Main Logo

Thursday, 15 August 2019

සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය

              සිංහල ලිත් ඉලක්කම්



සංස්කෘතික ගැටුම, බැරැන්ඩි කෝවිල හා මුස්ලිම් සංස්කෘතිය




අද ලෝකය පුංචිවෙලා තියෙන්නෙ බටහිර තාක්‍ෂණය නිසා. බටහිර තාක්‍ෂණය බටහිර විද්‍යාවෙන් වෙනස් වුවත් ඒ සමග බැඳී තියෙනවා. බටහිර තාක්‍ෂණය විද්‍යාව දැනුම ආදී සියල්ල අදාළ සංස්කෘතියට සාපේක්‍ෂයි. එ සියල්ල චින්තනය මත පදනම් වෙනවා. එහෙත් මට කියන්න ඕන ඒ කාරණය නො වෙයි. මිනිසුන් දේශයෙන් දේශයට සංක්‍රමණය වීම හා එහි දී සංස්කෘතිය කෙසේ බලපානවා ද යන්න. මේ හැඳින්වීමක් පමණයි. 


අද බටහිර රටවල සිංහලයන් පදිංචි වෙලා ඉන්නවා. ඉන් යම් පිරිසක් ඒ ඒ රටවල රටවැසියන් වෙලා. ඔවුන්ගෙන් සමහරු ද්විත්ව රටවැසියන්. ඒ සිංහලයන්ගෙන් බෞද්ධ වූ බොහෝ අය තම බෞද්ධකම රැක ගන්නවා. එක් පැත්තකින් ලෝකය පුංචි වීමත් සමග ඔවුන්ට තම නෑ හිතමිතුරන් සමග ක්‍ෂණයකින් ස්කයිප් හරි වෙන යම් තාක්‍ෂණයක් හරි යොදා ගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. අඩුම තරමෙන් දුරකථන ඇමතුමක් ලබා ගන්න පුළුවන්. 

දැනට අවුරුදු පනහකට පෙර තත්වය එසේ නො වෙයි. බොහෝ වෙලාවට සම්බන්ධකම් පවත්වා ගෙන ගියේ සාමාන්‍ය ගුවන් තැපෑලෙන්. අද සාමාන්‍ය තැපෑල හැඳින්වෙන්නේ ගොළුබෙලි තැපෑල ලෙස. ඒ කාලෙ එංගලන්තෙන් ගෙදරට ලියුමක් යවල උත්තරයක් ලබා ගන්නෙ අඩු ම තරමෙන් සති දෙකක් යනවා. ඊටත් ඉස්සර ගුවන් තැපැල් නැති කාලෙ ඊටත් වඩා කල් යන්න ඇති. 

ඒ වුණත් බටහිර රටවලට ගිය සිංහල බෞද්ධයන් සමස්තයක් ලෙස බෞද්ධකම නැති කර ගත්තෙ නැහැ. විශේෂයෙන් ම එංගලන්තයට ගිය අය (වැඩි පිරිසක් එදා ගියේ එංගලන්තයට) ලන්ඩන් බෞද්ධ විහාරය තනා ගෙන වත් පිළිවෙත් කිරීම් පවා පවත්වා ගෙන ගියා. ඒත් දෙවැනි තුන්වැනි පරම්පරා විතර එනකොට සිංහල බෞද්ධකම ටිකෙන් ටික ඈත් වුණා. කිසිවකු ඉංගිරිසි තරුණියක් විවාහ කර ගත්තා නම් ඔවුන්ගෙන් පැවත එන්නන්ගේ  සිංහල බෞද්ධකම ඉක්මනින් නැති වී ගියා. අද වන විට නම් බටහිර ප්‍රධාන නගරවල පන්සල් දකින්න පුළුවන්. ඒ පන්සල්වල සිංහල හාමුදුරුවරුන් වැඩ වාසය කරනවා. එහෙත් පරම්පරා කිහිපයකින් සිංහල බෞද්ධකම නැති වෙලා සමහර විට ඉංගිරිසි බෞද්ධයන් ඇති වේවි. 

ඒ ඉංගිිරිසි බෞද්ධයන් බොහෝ විට සිංහල කතා කරන එකක් නැහැ. සමහර විට ඔවුන් අතරින් අති දක්‍ෂ බටහිර විද්‍යාඥයන් බිහිවන්න පුළුවන්. මා මෙහි දී කල්පනා කරන්නේ ප්‍රවාදාත්මක විද්‍යාඥයන් ගැන මිසක් ප්‍රායෝගික පැත්තට බර වූ විද්‍යාඥයන් ගැනවත් ඉංජිනේරුවන් වෛද්‍යවරුන් වැනි තාක්‍ෂණවේදීන් ගැනවත් නො වෙයි. අද එංගලන්තයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලැබු සිංහලයන් දෙදෙනකු ඉන්නවා. එක් අයකු හොංකොං විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යවරයකු වූ බටහිර වෛද්‍යවරයෙක්. අනෙක් තැනැත්තා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු මහාචාර්යවරයෙක්. අති දක්‍ෂ ප්‍රවාදාත්මක විද්‍යාඥයකු වීමට ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි ගැඹුරට යන්න ඕන. ඒ දක්‍ෂකම එක් පරම්පරාවකින් ඇති කර ගන්න පුළුවන් එකක් නො වෙයි. 

ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි බෞද්ධයන් ඉන්න පුළුවන්. ඔවුන් බොහෝ විට බුද්ධිමය (rational) බෞද්ධයන්. ලංකාවේත් තමන් බුද්ධිමය බෞද්ධයන් බව පෙන්වීමට උත්සාහ කරන අය ඉන්නවා. ඔවුන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධීන් විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් පුනබ්භවය විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් මරණයෙන් පසු නිවන් සාක්‍ෂාත් කර ගන්නවා වෙන්න ඇති. 

ඊනියා බුද්ධිමය බෞද්ධයන් ඇති වන්නේ බටහිර සංස්කෘතියක. මෙරට පඬියන්ට ද  ඒ සංස්කෘතික බලපෑම තියෙනවා. පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ට ඒ සංස්කෘතික බලපෑම ලැබෙනවා. මෙරට ඉන්න භයානක ම පුද්ගලයන් මේ සංස්කෘතික බලපෑම අජීර්ණ වෙච්ච පඬියන්. මහාචාර්ය මාරසිංහට අනුව බුද්ධඝෝෂ හිමියන් කෙළේ එතෙක් සිටි බුද්ධිමය බෞද්ධයන් භක්තිවාදීන් බවට පත් කිරීම. ගැමුණු රජු රුවන්වැලි සෑය හැදුවේ බුද්ධිමය බෞද්ධයන්ට ද? 

බුද්ධඝෝෂ හාමුදුරුවන් කෙළේ අනාර්යයන් සිංහල බුද්ධාගමෙන් ඈත් කිරීම. විජයගේ සිට මෙරටට ආර්ය සංස්කෘතිය (ආර්ය යනුවෙන් ජනවර්ගයක් නැති වුණාට සංස්කෘතියක් තියෙනවා) ක්‍රමයෙන් ඇතුල් වුණා. මෙරට විජය දවසේ සිට ආර්ය අනාර්ය සංස්කෘතීන් අතර ගැටුමක් තිබුණා. බුදුන් වහන්සේ කෙසේ වෙතත් සිදුහත් කුමරු හැදුණේ වැඩුණේ අනාර්ය සංස්කෘතියක. මේ ගැන මා බොහෝ කලකට පෙර විදුසරට ලිපියක් ලිව්වා. අවාසනාවකට මට අවුරුද්ද මතක නැහැ. මා ළඟ මේ බොහොමයක් ලිපි නැහැ. බුද්ධ ශාසනයට ඇතුල් වූ ආර්ය සංස්කෘතියේ බමුණන් ආර්ය අදහස් ද සසුනට ගෙනාවා. මෙයින් කියන්නේ බුදුදහම අනාර්ය බව නොවෙයි.  බුදුදහමට ආර්ය අනාර්ය මේ කිසිවක් වලංගු නැහැ. බුදුන්වහන්සේ ආර්ය යන්න යොදා ගත්තේ වෙනත් දෙයකට.GJC

මා හිතනවා ගැමුණු වලගම්බා සීගිරි කාශ්‍යප වැනි රජවරු අනාර්ය සංස්කෘතිය සමග සම්බන්ධකම් තිබූ අය කියා. ලම්බකර්ණයන් ද සිදුහත් කුමරු මෙන් ම අනාර්ය සංස්කෘතියක. ආර්ය සංස්කෘතියට විරුද්ධ ව නැගී සිටි අවසාන පාලකයා සීතාවක රාජසිංහ. ඔහු සැදූ බැරැන්ඩි කෝවිල භෙරුණ්ඩ නම් පක්‍ෂියකු (විෂ්ණු දෙවියන්) වෙනුවෙන් තැනූවක්. භෙරුණ්ඩ තමයි සිංහලට බැරැන්ඩි වී තිබෙන්නේ. ඒ බව පෝල් පීරිස් මහතාත් කියන බව මා පසුව දැන ගත්තා. කාශ්‍යප රජුගේ සීගිරියේ අප සිංහ පාද සේ සිතන් ඉන්නේ භෙරුණ්ඩ පාද ද? ඒ පාද සිංහයකුගේ නොව පක්‍ෂියකුගේ. කලිනුත් ඒ පිළිබඳ මත පළවෙලා තියනවා. විමසා බලන්න ඕන. සීගිරියේ (සිහිගිරියේ) සිංහල ලිත් ඉලක්කම් තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතිය මිශ්‍ර වූවක්. අද විෂ්ණු දෙවියන් බෝධිසත්වයන් කෙනකු බවට පත් වෙලා. 

මා මේ කරුණු සඳහන් කෙළේ සංස්කෘතීන් මිශ්‍ර වන ආකාරය පෙන්වීමට. පුද්ගලයන් ඒ ඒ රටට සංක්‍රමණය වූ විට තම සංස්කෘතිය වෙනස් කර ගන්න අතර රටේ සංස්කෘතිය ද වෙනස් කරනවා. අද බටහිර රටවලත් ඉන්දීය චීන ආහාර බටහිරයන් අතරත් යම් ප්‍රමාණයකට ජනප්‍රියයි. ඔවුන් කිහිප දෙනකු වුවත් එක්තරා ආකාරයක භාවනාවකට යොමු වෙලා. එහෙත් මෙය අද ලෝකයේ පවතින බටහිර සංස්කෘතික ආක්‍රමණය හා සංස්කෘතික ආධිපත්‍යය සමග පටලවා ගන්න එපා. 

මේ වෙනසට එතරම් භාජනය නොවන සංස්කෘතීන් දෙකක් ලෝකයේ තියෙනවා. එකක් යුදෙව් සංස්කෘතිය අනෙක එහි ප්‍රතිබද්ධය වූ මුස්ලිම් සංස්කෘතිය. අද මෙරට ප්‍රශ්නවලටත් මේ සංස්කෘති දෙක බලපානවා. මුස්ලිමුන් ශාරීරික ව රටේ ඉන්නවා. යුදෙව්වන් ශාරීරික ව නැති වුවත් සංස්කෘතික ව පාසල්වල හා විශ්වවිද්‍යාලවල ඉන්නවා.   

මෙහි ආර්ය අනාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ සංස්කෘතීන් පමණක් බවත් අනාර්ය යන්නෙන් ද්‍රවිඩ යන්න ගම්‍ය නොවන බවත් මතක් කර ගන්න. ඒ හුදෙක් පඬියන්ගේ පඬි පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ දැන ගැනීම සඳහායි.