Main Logo

Tuesday 20 August 2019

මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ

         සිංහල ලිත් ඉලක්කම් 


මේ ශවේන්ද්‍ර සිල්වාට කඩේ යෑමක් නොවේ




ශවේන්ද්‍ර සිල්වා හමුදාපති පදවියට පත් කරලා. මහේෂ් සේනානායකට ඔහුගේ සේවය අවසන් වන බව දන්වන්න වුවමනා නැතිව වෙන්න පූළුවන්. නීතිය අනුව ඔහු ඊයේ විශ්‍රාම යෑමට තිබුණා. විශ්‍රාම යන අයට ඒ බව කලින් දන්වන සිරිතක් රාජ්‍ය සේවයේ නැති වෙන්න පුළුවන්. ඒත් හමුදාවේ විශ්‍රාම යන හමුදාපතිට සමු ගැනීමේ ආචාර පෙළපාලියක් එහෙම පැවැත්වෙන බව අප ජනමාධ්‍යයෙන් දැක තිබෙනවා. මහේෂ් සේනානායකගේ සමු ගැනීම උත්සවාකාරයෙන් සිදුවන්නේ අද කියල කියනවා. උත්සවය නිල වශයෙන් සමු ගැනීමට පෙර සිද්ධ වෙන්න ඕන කියලා නීතියක් නැතිව ඇති. 


මහේෂ් සේනානායකගේ සමු ගැනීමවත් ශවේන්ද්‍ර සිල්වාගේ පත් වීමවත් කතා කරන්න දෙයක් නො වෙයි. ඒත් මෙතැන මොකක් හරි දෙයක් සිදු වෙන බව නම් තේරෙනවා. ඒ මොකක් ද කියල දන්නෙ නැහැ. ශවේන්ද්‍ර සිල්වා කොටින්ට විරුද්ධ ව කරන ලද මෙහෙයුම්වල දි ජනමාධ්‍යයෙන් වඩාත් ම කැපී පෙණුනු නිලධාරියා. ඔහගේ පත් වීම වෙනුවෙන් අපි සුබ පතනවා.  

ශවේන්ද්‍ර සිල්වා පත් වීම ගැන අපට වෙන විධියක කතාවක් තියෙනවා. මෙරට හමුදාපති පත් කෙරෙන්නේ ජනාධිපති විසින්. ජනාධිපති තමයි සේනාධිනායකයා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පොලිස් කොමිසම වගේ ඊනියා ස්වාධීන කොමිසමක් හමුදා ව වෙනුවෙන් ඇති කෙරී නැහැ. එහෙම ඇති කරලා තිබුණ නම් සමහර විට ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත් නොවෙන්නත් තිබුණා. 

එවැනි ඊනියා ස්වාධීන කොමිසමක සාමාජිකයන් ලෙස සිවල් සාමාජිකයන් ඊනියා රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන් අනිවාර්යයෙන් ම පත් වෙනවා. එකල ස්වාධීන රූපවාහිනියේ නිවේදකයකුට මා ලිපියක ඊනියා කියන චචනය කී වතාවක් යෙදා ගන්නේ ද යන්න ප්‍රශ්නයක් වී තිබුණා. සමහරවිට ඔහුට ඊනියා නිවේදකයකු යැයි නොකීම ගැන සිත් තැවුලක් තිබුණා ද කියා දන්නේ නැහැ. යමකුට හරි යමකට හරි ඊනියා කියන්නේ ඒ හෑඳින්වීමෙන් කියැවෙන ගුණය නැති වුණා ම. නිවේදකයකු නොවී නිවේදක කියා යොදා ගන්නේ නම් එවිට ඊනියා නිවේදක කියා කියන්න පුළුවන්.

මෙරට ස්වාධීන කොමිසම් ඇති වන්නේ නැහැ. ස්වාධීන කොමිසම් දේශපාලනඥයන් විසින් පත් කෙරෙන්නේ නම් කොමිසම්වල ස්වාධීනත්වයක් නැති බව පැහැදිලියි. දහනවවැනි සංශෝධනය කෙටුම්පත් කළ අයට හමුදාව සම්බන්ධයෙනුත් ඊනියා ස්වාධීන කොමිසමක් ඇති කරන්න කල්පනා නොවීම නම් ප්‍රශ්නයක්. පොලීසියට ඊනියා ස්වාධීන කොමිසමක් පත් කරපු වෙලාවෙ හමුදාවටත් පත් කරන්න තිබුණා.

එහෙම හමුදාවට ඊනියා ස්වාධීන කොමිසමක් පත් කරල තිබුණ නම් කොච්චර හොඳ ද? දැන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කරපු එක  හැම සිංහල විරෝධියකුට ම ප්‍රශ්නයක් වෙලා. දෙස් විදෙස් සිංහල විරෝධීන් ශමින්ද්‍ර සිල්වාගේ පත් කිරීමට කිපිලා. ඔවුන් ඒ ගැන විවිධ කතා කියනවා. විවිධ ප්‍රශ්න අහනවා. මේ කතා ප්‍රශ්න ඔක්කොම කම්මුතු කරන්න තිබුණා  හමුදාවටත් ඊනියා ස්වාධීන කොමිසමක් පත් කරල සිංහල විරෝධීන් ටිකක් ඒකෙ සාමාජිකයන් කෙරුව නම්. 

ඒ කොමිසමට සුමන්තිරන්ගේ නියෝජිතයන් විග්නේස්වරන්ගෙ නියෝජිතයන් ශිවජිලිංගම්ගෙ නියෝජීයන් බද්‍යුද්දීන්ගේ නියෝජිතයන් අසාද් සාලිගෙ නියෝජිතයන් චම්පකගෙ නියෝජිතයන් රාජිතගෙ නියෝජිතයන් රනිල්ගෙ නියෝජිතයන් ආදී වශයෙන් පත් කර ගත්ත නම් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරයට පත් නොකර ඉන්න තිබුණා කියල හිතන්න පුළුවන්. එතකොට දෙස් විදෙස් සිංහල විරෝධීන්ට සුවසේ නින්ද යන්න තිබුණා. 

ලංකාවෙ සේනාධිනායකට (ජනාධිපතිට) හමුදාපති පත් කරන්න බැරි නම් ඒ සේනාධිනායකකමෙන් ඇති වැඩක් නැහැ. ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමේ දී ඔය විරුද්ධතා කලින් ද තියෙන්න ඇති. එ විරෝධතා පිළිබඳ කෙලින් ඉඳලා ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ගැන මෛත්‍රිපාලට අපි ස්තුති කරන්න ඕන. මේ ඔහුට කඩේ යෑමක් හැටියට පොහොට්ටුවේ ඇතැමකුට පේන්න පුළුවන්. ඒ පොහොට්ටුවට කඩේ යන අයට. අද පොහොට්ටුවේ අයට කරන්න පුළුවන් ඉහළ ම කාර්යය තමයි මෛත්‍රිපාල සජිත් වෙතට යෑම වළක්වලා ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ තබා ගැනීම. මෛත්‍රිපාල රනිල් වෙත යවා වූ හානිය ගැන කල්පනා කරන්න.

කඩේ යෑම පැත්තකින් තියල අද කරන්න තියෙන්නෙ සිංහල විරෝධීන්ට විරුද්ධ ව එකතු වෙන එක. සිංහල විරෝධීන්ට සියළු මතභේද තියෙද්දි එකතු වෙන්න පුළුවන් නම් ඔවුන්ට විරුද්ධ ව අනෙක් අයට එකතු වෙන්න බැරි ඇයි? මෙරට සිංහලයන්ට හිමි වී තිබූ බොහෝ දේ නැවත ලැබිලා නැහැ. යම් ආකාරයක නිදහසක් ලැබිල අවුරුදු හැත්තෑඑකක් ගිහින් තිබුණත් සඟ වෙද ගුරු ගොවි කම්කරු සටන් පාඨයට අවුරුදු හැටතුනක් ගිහින් තිබුණත් සංඝයා වහන්සේ අදත් අට පිරිකරට දානයට පාංශුකූලයට සීමා වෙලා. සිංහල වෙදමත්වරුන්ට කිසිම තැනක් නැහැ. ගුරුවරු නැති වෙලා සර්ලා ඇවිල්ලා. සිංහල ගොවිකමක් නැහැ. කෘෂිනිලධාරීන් ඉන්නවා කෘෂිකාර්මික වකුගඩු රෝගයත් පැතිරෙනවා. කම්කරවො උදේට වැඩට ගිහින් හවසට ගෙදර එනවා. ඒ අතර ගොවීන් පමණක් නොව රණවිරුවනුත් සිය දිවි නසා ගන්නවා. 

ශමිනද්‍ර සිල්වා කළ යුතු රාජකාරි බොහෝමයි. හමූදාපති ඉදිරියේ මා සොක්කෙක්. ඔහුට කරුණු කාරණා කියන්න මා කවුද?  එහෙත් මුස්ලිම් අන්තවාදය ඉවර නැහැ. ඒ ගැන පරික්‍ෂණ හරිහැටි කෙරෙන්නේ නැහැ. බද්‍යුද්දීන්ටයි අසාද් සාලිටයි හකීම්ටයි හිස්බුල්ලාට බය නොවී මුස්ලිම් අන්තවාදය කම්මුතු කරන්න තියෙනවා. ඒ වගේ ම රණවිරුවන් සිය දිවි නසා ගන්නේ මොකද කියල හොයල බලලා පිළියමක් යොදන්නත් තියෙනවා. තවත් බොහෝ දේ තියෙනවා.