Main Logo

Sunday 4 November 2018

රනිල් ඉවත් කිරීම ගැන වචනයක්


රනිල් ඉවත් කිරීම ගැන වචනයක්



කිහිප දෙනකු ව්‍යවස්ථාවේ ඇති වගන්ති කිහිපයක් පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. ඒ ගැන උනන්දුවක් දැක්වීම හොඳයි. කිසිම දෙයක් විශේෂඥයන්ට පමණක් භාර දී පැත්තකට විය යුතු නැහැ. යුද්ධය ජෙනරාල්ලාට පමණක් භාර නොදිය යුතු යැයි බටහිර කතාවක් තියෙනවා.  නීතියත් එසේමයි. එය නීතිඥයන්ට පමණක් භාර දෙන්න හොඳ නැහැ. පැරණි සිංහලයන් බොහෝ දේ දැනගෙන හිටියා. අපේ සමාජය වෙනත් බොහෝ සමාජවලට වඩා සමජාතීයයි. එහි ඕනෑම ක්‍ෂෙත්‍රයක ඉහළ ම අය හා පහළ ම අය අතර විශාල පරතරයක් නැහැ. යටත්විජිත සමයෙහි විශාල පරතරයක් ඇති කරන්න උත්සාහයක් ගත්තා. අද එය ක්‍රමයෙන් කැඩී යනවා.




අගමැති පත් කිරීම ගැන අදාළ වගන්ති හතරක් තියෙනවා. එකක් 42(4).  දෙවැන්න 43(3). තුන්වැන්න 48(1). හතරවැන්න 46(2).  අගමැතිවරයකු පත් කිරීමේ දී සෘජුව ම බලපාන්නේ පළමු දෙක. පළමුවැන්නෙන් තමයි තම මතය අනුව අගමැති පත් කිරීමට ජනාධිපතිට බලය ලැබෙන්නේ. ඒ පිළිබඳ දැන් මතභේදයක් නැති තරම්. 2015 ජනවාරියේ රනිල් පත් කෙළේත් ඒ වගන්තිය යටතේ. දෙවැන්න වැඩි දෙනකු අතර කතා බහට ලක්වන්නේ නැහැ. බොහෝ දෙනා එක් පක්‍ෂයක් ඊනියා ජාතික ආණ්ඩුවෙන් අස්වීම අගමැති ඉවත් කිරීම වැනි වැරදි කතා කිය කිය ඉන්නවා . එක් පක්‍ෂයක් ඊනියා ජාතික ආණ්ඩුවෙන් අස් වූ පමණින් අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ නැහැ.



43(3)න් කියැවෙන්නේ ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය කාර්ය හා සංයුතිය වෙනස් කිරීමට හැකිය යන්නයි. එහෙත් එහි තවත් කොටසක් තියෙනවා. එයින් කියැවෙන්නේ ජනාධිපතිවරයා කරන එවැනි වෙනස් කිරීමක් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ  පැවැත්මට හා පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරණ වගකීමේ අඛණ්ඩ පැවැත්මට බල නොපාන බවයි. මෙහි ප්‍රශ්නයක් ඇති බව පෙනෙන්නේ එය 46(2) සමග ගත්විටයි.



46(2)න් කියැවෙන්නේ අගමැති ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ  මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන බවයි. ඒ අතර 48(1)න් කියන්නේ අදාළ කාලයෙහි අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අගමැති ධුරය දැරීම නතර කළ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන බවය.



දැන් 46(2) ගනිමු.  අගමැති ඉල්ලා අස් වී නැහැ. එමෙන් ම ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මෙහි අගමැති ඉවත් කිරීමක් කියැවෙන්නේ නැහැ. ඔහු අස්කළා ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නොවෙයි.  එසේ නම් 46(2) අනුව අමාත්‍ය මණ්ඩලය පවත්නා තෙක් අගමැති තම ධුරය දරනවා. 48(1)න් කියැවෙන්නේ අගමැති ධුරය දැරීම නතර කළ විට අමත්‍ය මණ්ඩලය විසිරෙන බවයි. 46(2) අනුව අමත්‍ය මණ්ඩලය පවතිනා තෙක් අගමැති තම ධුරය දරනවා. මෙය විසඳා ගන්නේ කෙසේ ද?



46(2)න් තමයි අගමැති ධුරය දැරීම ගැන කියැවෙන්නේ. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය පවතින්නේ නැත්නම් අගමැති ධුරය දරන්නේ නැහැ. 48(1)න් කියන්නේ අගමැති ධුරය දැරීම නතර කළ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන බවයි.  මෙය A නැත්නම් B නැහැ, B නැති විට A නැහැ යනුවෙන් කියැවෙන්නක්.  A කලින් නැතිවුවහොත් B  නැති වෙනවා. B කලින් නැතිවුවහොත්  A  නැති වෙනවා.



දැන් අගමැති අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර කෙරෙන්නේ 43(3)න්. ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරලා. විෂය වෙනස් කරලා, කාර්ය භාර වෙනස් කරලා. එහි ප්‍රශ්නයක් නැහැ. 43(3) අනුව අගමැති අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර කර තිබෙනවා. අපට වැදගත් වන්නේ එයයි.  මා මෙහි දී අස් කිරීම සලකන්නේ නැහැ. එයට හේතුව 46(2)න් අස් කිරීමක් ගැන නොකියවෙන බැවින්.



43(3) අනුව අන්‍යාකාරයකින් අගමැති ධුරය දැරීම නතර කර ඇති බැවින් 48(1) අනුව අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. එවිටත් 46(2) අනුව අගමැති ධුරය දැරීම නතර වෙනවා. අවශ්‍ය නම් දැන් නැවතත් 48(1) අනුවත් අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. මෙහි කිිසිම ගැටළුවක් නැහැ.



ප්‍රශ්නයක් ඇති වන්නේ යැයි සිතන්නේ 43(3) හි ඉතිරි කොටස ගත් කල. ඒ ඉතිරි කොටසින් කියැවෙන්නේ ජනාධිපති කරන එවැනි වෙනස් කමකින් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට බලපෑමක් නොවන බවයි.



මේ අඛණ්ඩ පැවැත්ම හා අමාත්‍ය මණ්ඩලය විසිරීම කියන්නේ එකක් නොව දෙකක්. අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුව ආරම්භයේ සිට ඊළඟ පාර්ලිමේන්තුවේ ආරම්භය දක්වා දිගට ම අඛණ්ඩ ව පවතින්න ඕන. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුවත් භාරකාර ආණ්ඩුවක්, අමාත්‍ය මණ්ඩලයක් පවතින්නේ එබැවිනුයි. මෙහි අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ  පැවැත්ම යනු තනතුරක පැවැත්ම වැනි දෙයක්. තනතුරක් දිගට ම අඛණ්ඩව පවතින නමුත් තනතුර දරන්නා වෙනස් වන්න පුළුවන්.  එක් විදුහල්පති කෙනකු වෙනුවට වෙනත් විදුහල්පති කෙනකු පත් වෙන්න පුළුවන්. එහෙත් විදුහල්පති ධුරය අඛණ්ඩව පවතිනවා.



එක ම පාර්ලිමේන්තුවේ එකම සැසිවාරයක දී වුවත් වෙනත් ඇමතිවරු ඉන්න පුළුවන්. එහෙත් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම නතර වන්නේ නැහැ. එක් ඇමතිවරයකු වෙනුවට වෙනත ඇමතිවරයකු පත් කළොත් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම නැති නොවන බව අප දන්නවා. මෙහි දී එක් ඇමතිවරයකු පමණක් නොව ඇමතිවරු සියළු දෙනා ම වෙනස් වෙන්න පුළුවන්.  43(3) අවසාන කොටසෙන් අවධාරණය කෙරෙන්නේ එසේ ඇමතිවරු සියලු දෙනා ම වෙනස් වුවත් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට ඉන් බලපෑමක් නොවන බවයි.



පසුගිය 26 වැනි සිකුරාදා සිදු වී ඇත්තේ එයයි. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය විෂය කාර්ය වෙනස් කෙරිලා. රනිල් තව දුරටත් අගමැති ධුරය දැරීම නැවතිලා. අමාත්‍ය මණ්ඩලය විසිරිලා. එහෙත් අමාත්‍ය මණාඩලයේ අඛණ්ඩ පැවැත්මට බලපෑමක් වෙලා නැහැ. මහින්ද හා ඇමතිවරු දැන් ක්‍රියාත්මකයි. හිටපු විදුහල්පති වෙනුවට නව විදුහල්පති කෙනකු පත් කෙරිලා. විදුහල්පති තනතුර අඛණ්ඩව පවතිනවා. හිටපු විදුහල්පතිගේ සමයේ අස් වූ ශිෂ්‍යයකුටත් නව විදුහල්පතිගෙන් අස්වීමේ සහතිකය ලබා ගන්න පුළුවන්.