Main Logo

Thursday 22 August 2019

පළාත් සභා හා සජිත් කටු

             සිංහල ලිත් ඉලක්කම්



පළාත් සභා හා සජිත් කටු



ජාතික චින්තනයට අනුව දෙවියන් නැත් ද පුනබ්භවයක් නැත් ද සංසාරයක් නැත් ද නිවන් සම්මාබෝධයක් නැත් ද අප කළ යුත්තේ එරික් ෆ්‍රොම් වැනි මහායානික අදහස්වලින් පෝෂණය ලැබූ බටහිර උගතුන් අනුව සභ්‍යත්ව රාජ්‍යය ගැන කතා කිරීම ද ආදී  ප්‍රශ්න රාශියක් ඇසීමට ඇති නමුත් මා ඒ සියල්ල පසුවට කල් දානවා. අද ගෝඨාභයට විරුද්ධ ව සිටි මැදි වයසේ අයටත් ගෝඨාභය වටා එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ හොඳ ප්‍රවණතාවක්. එබැවින් අපේ ප්‍රශ්න පසුවට කල් දමා අපි ගෝඨාභය දිනවීම සඳහා ශක්තිය යොදවමු. 


අද තිබෙන ප්‍රධාන ම කාරණයක් වනුයේ මෛත්‍රිපාල ජාතික හා වාම කේන්ද්‍රිය කඳවුරේ තබා ගැනීමයි. මෛත්‍රිපාල යනු ඒ කඳවුරේ බොහෝ අයගේ ඇහේ ඇණුනු කටුවක් බව මා දන්නවා. ඇතැමුන් හිතන්නේ මා මෛත්‍රිපාලට ඡන්දය දුන් බවයි. ඒ 2015 ජනාධිපතිවරණයේ දී ද නැත්නම් 2018 පළාත් පාලන ආයතන මැතිවරණයේ දී ද එහෙමත් නැත්නම් ඒ දෙකේ දිම ද යන්න පැහැදිලි නැහැ. එය දැන ගන්න වෙන්නේ පේරාදෙණියේ ඇතැමකුගෙන්. ඇතැමුන් මට සිරිජාතිකවාදියා කියා කිව්වා. ඒ අතර මහා දාර්ශනිකයන් හිටියා.  මා කියන්න යන්නේ නැහැ කාලය මා නිදොස් කරාවි කියලා. එවැනි කියුම් කියන්න මා ඊනියා විප්ලවවාදියකු හෝ බුද්ධිමතකු හෝ නො වෙයි. මා බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් නොහැකි ව ආපසු ලංකාවට පැමිණි ටිකක් කල්පනා කරන්න පුළුවන් සාමාන්‍ය මිනිසකු පමණයි. මට වියුක්ත ව ජනතාවක් ඉදිරියේවත් පෞද්ගලික ව ඇතැමුන් ඉදිරියේවත් නිදොස් වන්න වුවමනාවකුත් නැහැ. 

මට ඊනියා යහපාලනයේ මුල සිට ම අවශ්‍ය වූයේ රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා මෛත්‍රිපාලට මහින්ද ශක්තිය දිය යුතු බව මා කියා සිටියා. එහි යම් සාර්ථකත්වයක් 2018 ඔක්තෝම්බරයේ දැක ගන්න පුළුවන් වුණා. මහින්ද ව්‍යවස්ථානුකූල ව අගමැති ලෙස පත් කෙරුණා. ඒ 2015 ජනවාරියේ පාර්ලිමේන්තුවේ සුළුතරයක් ඇති ව සිටි රනිල් අගමැති කිරීම මෙන්. රනිල් පත් කිරීම ව්‍යවස්ථානුකූල යැයි කී ජ වි පෙ ඇතුළු පිරිස් 2018 මහින්ද අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී යැයි කිවුවා. 

අද සිරිසේන සම්බන්ධයෙන් කතා දෙකක් පැතිරෙනවා. කාගේ උපදෙස් මත ක්‍රියා කළත් ඒ දෙක ම සම්බන්ධයෙන් සිරිසේන වැරදිකරුවෙක්. පළමුවෙන් ම සිරිසේන සජිත් අගමැති කරන්න යන බව කියනවා. දෙවැන්න ජනාධිපතිවරණයට කලිින් පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිරිසේන උත්සාහ දරන බවක් පේනවා. පළාත් සභා මැතිවරණ කල් දමා ගැනීමට මෛත්‍රිපාල මෙන් ම රනිල් ද උන්දුවක් දැක්වූවා. එහෙත් දැන් හදිසියේ ම නූනත් මෛත්‍රිපාලට පළාත් සභා කෙරෙහි ප්‍රජාතන්ත්‍රවාදී උනන්දුවක් ඇති වී තිබෙනවා. 

පොහොට්ටුව ජාතික හා වාම කේන්ද්‍රිය කඳවුරේ පක්‍ෂ සමග සංධානයක් ඇති කර ගන්න යනවා. එය යහපත්. මාත් මුල සිට ම ඒ අපේක්‍ෂා කළා. ඒ සංධානයට ශ්‍රී ල නි පක්‍ෂයත් ඇතුළත් විය යුතු යැයි මා සිතනවා. කෙසේ වෙතත් ශ්‍රී ල නි ප අඩුම තරමෙන් ගෝඨාභය සමග සම්මුතියකට එළඹේවි කියා අපේක්‍ෂා කරනවා. එසේ වුවත් මෛත්‍රිපාල සජිත් අගමැති කළහොත් හරි පළාත් සභා මැතිවරණ ජනාධිපතිවරණයට කලින් පැවැත්වීමට කටයුතු කළහොත් හරි ඒ අපේක්‍ෂාවන් ඉටු වීමට බාධා ඇති වෙනවා. මහින්ද මෛත්‍රිපාල සාකච්ඡාවල දී මේ නිරාකරණය කර ගන්න පුළුවන් වුණොත් හොඳයි. 

එකල රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම යන්නෙන් මා බලාපොරොත්තු වූයේ සජිත් අගමැති කිරීමක් නොව මහින්ද අගමැති කීිමයි. රනිල් වෙනුවට සජිත් පත් කිරීම ඉඟුරු දී මිරිස් ගන්නවා වගේ වැඩක්. ජනාධිපතිවරණයට මාස කිහිපයක් පමණක් තියෙද්දී මෛත්‍රිපාල සජිත් අගමැති ලෙස පත්කර පළාත් සභා මැතිවරණ ජනාධිපතිවරණයට පෙර පැවැත්වුවහොත් එය රටේ විශාල අවුලක් ඇති කරාවි. රට නැවත ගොඩ ගන්නට බැරි තත්වයකට පත්වේවි. සිංහල බෞද්ධකම ඉතිහාසයට එක් වේවි. 

මා 1988 පළාත් සභා පනත කියවා නැහැ. එබැවින් පළාත් සභා මැතිවරණ පැවැත්වීම තීරණය කෙරෙන්නේ කවුරුන් විසින් ද යන්න කීමට බැහැ. අද ප්‍රශ්නය උදා වී ඇත්තේ එකී පනත 2017 අංක 17 පනත මගින් සංශෝධනය වී වෙනත් ක්‍රමයකට මැතිවරණ පැවැත්වීමට තීරණය වී තිබීම නිසා. දැන් අවුල ඇති වී තිබෙන්නේ 2017 පනතෙන් සීමා නීර්ණ කමිටුවක් පත් කර මන්ත්‍රීවරුන්ගෙන් අඩක් කොට්ඨාස ක්‍රමයට තේරීමට තීරණය කෙරී තිබෙන නිසා. මේ කොට්ඨාස තවමත් නිර්ණය වී නැහැ. 

එක්කෝ කවදා නමුත් කොට්ඨාස නිර්ණය කර පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි. නැත්නම් 2017 පනත නිෂේධ කිරීමට වෙනත් පනතක් ගෙන ආ යුතුයි. එවිට 1988 පනත අනුව මැතිවරණ පවත්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොට්ඨාසවලට වෙන් කිරීමට ක්‍රමයක් සකස් කිරීමට වෙනත් පනතක් ගෙන ආයුතුයි. එසේත් නැත්නම් පළාත් සභා මැතිවරණ නොපවත්වා ඉන්නත් පුළුවන්. පළාත් සභාවලින් කොහොමටවත් වැඩක් වෙන්නේ ආණ්ඩුකාරයන්ට නිලධාරීන්ට පමණයි. 

යම් විධියකින් අධිකරණය තීරණය කළහොත් 1988 පැරණි ක්‍රමයට මැතිවරණ පැවැත්විය හැකි ය කියා එවිට ඒ මැතිවරණ පවත්වන්නේ කවුද කවදාද යන ප්‍රශ්න ඇති වෙනවා. මැතිවරණ ජනාධිපතිවරණයට පෙර හෝ සමග හෝ පැවැත්වීමට අවශ්‍ය ම ද? මැතිවරණ ජනාධිපතිවරණයට පසුව පවත්වන්න පුළුවන් ද? 1988 පනත කියවන්නේ නැතිව ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න බැහැ. 

අද ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර කළ යුත්තේ අධිකරණය පැරණි ක්‍රමයට යා හැකි යැයි තීන්දුවක් දුන්නොත්1988 පනත අනුව මැතිවරණ පැවැත්වීමේ බලය හා දිනය තීරණය කිරීමේ බලය ජනාධිපතිට ඇත්නම් ඒ මැතිවරණ ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වීමට මෛත්‍රිපාල එකඟ කරවා ගැනීමයි. ඒ බලය ඇත්තේ ආණ්ඩුකාරයන්ට/මැතිවරණ කොමිසමට නම් ඔවුන් සමග ඒ සාකච්ඡා කිරීමයි. ජනාධිපතිවරණයට පෙර හෝ ඒ සමග හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් කඳවුරේ සියළු ආකාරවල සංධාන අවුලකට පත් වෙනවා. 

මෛත්‍රිපාල සජිත් අගමැති කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය ද වැළැක්විය යුතුයි. සජිත් වෙතට මෛත්‍රිපාල යැවීමට ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර කටයතු නොකළ යුතුයි. මෛත්‍රිපාල සමග මොන තරම් වෛරයක් තිබුණත් මේ වෛර පිරිමහා ගන්නා අවසථාවක් නොවන බව මතක් කර ගත යුතුයි. මෛත්‍රිපාල රනිල් වෙත ඉබේ ගියා නො වෙයි. ඉන්දීය ඒජන්තයන්ට ඔහු යොදා ගන්න පුළුවන් වූයේ ඇයි?

අප සැලකිය යුත්තේ මෛත්‍රිපාල කර ඇති වැරදි නොව ඔහු අයත් වන්නේ කිනම් කඳවුරකට ද යන්නයි. අප උත්සාහ කළ යුත්තේ ඔහු අනෙක් කඳවුරට යැවීම නොව ජාතික හා වාම කඳවුරේ තබා ගැනීමයි. රනිල් හා සජිත් අතර මොන මතභේද තිබුණත් ඔවුන් අයත් වන්නේ දෂිණාංශික කඳවූරටයි. මතභේද හුදු පෞද්ගලික ප්‍රශ්නයක් නො වෙයි. දක්‍ෂිණාංශික කඳවුර ඉදිරියේ දී  දේශපාලනය කරන්නේ සංධානයක් ලෙස ද නැත් ද යන ප්‍රශ්නය තියෙනවා. එහි දී ආසන සංවිධායකකම් ආදිය මතුවුණත් ප්‍රශ්නය ඉදිරි දේශපාලනය හා සම්බන්ධයි. දැන් කලක සිට එ ජා ප මැතිවරණවලට ඉදිරිපත් වන්නේ සංධාන ලෙසයි. එසේ නොවුණහොත් ඔවුන් පරදිනවා. අපට එය ප්‍රශ්නයක් නො වෙයි. ජාතික හා වාම කඳවුර සංධානගත වීමට ආසන සංවිධායකකම් ආදිය බල නොපෑ යුතුයි.