Main Logo

Sunday 25 November 2018

රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා


රනිල්ගේ බෝධි පූජා හා සුමන්තිරන් පූජා



රනිල් බෝධි පූජා තියන්න කියලා. ඔහු රවටන්නෙ හදන්නෙ කාව ද? දෙවියන් ද? ජනතාව ද? නැත්නම් ජනතාව හා දෙවියන් ද? රනිල්ට ඇති සිංහල බෞද්ධ සංස්කෘතියක් නැහැ. ඔහු මෙතෝදිස්ත සුමන්තිරන් එක්ක එකතුවෙලා ජයම්පති ලව්ව ව්‍යවස්ථා හදවල රනිල්ලාගේ අනුර කුමාර දිසානායක ලව්ව විස්ස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල කරන්න හැදුවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය නංවාලීම නො වෙයි.




රනිල් සිංහල බෞද්ධ විරෝධියකු බව අප කීවේ අද ඊයේ නො වෙයි. ඔහු තනිකර ම බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ. ඔහුගෙ  ආගම මොකක් ද කියන එක මට වැඩක් නැහැ. ඔහුගෙ පියා ඇංග්ලිකන් ක්‍රිස්තියානි. අද එය හඳුන්වන්නෙ ලංකා සභාව කියලයි.  ඔහුගෙ බාප්පා ඇංග්ලිකන් බිෂොප්වරයෙක්. ඔහුගෙ මව බෞද්ධ ඒත් ඒ අයත් එක් කාලෙක විජේවර්ධන ඩෙප්ලා. හිටපු අගවිනිසුරු ඩෙප් ඔවුන්ගෙ නෑදෑ පරපුරේ. විජේවර්ධනලා තමයි ලේක් හවුසියෙ අයිතිකාරයො. රනිල්ගෙ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහ වැඩ කෙළෙ විජේවර්ධනගෙ ලේක් හවුසියෙ. එස්මන්ඩ්ලා බද්දෙගම පැත්තෙ. එස්මන්ඩ් තරුණ කාලෙ ට්‍රොට්ස්කිවාදියෙක්. පස්සෙ ලිබරල්වාදියෙක්.



ලේක්හවුසිය තමයි ධර්මපාලතුමාට එළව එළව ගැහුවෙ. ධර්මපාලතුමා අන්තිමට ඉන්දියාවට ගිහිල්ල නැවතුණෙ කළ කිරීමෙන්. විජේවර්ධනලාගෙ ලේක්හවුසිය සිංහල බෞද්ධත්වයට පහර ගැහුව. පනස්හයේ දි ලේක්හවුසිය ම එ පෙරමුණට විරුද්ධ වුණා. ආණ්ඩුවෙ ගුවන් විදුලියත් එහෙමයි. ලංකාදීපෙ ඩී බී ධනපාල විතරයි ම එ පෙරමුණ වෙනුවෙන් කතා කෙළෙ. ඒත් ම එ පෙරමුණ එ ජා පක්‍ෂය අටට බැස්සුවා. මාර්ටින් වික්‍රමසිංහ ජයග්‍රහණයෙන් පස්සෙ බමුණු කුලය බිඳවැටීම කියල ලිපියක් ලියල දහසින් බැඳි පියල්ලක් ලබා ගත්ත.



ඒත් බමුණු කුලය බිඳ වැටුණෙ නැහැ. මේ බමුණු කුලය කියන්නෙ වෛදික බමුණු කුලයක් නොවෙයි. එහෙම බමුණු කුලයකුත් ලංකාවෙ අතීතයෙ තිබුණා. වත්මන් බමුණු කුලය කියන්නෙ බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියෙ බමුණු කුලය. ලේක්හවුසිය පස්සෙ කාලෙක බණ්ඩාරනායක මැතිණියටත් කරදර කළා. ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙ ඉගෙන ගත්තත් ඇය සිරිමාවෝ. පාසලක සංස්කෘතියට හැම තිස්සෙ ම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනස් කරන්න බැහැ. ධර්මපාලතුමා රාජකීය විද්‍යාලයේත් ශාන්ත තෝමස් විද්‍යාලයේත් ඉගෙන ගත් අයෙක්.



බමුණු කුලය තවමත් තියෙනවා. එය තවමත් බලවත්. පාණදුරා වාදයට ප්‍රධාන ආසන්න ම හේතුව වුණෙ ඇංග්ලිකන් හා මෙතෝදිස්ත පූජකවරුන් හා දේශකයන් බුදුදහමට කළ නිග්‍රහ. 1840 දි ඉංගිරිසින් බුදුදහම රැකීමට 1815 ගිවිසුමෙන් වූ පොරොන්දුව කඩ කළා. ඉංගිරිසින් 1815 දී වාරියපොළ සුමංගල හාමුදුරුවන් යාපනේ හිර කර තිබ්බ. 1848 දී කඩහපොල හාමුදුරුවන්ට වෙඩි තිබ්බ. මෙරට ආගමික වාද කියන්නෙ සංස්කෘතික ගැටුම්. යටත්විජිතවාදයට එරෙහි ව කළ සටන්. අමද්‍යප ව්‍යාපාරයත් යටත්විජිත විරෝධී සටනක්. එහෙත් අදත් රටේ බලවත් ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය අද රටේ අස්සක් මුල්ලක් නැතිව පැතිර ගිහිල්ල.  මාර්ටින් වික්‍රමසිංහත් අවසාන වශයෙන් ගත්ත ම ක්‍රිස්තියානි නූතනත්වයෙ.



අද ලංකාව මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉහළට ම ගිගින්. මිනිමැරුම් ඉහළ ම තලයක. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙ පිහි වනනවා. පාසල් සිසුන් තම වයසෙ ම සිසුන් පිහියෙන් ඇන මරනවා. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල වීමේ ප්‍රතිඵල. සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කෙරුණෙ ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතියෙන්. ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝක ආධිපත්‍යය දරනවා. එයට විරුද්ධව සටන් කරන්න ඔවුන්ගෙ උපක්‍රම භාවිතා කරන්න ඕන. අපට අපේ ප්‍රවාද තියෙන්න ඕනෙ.



පාණදුරා වාදය තිබූ දිනවලටත් වඩා අද ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙනවා. අද බෝන් අගේන් ක්‍රිස්තියානිය රටේ ඉහළ තැන්වල ඉන්න අය බිලි බා ගන්නවා. ඔවුන් දෙපැත්තෙ ම ඉන්නවා. මා නම් කියන්නේ නැහැ. අද රට මෙහෙයවන්නෙ ඇංග්ලිකන් සංස්කෘතියෙ රනිල් හා මෙතෝදිස්ත සංස්කෘතියෙ සුමන්තිරන්. රනිල්ලාගේ අනුර කුමාර ඔවුන් දෙදෙනා විසින් දක්ක ගෙන යන්නකු පමණයි. අප ඒ කල්ලිය රනිල් අනුර සුමන්තිරන් කල්ලිය ලෙස හැඳින්නුවා. සුමන්තරන් කොතරම් බලවත් ද කියන එක පසුගිය දා අප පාර්ලිමේන්තුවේ දී දුටුවා. හේතුව කුමක් ද යන්න ගැන විවිධ කතා පැතිර ගියත් උසාවියෙත් තම බල පරාක්‍රමය විහිදුවන  සුමන්තිරන් තම බලය උසාවි නොයන නීතිඥ කිරිඇල්ලට පෙන්නුවා. එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට එකඟ ද කියලා ඊනියා කතානායකගෙන් අහල වැඩක් නැහැ.



පහුගිය අවුරුදු තුනහමාරක පමණ කාලයෙහි රනිල් සිංහල බෞද්ධ සංස්කෘතියට එල්ල කළ පහරවල ලැයිස්තුව ඉතා දීර්ඝයි. භික්‍ෂූන් වහන්සේට රණ විරුවන්ට පමණක් නොව සිංහල ගොවිකමටත් සිංහල වෙදකමටත් පහර වැදුණා. සිංහල ගුරුවරු කියා පිරිසක් අද නැහැ. සඟ වෙද ගුරු ගොවි රණවිරු පංච මහා බලවේගය දුර්වල කෙරුණා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කෙරුණෙ මේ කරුණු නිසා. එහි දී විධායක බලය ඇති මෛත්‍රිපාල ජන බලය ඇති මහින්ද සමග එකතු වුණා.



අද මේ එකතුවට විරුද්ධව ක්‍රිස්තියානි සංස්කෘතිය අවි අමෝරා ගෙන සටන් කරනවා. එහි දී බටහිර ක්‍රිස්තියානි රටවල තානාපතිවරුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව සටන් කරනවා. මෙය විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සටනක් නොවෙයි. සංස්කෘතීන් අතර සටනක්, බොහෝ විට අවසන් සටන වෙන්න පුළුවන්. ඉංගිරිසි ක්‍රිස්තියානි සංස්කෘතිය ජයග්‍රහණය කළොත් ඉන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරල දාවි. මේ සංස්කෘතික ගැටුම,  විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ලෙස පෙන්නුම් කෙරෙනවා, පඬි බසින් කියනවා නම් ප්‍රක්‍ෂෙපණය කෙරෙනවා. මෙයින් කියන්නෙ තෙවරප්පෙරුමලා රංගෙ බණ්ඩාරලා ක්‍රිස්තියානි සංස්කෘතියෙ කියන එකවත් ජොන්ස්ටන්ලා බෞද්ධ සංස්කෘතියෙවත් කියන එක නො වෙයි. මා සඳහන් කරන්නෙ සමස්තයක් ලෙස ගැටුම මොකක් ද කියන එක.



මෙය අවසාන සටන විය හැකි නිසා ම රනිල් හා සුමන්තිරන් සටන අතහරින්න සූදානම් නැහැ. අනුරලා චම්පකලා රාජිතලා ඉත්තන් පමණයි. අධිකරණය ගැන විවිධ කතා පැතිර යනවා. අපි ඒ ගැන කතා නොකර ඉඳිමු. රනිල්ගේ බෝධි පූජාවෙ ව්‍යාජය තේරුම් ගනිමු.