Main Logo

Thursday 1 August 2019

රනිල් විපක්‍ෂය හා අරාබිය

රනිල් විපක්‍ෂය හා අරාබිය 

රනිල් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණක් පිහිටුවා ගන්නේ කුමකට ද යන්න පැහැදිලියි. ඔහුට දැන් එක්සත් ජාතික පක්‍ෂයේ බලය නැති වී ගෙන යනවා. එහි පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයක් ඔහු සමග නැති බවයි පේන්න තියෙන්නෙ. ඒ සම්බන්ධ ව කිසිවකුගෙන් මට තොරතුරු ලැබී නැහැ. ජනමාධ්‍ය වාර්තා අනුවයි මා එලෙස කියන්නේ. මා වැරදි වන්න පුළුවන්. එ ජා ප ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකතුවෙන්.


ඒ කණ්ඩායම්වලට අවශ්‍ය වී ඇත්තේ සජිත් ප්‍රේමදාසයි. එ ජා ප සභාපති කබීර් හෂීම් පවා සජිත් වෙනුවෙන් පෙනී සිටින බවක් ජනමාධ්‍ය වාර්තා අනුව හිතන්න පුළුවන්. සජිත්ට අකමැති රවි කරුණානායක වැනි පිරිසක් පමණයි. ඒ අකමැත්ත ලලිත් ඇතුලත්මුදලි කාලය කරා දිව යන්නක්. රවි සිටියේ ඇතුලත්මුදලි සමග. ඔවුන් ආර් ප්‍රේමදාසට විරුද්ධයි. 

ගාමිණී දිසානායකත් ආර් ප්‍රේමදාසට විරුද්ධ ව හිටියේ. එදා තිබුණේ එ ජා ප නායකත්වය සඳහා තුන්කොන් සටනක්. රාජකීය විදුහලේ උගත් ලලිත් ත්‍රිත්ව විදුහලේ උගත් ගාමිණී සහ ශාන්ත ජෝසෆ් විදුහලේ ඉගෙන ගත්තේ යැයි කී ප්‍රේමදාස අතර සටනක්. අවසානයේ දී ජයගත්තේ ප්‍රේමදාස. ඔහු ජයගත්තා පමණක් නොව ඔහුගේ නමින් ශාන්ත ජෝසෆ් විදුහලේ ක්‍රීඩාංගනයත් හඳුන්වා ගත්තා. 

ලලිත් ඇතුලත්මුදලිට පුතකු සිටියේ නැති බවයි මගේ හැඟීම. ප්‍රේමදාසගේත් ගාමිණිගේත් පුත්තු රාජකීය විදහලට ගියා. සජිත් රාජකීය විදුහලේ ටික කලක් ඉගෙන එංගලන්තයේ පාසලකට ගියා. එහි දී ඔහු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාවක් හදාරා තිබෙනවා. එහෙත් උපාධි පරීක්‍ෂණයට පෙනී සිටියේ ද යන්න ප්‍රශ්නයක්. රවි කරුණානායක ලලිත්ගේ අනුගාමිකයෙක්. ඔහු ඉගෙන ගත්තේ කොල්ලුපිටියේ ශාන්ත තෝමස් පාසලේ හා රාජකීය විදුහලේ. තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නැති වුණත් එ ජා ප දේශපාලනයේ ඉගෙන ගත් පාසල වැදගත්.  සජිත්, නවීන්, රවි තුන්දෙනා ම එ ජා ප නායකත්වය සඳහා තරග කරනවා.

රාජකීය විදුහලේ ම උගත් රනිල් අද ඒ විදුහලේ උගත් කබීර් හෂීම් වැන්නන්ගෙන් පමණක් නොව තම පංතිවල ම ඉගෙන ගත් මලික් වැන්නන්ගෙන් ද  ඈත් වී ඇති බව පේනවා. සාගල වැනි ඒ පාසලේ උගත් අයත් සමග රනිල් සම්බන්ධකම් පැවැත්වුවත් ඔහු වැඩිය සම්බන්ධකම් පවත්වන්නේ අකිල විරාජ් වැන්නන් සමග. අකිල අද එ ජා පක්‍ෂයේ ලේකම්. අද රනිල් තම බලය රැක ගැනීම සඳහා රාජකීය විදුහලෙන් පිටතට පියමං කරන බව පැහැදිලියි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මේ මස පස්වැනි දා ජාතියට පුදන බව රාජිත සේනාරත්න කියනවා. ඔහු ආනන්ද විදුහලේ උගත් අයෙක්. කලකට පෙර ආනන්ද විදුහලේ උගත් තිලක් කරුණාරත්නත් එ ජා ප නායකත්වය බලාපොරොත්තු වුණා. තිලක් මගේ විශ්වවිද්‍යාල මිතුරෙක්. අප අනුවේ දශකයේ මුල ලක්මිණ පුවත්පත පළ කෙළේ ඔහුගේ මුදලෙන්.  ඔහු ඊට පෙර කී කතාවක් නම් ඒ වචනවලින් ම නොවූවත් ආනන්ද විදුහලට ලැබෙන්නේ දෙවැනි පෙළ නායකත්වයක් බව.

අද මෙරට දක්‍ෂිණාංශික දේශපාලනයෙහි බල තුලනයේ වෙනසක් සිදුවෙමින් පවතිනවා. එහි කතෘ රනිල්! ඔහු සජිත් වෙනුවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් වෙනත් අපේක්‍ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහු සමහරවිට කරුණාරත්න ජයසූරිය වෙන්නත් පුළුවන්.  

ඒ කෙසේ වෙතත් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් ඉදිරිපත් කරන්නේ කවුද? මෙතෙක් කල් මෙරට දේශපාලනයබලපෑම් කෙළේ බටහිර රටවල් කිහිපයක් හා ඉන්දියාව. චීනය කප්පන් රාජ්‍යයක් ඇති කිරීමට වෙහෙස ගත්තා. අද වඩාත් ම ප්‍රබල ව අප රටට බලපෑම් කරන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල් කිහිපයක්. ඔවුන් හා බටහිර රටවල් අතර (එනම් නායකයන් අතර) සම්බන්ධයක් තියෙනවා. 

මෙරට සංස්කෘතියට එකල වඩාත් ම බලපෑම් කෙළේ භාරතය (පසුව ඉන්දියාව). 1506න් පසු බටහිර රටවල්. හතරවැනි සියවසෙන් පමණ පසුව අප (අපේ උගතුන්) අනුකාරකයන් පමණයි. අද වඩාත් ම බලපෑම් ඇති කරන්නේ අරාබි රටවල්. ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීමට යන අසරණියන් හා තවත් විශාල පිරිසක් ඒ රටවල රැකියා සඳහා යනවා. ඔවුන් අපට විදේශ විනිමය ගෙනෙනවා. ඒ අතර සංස්කෘතික වෙනස්කම් ද ඇති කරනවා. එය වටලප්පම්වලට පමණක් සීමා වන්නේ නැහැ. 

අද අරාබි රටවල් දේශපාලනික ව ද බලපෑම් කරනවා. සාමාන්‍ය බටහිරයකුගේ ඇසින් සෞදි අරාබිය බටහිරට විරුද්ධ වුවත් ඒ රටවල නායකයන් ක්‍රියා කරන්නේ සහයෝගයෙන්. පාස්කු ප්‍රහාරයට බටහිර රටවල මෙන් ම සෞදි අරාබියේත් සම්බන්ධකම මොන ආණ්ඩුවකින්වත් හෙළිදරවු වෙන එකක් නැහැ. පාසකු ප්‍රහාරයට දින කිහිපයකට පෙර මෙරට සෞදි අරාබි තානාපති කාර්යාලය ක්‍රියා කර ඇති අන්දම ගැන අපත් ලියා ඇති.  

අද විශාල මුදලක් සෞදි අරාබිය ප්‍රධාන අරාබි රටවලින් මෙරටට ඇදෙනවා. ඒ මුදල් ප්‍රේෂණ ලෙස ලැබුණත් වෙනත් විධියකට ලැබුණත් අපට නැතිව ම බැරි විදේශ විනිමය. 2017 විදේශ විනිමය පනතෙන් මේ මුදල් ලැබෙන්නේ කෙසේ ද යන්න සෙවීමට බාධා ඇති කර තිබෙනවා. මල්වතු මහානාහිමියන්ට අතට අත දී උන්වහන්සේගේ අසුනේ වාඩි වීමට ගිය ලෝක මුස්ලිම් නායකයා රනිල්ට ඩොලර් මිලියන පහක් ද කොහෙද දීල යන්න ගිහින්. 

රනිල්ට අලුත් දේශපාලනය තේරෙනවා. ඔහු ඒ අනුව හැඩගැහෙනවා. එපමණක් නොවෙයි විපක්‍ෂය ද  ඒ අනුව හැඩගැහෙනවා. වහාබ්වාදයේ ව්‍යාප්තවීම ගැන කතා කරනවාට විපක්‍ෂයේ නායකයන් ද කැමති නැහැ. අද විපක්‍ෂය වටා ස්මාට් ජාතිකවදීන් ද ඉන්නවා. එහෙත් ඉන්නේ ඔවුන් පමණක් නො වෙයි. අද විපක්‍ෂයේ ද තැනක් නැත්තේ ජාතිකවාදීන්ට. 

හිස්බුල්ලා කියනවා ඔහුගේ විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේවත් රජයට පවරා ගන්න බැහැ කියා. අන්තරේත් ඒ ගැන නිහඬයි. ඔවුන් හා ඊනියා ජාත්‍යන්තර වාමාංශිකයන් තවමත්  ලිබරල්වාදයේ දෙවැනි ඉනිමක් ගැන කතා කරනවා. දෙවැනි ඉනිම තියෙන්නේ දෙරණේ පමණයි.