Main Logo

Monday 12 August 2019

ගෝඨාගමනය


   සිංහල ලිත් ඉලක්කම් 


ගෝඨාගමනය




අද අගෝස්තු දොළොස්වැනි දා. මගේ පරණ සමසමාජ සම්බන්ධකම් සමග මට පනස්තුනේ හර්තාලය මතක් වෙනවා. ඇතැමුන්ට අනුව හර්තාලයේ ප්‍රතිඵලයක් ලෙස ඩඩ්ලි සේනානායක අගමැති කමෙන් ඉවත් කෙරුණා. ඒ අය ඒ බව පවසන්නේ ජයග්‍රහණයක් ලෙසයි. එහෙත් එහි වෙනත් දෙයක් තිබුණා. හර්තාලය නිසා ජෝන් කොතලාවල හෙවත් සර් ජෝන් අගමැති කෙරුණා. බොහෝ දෙනාට ඒ පැත්ත නොපෙනෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය තියෙනවා. පනස්හය ඇති වුණෙත් හර්තාලය නිසා යැයි කියන්න සමහරු පෙළඹෙනවා. ඒත් පනස්හයෙන් පසුව වම පරිහාණියට පත් වූ වගත් ඔවුන්ට අමතක වෙනවා. අද මෙරට වමක් නැහැ. වමේ පරණ නායකයන් නම් ඉන්නවා. 


ඊයේ පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනයට ගිය මට  වමේ පැරණි නායකයන් දැක ගන්න ලැබුණා. ඔවුන්ගෙන් පසු වමක් ගැන කතා කරන්නවත් දෙයක් නැති වේවි. ඔය විශ්වවිද්‍යාලවල හා වෙනත් ඊනියා ප්‍රබුද්ධ විගද්ධ තැන්වල ඉන්නා පුහු පශ්චාත් මාක්ස්වාදීන්ට පශ්චාත් නූතනවාදීන්ට මාක්ස්වාදය කියන්නේ තම පුහු බව වසා ගැනීමට යොදා ගන්නා කඩතුරාවක් පමණයි. මාක්ස්වාදය කියන්නෙ මාක්ස්ගෙ කිසි දිනෙක වලංගු නොවුණු හිතළුවක් පමණයි. 

පොදුජන පෙරමුණ ඊනියා පශ්චාත්නූතනවාදී පක්‍ෂයක් බවත් ගෝඨාභය පශ්චාත්නූතනවාදී අපේක්‍ෂකයකු බවත් කියනු ඊයේ අහන්න ලැබුණා. ඒ තමයි ඒ පක්‍ෂයටත් ගෝඨාභයටත් කරන්න පුළුවන් විශාල ම අගෞරවය. මෙලෙස කියන අය පශ්චාත්නූතනවාදය කියන්නෙ මොකක් ද කියන එකවත් හරියට දන්නෙ නැතිව ඇති. කවුදෝ පඬි නැට්ටකු ආකර්ෂණය කියන වචනය යෙදිය යුතු තැනක ත්වරණය කියා යොදා තිබුණා. ත්වරණයක් සහිත ව විකර්ෂණය වෙන්නත් පුළුවන්. පශ්චාත්නූතනත්වයක් ලෝකයේ නැහැ. ඇත්තේ නූතනත්වයේ විකාශයක් පමණයි. පහළොස්වැනි සියවසේ ඇති වූ චින්තනය තවමත් ලෝක ආධිපත්‍යය දරණවා.

ව්‍යාජ පශ්චාත්නූතන කතාව හැරුණු විට සමස්තයක් ලෙස ගත් කල ඊයේ සිදු වූ ගෝඨාගමනය රටට යහපතක්. මෙරට මහින්දාගමන දෙකක් සිදු වී තිබෙනවා. එකක් මිහිඳු හිමියන් මෙරටට වැඩ ම කිරීම. දෙවැන්න ඒ මට්ටමේ ම නොවූවත් 2005 මහින්ද ජනාධිපති අපේක්‍ෂකයා වීම. ඒ චන්ද්‍රිකාගේ විරුද්ධත්වය මැද. ඊයේ ගෝඨාගමනය සිදු වූවා. දැන් අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මෙරට ඊළඟ ජනාධිපති බවට පත් කර ගැනීම. එහි දී ජාතික හා වාම කඳවුර සියළු වාදභේද අමතක කර එක්සත් විය යුතුයි. 

ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වී තිබුණා. ඊනියා පශ්චාත්නූතන කතා අමතක කර පොදුජන පෙරමුණ මෙරට ජාතිකත්වයේ ප්‍රධාන පක්‍ෂය වෙන්න ඕන. ජාතිකත්වය කියන්නේ අනුරාධපුරයට බර කරත්තයෙන් ආපසු යෑම බව කිව්වෙ කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීන කණ්ඩායම. ජාතිකත්වයෙන් නූතනත්වය ප්‍රතික්‍ෂෙප වන්නේ නැහැ. නූතනත්වයෙන් ලබාගත යුතු දේ මෙරට සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වී අවශෝෂණය කිරීම මෙහි දී වැදගත් වෙනවා. දෙරණේ සමහර දේ අනුමත නොකළත් එහි අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන යන්නෙන් මෙය යම් ප්‍රමාණයකට කියැවෙන බව සඳහන් කරන්න ඕන.   

ඊයේ මහින්ද මෙන් ම ගෝඨභය ද කළ කතා වැදගත්. මහින්ද කියා සිටියේ ගෝඨාභය තෝරා ගනු ලැබුයේ තමන් විසින් නොව සංඝයා වහන්සේ හා ජනතාව විසින් බව. ගෝඨාභය මින් පසු තම සහෝදරයා නොව ජනතාවගේ සහෝදරයා බවත් ඔහු කියා සිටියා. මෙයින් කියන්නේ මහින්ද විසින් ගෝඨාභය සහෝදර කමින් අත්හරිනු ලැබ ඇති බවක් නොවෙයි කියා අමුතුවෙන් කියන්න සිදු වන්නේ පඬියන්ගේ දැන ගැනීම පිණිසයි. 

ගෝඨාභය තම කතාවේ දී අවධාරණය කෙළේ ආරක්‍ෂාවයි. රාජ්‍යයේ හා ජනතාවගේ ආරක්‍ෂාව තමන් භාර ගන්නා බවත් ත්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් ඔහු කියා සිටියා. මෙරට ලෝකයේ සුරක්‍ෂිත ම රට බවට පත් කරන බවටත් ඔහු ප්‍රතිඥා දුන්නා. මා හැමදාමත් කියා සිටි කාරණයක් වූයේ ආණ්ඩුවක ප්‍රධාන කාර්යය රාජ්‍යාරක්‍ෂාව බවයි. ජනතාවට ආරක්‍ෂාව සැපයීමත් ඒ සමග බැඳී තියෙනවා. ගෝඨාභයගේ ප්‍රතිඥාව හුදෙක් නන්දෙඩවිල්ලක් නො වෙයි. ලෝකයේ බිහිසුණු ම ත්‍රස්තවාදය පරාජය කිරීම කළමනාකරණය කළ තැනැත්තා ලෙස ඔහුට ඒ පිළිබඳ අත්දැකීමක් තියෙනවා. තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි කියා රනිල් කාගෙන්දෝ අහගෙන කියන දෙයෙහි වෙනත් පැත්තක් ද තියෙනවා. රනිල් නම් මොකෙන් බැද්දත් සිංහල කියුම් අහගෙන ඇද බැවත් සිංහල විරෝධියකුමයි. මොකෙන් බැද්දත් රනිල් යටතේ මුස්ලිම් අන්තවාදී ව්‍යාප්තවාදය මෙරට ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභයට එයත් කම්මුතු කළ හැකියි. 

ගෝඨාභය එක් කඩුල්ලක් පැන්නා. එහෙත් තවත් කඩුලු තියෙනවා. අද ජනාධිපතිවරණය කල් දැම්මවීමට ඇතැමුන් ක්‍රියා කරනවා. ඔවුන් මෛත්‍රිපාලට දිරච්ච කඹ දෙන්නෙ. පළාත් සභා මැතිවරණ පැවැත්වීමට ජනාධිපතිට උපදෙස් දෙන්නේ ඒ සඳහා අධිකරණයට යෑමට ඔහු පොළඹ වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි සුවාදීනයෙක් ද? මොවුන්ට අවශ්‍ය පළාත් සභා ඡන්ද පවත්වා මන්ත්‍රී අපේක්‍ෂක ධුර පොරයක් ඇති කර  ජාතික හා වාම කේන්ද්‍ර කඳවුර භේද භින්න කිරීමයි. එය ජනාධිපතිවරණයට ද බලපානවා. අනෙක් අතට ජනාධිපතිවරණ උණුසුම මැකී යනවා. අප මෙයට ඉඩ නොදිය යුතුයි. කලක් තිස්සේ පවත්වා නැති පළාත් සභා මැතිවරණ මේ හදිසියේ පැවැත්වීම අවශ්‍ය නැහැ. පළාත් සභාවලින් වැඩක් නැති බව පළාත් සභා අක්‍රීය ව පැවතීම මගින් පෙන්නුම් කරනවා. 

අද මැතිවරණ අවශ්‍ය නැහැ. කළ යුත්තේ හැකි ඉක්මණින් ජනාධිපතිවරණය පැවැත්වීමයි. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්විය හැකි ඉක්මන් දිනයක ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. විවිධ පුද්ගලයන් විවිධ මැතිවරණ පැවැත්විය යුතු බවට තර්ක ගෙන ඒවි. මොන තර්කය ගෙනාවත් අවසානයේ දී සිදු වන්නේ ජාතික හා වාම කඳවුර භේද භින්න වීම පමණයි. පළමුව ගෝඨාභය ජනාධිපති කර පසුව ඔහුගේ ජනාධිපතිත්වය යටතේ මැතිවරණ පවත්වමු.