකක බලයක් හිමි කර ගැනීමේ අවස්ථාව උදා වෙලා. එය පැහැර නොහැරිය යුතුයි. ක්‍රිස්තියානි නූතනත්වයේ වුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අනෙක් ආගමිකයන්ටත් සහනයක් හා ආරක්‍ෂාවක්.  අසමගිය හේතුවෙන් විජාතික එ ජා පක්‍ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවා ගත්තොත් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරාවි. විවිධාකාරයේ පඬියන් පඬිනියන් පඬි පෝතකයන් පඬි පෝතිකාවන් මට බනීවි. මා අන්තවාදියකු මිථ්‍යාමත ධාරියකු ආදි වශයෙන් හඳුන්වාවි. ඒ එකක්වත් මට අලුත් නැහැ. අවුරුදු තිස්පහක් ඒ පඬි වදන් අසා මා තෙම්පරාදු වෙලා. 

උදේනි කියන්නෙ අනුහස්ගෙ මව. උදේනි පාඩමක් ඉගෙන ගත් චරිතයක්. අප සියල්ලන් ම පාහේ ජීවිතයේ විවිධ  අවස්ථාවල වැරදි කර තිබෙනවා. මා කලක් ට්‍රොට්ස්කිවාදියකු වෙලා හිටියා. බටහිර විද්‍යාඥයකු වීමට සිතුවා. අපට වැරදි නිවැරදි කර ගන්න පුළුවන් විය යුතුයි. උදේනි අවන්ත හා අනුහස් අතර සමගිය පතනවා. අද අපට ඕන උදේනිලා මිස අමේෂාලා නො වෙයි.