Main Logo

Monday 5 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම



මෛත්‍රිපාල - මහින්ද එකතුව ගැන අද බොහෝ දෙනා කතා කරනවා. එහෙත් පසුගිය විසිහයවැනි දාට පෙර එවැන්නක්  ගැන කතා කෙළේ සිරිජාතිකවාදීන් කිහිප දෙනකු පමණයි. අද නම් බොහෝ දෙනකු සිරිජාතිකවාදීන්. එහෙත් ඇතැම් සුපිරි මහින්දවාදීන් බලා ඉන්නේ මේ ආණ්ඩුව කඩා වැටෙන තෙක්.  ආණ්ඩුව එහෙම කඩා වැටෙන්නේ නැහැ. අද ආණ්ඩුවට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව තියෙනවා. එය 113ක් විය යුතු ම නැහැ. අනෙක් අතට පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ ප්‍රශ්න තිබෙනවා. එයට හේතුව රටට ම ශාපයක් වූ දහනවවැනි සංශෝධනය. අද එකී සංශෝධනය එ ජා පෙරමුණට ම පාරාවළල්ලක් බවට පත් වී තිබෙනවා.




අද සියල්ල ම මෙන් සිදුවන්නේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ ව. මේ ආණ්ඩුව කිනම් නමකින් හැඳුන්නුව ද එය මූලික වශයෙන් රනිල්ගේ ආණ්ඩුවෙන් කරන්න සිටි සිංහල බෞද්ධ විරෝධී ක්‍රියා නතර කරන ආණ්ඩුවක්. ආණ්ඩුව හැකි ආකාරයෙන් දැනට කර අති සිංහල බෞද්ධ විරෝධි ක්‍රියා ආපසු හැරවිය යුතුයි. එසේ කීම ස්මාට් ජාතිකවාදීන්ට අමිහිරි වන්න පුළුවන්. එයට කරන්න දෙයක් නැහැ. මෙරට බහුතර ජනතාව වැඩ කරන්නේ ස්මාට් ජාතිකවාදීන්ටවත් සුපිරි මහින්දවාදීන්ටවත් අවශ්‍ය ආකාරයට නො වෙයි. විසිහයවැනි දා රතිඤ්ඤ පත්තු කර ජනතාව කියා සිටියේ මෛත්‍රිපාල මහින්ද එකතුවෙන් මහින්දගේවත් මෛත්‍රිපාලගේවත් සිංහල ජාතිකවාදීන්ගේවත් ඡන්ද පදනම අඩු වී ඇති බවක් නො වෙයි. මේ එකතුවෙන් සිිංහල ජාතිකවාදී ඡන්ද පදනම වැඩි වී තිබෙනවා. අද කොළඹට රැස්වන ජනතාව ස්මාට් ජාතිකවාදීන් නො වෙයි. 



මේ ආණ්ඩුව වැඩිකල් පවත්වාගෙන යා යුතු නැහැ. හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක ජනවරමක් සහිත ව ශ්‍රී ල නි ප පොදුජන පෙරමුණු ආණ්ඩුවක් හදන්න ඕන. ආසන්න ම මැතිවරණය වූ පෙබරවාරි මැතිවරණයට අනුව දැනටමත් මේ ආණ්ඩුවට 59%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් තියෙනවා. මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ තව ඡන්ද සුළු ප්‍රතිශතයක් පමණයි. එය ලබා ගන්න පුළුවන්.



එහෙත් ප්‍රශ්නය වන්නේ 2015 අගෝස්තු සිට අවුරුදු හතරහාමාරක් ගෙවීමට පෙර ඉක්මණින් ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එසේ අවුරුදු හතරහාමාරක් ගත වන තුරු, එනම් 2020 පෙබරවාරි වන තුරු බලා සිටින්න ඕන. ඒ දහනවවැනි සංශෝධනයේ ප්‍රතිඵලයක්. ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සැසිවාරයක් අවසන් කිරීම ආදී බලතල ලැබෙන්නේ 33 (2) අනුව්‍යවස්ථාවෙන් හා 70 ව්‍යවස්ථාවෙන්. සැසිවාරයක් අවසන් කර නව සෑසි වාරයක් ආරම්භ කරන දින දැනුම් දීමෙන් පසුවත් 70(3) අනුව්‍යවස්ථාව යටතේ ඒ නව සැසිවාරය ආරම්භ කරන  දිනය වෙනස් කරන්න පුළුවන්.



එය කතානායකට කරන්න පුළුවන් දෙයක් නො වෙයි. දැන් කතානායකට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැහැ. අද එ ජා පෙරමුණ කතානායක ලවා කරවා ගන්න සිතන එකක්වත් ඉටු කර ගන්න බැහැ. ඔවුන් මහින්ද අගමැති කිරීමට විරුද්ධව සංදර්ශන පැවැත්තුවත් අධිකරණයට යන්නේ නැහැ. ගියොත් වෙන්න පුළුවන් මොකක් ද කියන එක එ ජා පෙරමුණේ නීතිඥයන් කියා දී ඇති. චම්පකගේ ඊනියා චණ්ඩි කතාවලින් කරන්න පුළුවන් දෙයකුත් නැහැ. දශක තුනකට පමණ පෙර වාද්දුවේ දී ඔහු අත්අඩංගුවට ගත් වෙලේ ඔහුගේ ඊනියා චණ්ඩිකම මනාව ප්‍රදර්ශනය වූ ආකාරය  ඔහු සමග අත්අඩංගුවට පත් වූවන් විස්තර කරනවා. 



ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් එසේ ගෙන ඒම ම එ ජා පෙරමුණේ පරාජයක්. එයට හේතුව එමගින් ඔවුන් දැන් ඇත්තේ වෙනත් ආණ්ඩුවක් බව පිළිගැනීමයි. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු කලින් කී පරිදි  අවුරුදු හතරහාමාර ගෙවී නැත්නම්, 48(2) අනුව්‍යවස්ථාව යටතේ විශ්වාසභංගයක් සම්මත වුවත් අයවැය හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ ප්‍රතික්‍ෂෙප වුවත් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. පාර්ලිමේන්තුව ඉබේ විසිරෙන්නෙත් නැහැ. අමාත්‍ය මණ්ඩලය නම් විසිරෙනවා. එවිට ජනාධිපතිට කළ හැක්කේ  අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කරන එක පමණයි. ජනාධිපතිට අවශ්‍ය නම් මහින්ද හා ඇමති මණ්ඩලය ම නැවතත් පත් කරන්න පුළුවන්. එසේ කළ නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ නැහැ. එහෙමත් නැත්නම්  විජිතමුණි සොයිසා අගමැති කර මේ ඇමතිවරුන් ම නැවත පත් කළ හැකියි. එ ජා පෙරමුණට සොයිසා සමග හැප්පෙන එක ලෙහෙසි වන එකක් නැහැ. 



එහෙත් පාර්ලිමේන්තුව අවුරුදු හතරහාමාරකට පෙර විසුරුවා හරින්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් කලින් කියා ඇති පරිදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කිරීම. එවැනි යෝජනාවක් මෛත්‍රිපාල - මහින්ද ආණ්ඩුවට ම ගෙන එන්න පුළුවන්. එයට එ ජා පෙරමුණ ඡන්දය දෙනවා ද කියා එවිට බලන්න පුළුවන්. එ ජා පෙරමුණ මොන වහසි බස් දෙඩෙවුවත් ඔවුන් දන්නවා අද මැතිවරණයක් තිබ්බොත් තමන් පරදින බව. නැහැ කුජීත වන බව.



ඒ අතර තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නවක මන්ත්‍රීන් එවැනි යෝජනාවකට ඡන්දය දේවි ද යන්න. එවැනි යෝජනාවක්  ඔවුන්ගේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට හරස් ව සිටිනවා. එයට පිළියමක් යොදන්න ආණ්ඩුවට හැකි විය යුතුයි.



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති තවත් ක්‍රමයක් නම් අයවැය යෝජනා දෙවරක් පරාජය කිරීමයි. එහෙත් මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ අතුරු අයවැයක්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ අයවැය යෝජනා (විසර්ජන පනත) ගෙනෙන එක සංකීර්ණ කියාවලියක්. අයවැය එක් වරක් පරාජය කිරීමෙන් නම් කලින් කියා ඇති පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන්නේ නැහැ.



නවක මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයට පිළියමක් සොයා ගත හැකි නම් ආණ්ඩුව ම මැදිහත් වී හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම රටට කරන යහපතක්. එවිට මැතිවරණයකින් ඊනියා කුඩා පක්‍ෂවලට බලපෑම් කළ නොහැකි තුනෙන් දෙකේ බලයක් සහිත  ආණ්ඩුවක් පිහිටුවා ගත හැකියි.