Main Logo

Tuesday 27 August 2019

ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය

          සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රී ල නි ප පොහොට්ටුව හා ගෝඨාභය 




අද ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර සාකච්ඡා දෙවැනි වටයකට යනවා කියලා කියනවා. ඇතැමුන් කියන්නේ සාකච්ඡා ජනාධිපතිවරණය හා සම්බන්ධ බවයි. මෙය පැහැදිලි නැහැ. තව චුට්ට දුරයි කියල කිලෝමීටර දහයක් විතර යන අයට නම් ඒ පැහැදිලි ඇති. ඒත් චුට්ට කියන්නේ කොච්චර ද කියල කලින් කියනව නම් හොඳයි. 


ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ල නි ප හා පොහොට්ටුව අතර කතා ඇතිවන්න ඕන පොදුවෙ ගෝඨාභයට ආධාර කරන්නෙ කොහොම ද කියන ප්‍රශ්නය ගැන පමණයි. එහෙම නැතිව ගෝඨාභය පොහොට්ටුවෙ අපේක්‍ෂකයා ලෙස සලකා ශ්‍රී ල නි ප ගෝඨාභයට සහාය දෙන්නෙ කොහොම ද යන කාරණය ගැන නො වෙයි. අප තේරුම් ගත යුතු පළමු කරුණ නම් ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා බවත් ඔහු කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නොවන බවත්. ඔහු කිසි දා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු විය යුතු නැහැ.

ශ්‍රී ල නි ප ගෝඨාභයට සහාය දෙනව ද නැත් ද කියන කාරණය සම්බන්ධයෙන් පළමු ව තීරණයක් ගන්න ඕන. ගෝඨාභය ඉදිරිපත් කරනු ලැබුයේ මහා සංඝයා වහන්සේ හා දේශප්‍රේමී ජනතාව විසින්. පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු වූයේ පොහොට්ටුව ගෝඨාභයට සහාය දීම ප්‍රකාශ කිරීමක් පමණයි. එහි දී මහින්ද කියා සිටියේ ජනතාව ගෝඨාභය ඉදිරිපත් කර ඇති බවත් තමා හා පොහොට්ටුව එය අනුමත කරන බවත්. 

ගෝඨාභය පොහාට්ටුවේ ජනාධිපති අපේක්‍ෂකයා යැයි එහි දී කියැවුණේ නැහැ. පිවිතුරු හෙළ උරුමය සැප්තැම්බර් පළමුවැනි දා විශේෂ මහා සම්මේලනයක් කැඳවා ගෝඨාභයට සහාය පළ කරන්න යනවා. ඒ නිසා ගෝඨාභය පිවිතුරු හෙළ උරුමයේ ජනාධිපති අපේක්‍ෂකයා වන්නේ නැහැ. අප මේ කරුණ ඉතා හොඳින් පැහැදිලි කර ගත යුතුයි. ගෝඨාභය කිසිම පක්‍ෂයක අපේක්‍ෂකයා නො වෙයි.

සියල්ල දත් ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් නම් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බවට පත් කරලා ඉවරයි. මෙරට ප්‍රශ්න අවුල් කරන අය අතර ජනමාධ්‍යවේදීන් ප්‍රධාන තැනක් ගන්නවා. ඒ අවුල නිරවුල් කිරීමට උත්සාහ කරන මට ඔවුන් තම පුවත්පත්වලවත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යවේවත් තැනක් දෙන්නේ නැහැ. ගෝඨාභයට පක්‍ෂ යැයි කියන පුවත්පත්වලත් මට ඉඩක් දෙන්නේ නැහැ. ඔවුන් සිතනවා ඇති මා ප්‍රශ්න අවුල් කරනවා කියා. මා ඔවුන් මෙන් ප්‍රබුද්ධයකු නොවන බව නම් ඇත්තයි. ඒත් මා හැකිතාක් නිරවුල් ව කල්පනා කිරීමට උත්සාහ ගන්නවා.

ජාතික හා වාම කඳවුර සංධානයක් හදල ගෝඨාභය  ජාතික අපේක්‍ෂකයා බව කීමේ වරදක් මා දකින්නේ නැහැ. එහෙත් එහි දී ද ජාතික අපේක්‍ෂකයා යන්න අවධාරණය විය යුතුයි.  ගෝඨාභයට නෛතික වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දේශපාලන පක්‍ෂයක් අවශ්‍ය වෙනවා. එය සංධානයේ පක්‍ෂයක් ද වෙනත් පක්‍ෂයක් ද යන්න ගැන තීරණයක් පසුව ගන්න පුළුවන්. එවිටත් ඔහු ඒ දේශපලන පක්‍ෂයේ නියෝජිතයා නොව ජාතික අපේක්‍ෂකයා. එහෙත් ඒ තම පෞද්ගලික අපේක්‍ෂා වෙනුවෙන් පක්‍ෂ මාරු කරන දේශපාලනඥයන් ජාතිය යන්න අර්ථ දක්වන ආකාරයෙන් නම් නො වෙයි. ඒ දේශපාලනඥයන් නම් මොන උප්පරවැට්ටියකින් හරි ජාතික ලැයිස්තු මන්ත්‍රීන් වෙලා ඇමතිවරුත් වෙනවා. 

ශ්‍රී ල නි පක්‍ෂය ගෝඨාභයට සහාය දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ව පළමුවෙන් තීරණයක් ගන්න ඕන. ඇතැම් ශ්‍රී ල නි ප නායකයන් සිතන්නේ ගොාඨාභය පෙහොට්ටුවේ අපේක්‍ෂකයා කියලයි. ඔවුන් සමහර වෙලාවට කියනවා පොහොට්ටුව ගෝඨාභය අපේක්‍ෂකයා ලෙස නම් කර ඇති බැවින් තමන්ට දැන් කළ හැකි දෙයක් නැති බව. එය සම්පූර්ණයෙන් ම වැරදියි. ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවෙයි. 

ශ්‍රී ල නි ප  පක්‍ෂයක් ලෙස ගෝඨාභයට පක්‍ෂ වන්නේ නම් ඔවුන්ට ද විශේෂ සමුළුවක් පවත්වා තම පක්‍ෂපාතීත්වය පළ කරන්න පුළුවන්. එහෙම නැතිව පොහොට්ටුවෙන් ඒ ගැන අහන්න ඕන නැහැ. පොහොට්ටවෙ සමහරු ගෝඨාභය තම අපේක්‍ෂකයා බවට පත් කර ගන්න උත්සාහ කරනවා. ඔවුන් මාසයකට ඉහත දීත් ගෝඨාභයට විරුද්ධ ව සිටි බව මතක් කර දෙන්න ඕන. ඔවුන්ටත් අවශ්‍ය මන්ත්‍රීකම් හා ඇමතිකම්. අඩුම තරමෙන් සංස්ථාවක සභාපතිකමක්. අප ඔවුන්ගෙන් පරෙස්සම් වන්න ඕන.  

ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ සංධානය තවමත් පිහිටුවා ගෙන නැහැ. හැකි ඉක්මණින් ඒ කළ යුතුයි. මගේ නම් මතය ශ්‍රී ල නි පක්‍ෂයත් ඒ සංධානයට එකතු කර ගත යුතු බව. එයට ජී එල් පීරිස් වැන්නවුන් විරුද්ධ වේවි. එහෙත් එය ප්‍රශ්නයක් නොවිය යුතුයි. කෙසේ වෙතත් සංධානය හා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂකයා වීම අතර සම්බන්ධයක් නැහැ. 

ගෝඨාභය විවිධ පක්‍ෂ පක්‍ෂවල තරුණ සංගම් කාන්තා සංවිධාන ආදිය, විවිධ කණ්ඩායම් හමුවිය යුත්තේ ජාතික අපේක්‍ෂකයා ලෙස මිස පක්‍ෂයක අපේක්‍ෂකයා ලෙස නො වෙයි. ඒ සාකච්චාවලට විවිධ දේශපාලන පක්‍ෂවල අය ද සහාභිගි වීම වරදක් නො වෙයි. එහෙත් ඒ දේශපාලන පක්‍ෂවලට එකී සාකච්ඡා තම පක්‍ෂය විසින් මෙහෙයවෙන සාකච්ඡා බවට පත් කර ගැනීමට ඉඩ නොදිය යුතුයි. 

මට පෙනෙන විධියට අද විශාල අඩුවක් ව පවතින්නේ ගෝඨාභයට තමාගේ ම වූ ශක්තිමත් සංවිධානයක් නැති වීම. ඒ සංවිධානයට විවිධ දේශපාලන පක්‍ෂවල අය ඇතුළත් වීමේ වරදක් නැහැ. එහෙත් එය සම්පූර්ණයෙන් ම මෙහෙයවනු ලැබිිය යුත්තේ ගෝඨාභය විසින්. තම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම මෙහි මූලික ම කටයුත්තක්. එය ගෝඨාභයගේ නායකත්වයෙන් ම සිදු විය යුත්තක්. ප්‍රතිපත්ති ප්‍රකාශය කිසිසේත් ම පක්‍ෂයක හෝ සංධානයේ හෝ ප්‍රතිපත්ති ප්‍රකාශය නොවිය යුතුයි. පක්‍ෂවලට තනි තනිවත් සංධානයට පොදුවේත් ගෝඨාභයට සහාය දෙන්න පුළුවන්.

ශ්‍රී ල නි ප හා පොහාට්ටුව අතර අද ආරම්භ වන දෙවැනි වටයේ සාකච්ඡා පක්‍ෂ දෙක ම අනෙක් පක්‍ෂත් සමග එකතු වී ගෝඨාභයට සහාය දෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට පමණක් සීමා වන්න ඕන. ගෝඨාභය පොහොට්ටුවේ හරි වෙනත් පක්‍ෂයක හරි අපේක්‍ෂකයා නොවන බව දෙපක්‍ෂය ම මැනවින් පසක් කර ගත යුතුයි.