Main Logo

Wednesday 28 August 2019

රනිල්ගේ අභිප්‍රාය පරදවමු

          සිංහල ලිත් ඉලක්කම්




රනිල්ගේ අභිප්‍රාය පරදවමු




එ ජා පක්‍ෂයට හිතවත් එක්සත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය නමින් හැඳින්වෙන විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිතියක් මගින් කරන ලද සමීක්‍ෂණයකින් කරුණාරත්න ජයසූරිය සජිත් ප්‍රේමදාසට වඩා ප්‍රබල අපේක්‍ෂකයකු බව හෙළිවෙලා. මේ ආචාර්යවරුන් යැයි කියන පිරිස අතර හිටපු ආචාර්යවරුන් ද සිටින බව පැහැදිලියි. ඒ ඒසේ වුවත් ඔවුන් තමන් දන්නා සමීක්‍ෂණයක් කරලා. සමීක්‍ෂණ කවුරු කළත් සමීක්‍ෂණ ම තමයි. අනෙක මෙරට මිනිසුන් සමීක්‍ෂණයට පැමිණෙන තැනැත්තාට අවශ්‍ය අන්දමට පිළිතුරු දෙන්නත් දන්නවා. මේ සමහර හිටපු මහාචාර්යවරු ඉගෙන ගන්න කාලයෙ සමසමාජ පක්‍ෂෙ. ඔවුන් අද එ ජා පක්‍ෂයෙ. වික්‍රමබාහුත් එ ජා පක්‍ෂෙට කත් අදින විට මේ හිටපු මහාචාර්යවරු රනිල් හා කරු වෙනුවෙන් කඩේ යන එක පුදුමයට කාරණයක් නො වෙයි. 



එ කොහොම වුණත් එ ජා පක්‍ෂයේ පිරිසකට කරුණාරත්න ජයසූරිය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව තියෙනවා. පේන විධියට රනිල් හිතන්නේ මෙවරත් තමන්ට ජනාධිපතිවරණයකින් ජය ගැනීමට බැරි බවයි. එමෙන් ම ඔහු දන්නවා සංධානයක අවශ්‍යතාව. ඒ සංධානයෙන් ඔහු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ කරුණාරත්න ජයසූරිය.  රනිල් දන්නවා කරුණාරත්න ජයසූරිය දුර්වල බවත් තමන්ට ඔහු පාලනය කරන්න, මෙහෙයවන්න පුළුවන් බවත්. 

එහෙත් ඔහුගෙ මූලික උත්සාහය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.  ඒ ඔහුට ජනාධිපති වීමට නොහැකි නිසාත් විධායක අගමැති ලෙස ඔහුට අවශ්‍ය විධියට රට පාලනය කරන්න පුළුවන් නිසාත්. ඔහු සිතුම් පැතුම්වලින බටහිරයෙක්. පස්දුන් කෝරයෙන් අටු කොස් පැළ හොයන කෙනෙක්. ඉඳහිට අහුල ගත්ත රබන් පදයක් කියන කෙනෙක්. ඒ රබන් පදේ මෛත්‍රිගෙන් (ජනාධිපතිගෙන් නොවෙයි) අහගත්ත එකක් වෙන්න බැහැ. ඉංගිරිසි සාහිත්‍යයෙහි රබන් පද නැහැ. 


රනිල් පහුගිය දිනෙක ජනාධිපති මෛත්‍රී හමුවෙලා තියෙන්නෙ රබන් පද අහගන්න නො වෙයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පුළුවන් ද කියල බලන්න. මෛත්‍රිපාල ඒකට මොනව කිව්ව ද දන්නෙ නැහැ. මෛත්‍රිපාලටත්  නැවත ජනාධිපති වෙන්න බැරි බව පැහැදිලියි. නැවත ජනාධිපති වෙන්න ඉඩක් නැති අය හරි කිසි දිනෙක ජනාධිපති වෙන්න බැරි අය හරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟ වෙන්න ඉඩක් තියෙනවා. එහෙත් අප කියා සිටින්නේ දහතුන්වැනි සංශෝධනය අහෝසි කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගෙන යෑමටයි. 


අද ඉඩම් බලතල පළාත් සභාවල ක්‍රියාත්මක නොවන්නේත් උතුරු හා නැගෙනහිර පළාත් එක් කර නැත්තෙත් අධිකරණ තීන්දුවලින්. වෙනත් අධිකරණ තීන්දුවකින් ඒ වෙනස් කරන්න පුළුවන්. එමෙන් ම එහි දී හා පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමේදීත් විධායක ජනාධිපති ධුරය ප්‍රයෝජනවත් වෙනවා. රනිල්ට අවශ්‍ය ඒ බලතල පළාත් සභාවලට ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට. කරුණාරත්න ජයසූරිය ජනාධිපති වුණොත් ඒ බලතල රනිල්ගෙ අවශ්‍යතාවට පළාත් සභාවලට පවරාවි. 


කරුණාරත්න ජයසූරිය මහා බෞද්ධ උපාසකයකු ලෙස පෙනී සිටිනවා. ඔහුට ඇතැම් නිකායවලින් සම්මාන ද ලැබී තිබෙනවා. මේ සම්මාන නම් ඒ හාමුදුරුවරු අබෞද්ධයන්ටත් ලබා දෙනවා. අවාසනාවකට අද හාමුදුරුවරුත් දේශපාලනික ව බෙදීලා. උන්වහන්සේ සම්මාන දෙන්නේ සසුන රැකීමට වඩා දේශපාලන පක්‍ෂ රැකීමට ය කීවොත් නිවැරදියි. එසේ නමුත් අද හාමුදුරුවරුන් සමස්තයක් ලෙස මෙන් ගෝඨාභය පක්‍ෂපාතියි. ඒ ඔහු ජාතික අපේක්‍ෂක නිසා. යම් විධියකින් ඔහු පක්‍ෂයක අපේක්‍ෂකයා වී කරුණාරත්න ජයසූරිය එ ජා ප අපේක්‍ෂකයා වුවහොත් තත්වය තරමක් වෙනස් වෙන්න පුළුවන්. 


රනිල් එ ජා පක්‍ෂ කෘත්‍යාධිකාර මණ්ඩලය තමන්ට අවශ්‍ය විධියට හසුරුවනවා, වෙනස් කරනවා. ඇතැම් ඇමතිවරුනට විරුද්ධව විනය ක්‍රියාත්මක කරන්න යනවා. ඒත් සජිත්ට කබීර් හෂීම්ට විරුද්ධ ව දැනට පියවරක් ගන්නේ නැහැ. රනිල් එහෙම තමයි. රනිල් ඔවුන්ට පස්සෙ අත තියාවි. කරුණාරත්න ජයසූරිය ඊනියා පොදු අපේක්‍ෂකයා කියමින් අනුර රනිල්දාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකක් නැහැ. අප රනිල්ගේ අභිප්‍රාය පරදවන්න ඕන.


එ ජා පක්‍ෂයේ මතභේද ඉදිරියේ පොදුජන පෙරමුණ හා ශ්‍රී ල නි ප භේද හදාගන්න අවශ්‍ය නැහැ. ඒ භේද යම් ප්‍රමාණයකට හරි නැති වීම ගැන සතුටුයි. අප හැමදාමත් කියා සිටියේ ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපෙක්‍ෂකයකු නොවන බවයි. මා අහගෙන සිටියා තිස්ස අත්තනායක කියනවා ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව. ඔහුත් එසේ කියන ජනමාධ්‍යවේදීනුත් වැරදියි. ශ්‍රී ල නි පක්‍ෂයත් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව කියමින් කෝන්තරයක් හදාගෙන. මහින්ද එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී කිව්වේ තමන් ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කරන බව පමණයි. ශ්‍රී ල නි පක්‍ෂයටත් ජාතික අපේක්‍ෂකයා වූ ද ෂඩ් මහා බලවේගයේ (පංච මහා බලවේගය හා රණවිරුවන්)  අපේක්‍ෂකයා වූ ගෝඨාභයගේ අපේක්‍ෂකත්වය අනුමත කරන්න පුළුවන්. 


ශ්‍රී ල නි ප හා පොහොට්ටුව එකතු විය යුතු බව බොහෝ ජාතිකවාදීන්ගේ අදහසයි. ඔවුන් අතර සකච්ඡා සාර්ථක වේවා යන්න අපේ පැතුමයි. මගෙත් කාලීන පැතුමක් තියෙනවා. සැප්තැම්බර් විසිහය වැනි දාට යෙදෙන බණ්ඩාරනායක හැටවැනි ගුණ සමරුව පක්‍ෂ දෙක ම එකතුව පැවැත්විය යුතු ය යන්න. පක්‍ෂ දෙකේ ම අතිමහත් බහුතරය පනස්හයේ දරුවන්. මගේ ඉහත කී පැතුම පනස්හයේ දරුවකු ලෙසත් තිස්අවුරුද්දකට පෙර පළමු බණ්ඩාරනායක ගුණ සමරු දේශනය පැවැත් වූ තැනැත්තා හැටියටත්.