Main Logo

Saturday 24 August 2019

මෛත්‍රිපාල සාධකය

           සිංහල ලිත් ඉලක්කම්


මෛත්‍රිපාල සාධකය 

සජිත් ප්‍රේමදාසගෙ තාත්තාගෙ කාලෙ පෝස්ටරයක තිබුණ මේ කවුද මොනවද කරනනෙ කියලා. ඒකෙන් එක එක දේ කියවුණා. අද එවැනි පෝස්ටරයකින් කියැවෙන්නෙ සජිත් ගැන නො වෙයි. ඒ මහින්ද ගැනවත් ගෝඨාභය ගැනවත් බැසිල් ගැනවත් රනිල් ගැනවත් කරුණාරත්න ජයසූරිය ගැනත් නො වෙයි. ඔවුන් සියල්ලන් ම දැන් භාවිතාවන වචනයක් යොදා ගත්තොත් පාරදෘශ්‍යයි. ඔවුන් කවුද මොනවද කරන්නෙ කියන එක කවුරුත් පාහේ දන්නවා.  


අද නම් මේ කවුද මොනවද කරන්නෙ යන්නෙන් කියැවෙන්නෙ මෛත්‍රිපාල ගැන. ඇතැමුන් කියන්න පුළුවන් මෛත්‍රිපාල ගැන තමන් දන්නවා කියලා. ඒ වෛරයෙන් කරන කතාවක්. අද වෛර කර කර ඉන්න වෙලාවක් නැහැ.  මේ කවුරුත් පාහේ එකට නැතත් යන එන තැනක් තියෙනවා. ඒ අනුරාධපුර මෑණියන්ගෙ වසස්ථානය. මෑණියන් මේ හැමෝට ම උපදෙස් දෙනවා.  

ආර් ප්‍රේමදාස මෙන් ම මෛත්‍රිපාලත් ඉතා සාමාන්‍ය පවුල්වලින් පැමිණි අය. ඔවුන් දිවයිනේ ප්‍රභූ යැයි කියන පාසල්වලට ගිය අය නො වෙයි. ප්‍රේමදාස නගරයේ කොළඹ. මෛත්‍රිපාල ගමේ පොළොන්නරුවෙ. දෙන්න ම රටේ ජනාධිපති වුණා. දෙන්න ම දක්‍ෂ දේශපාලනඥයො. එක් අයකු ගුණසිංහගෙ කම්කරු පක්‍ෂයෙන් දේශපාලනය ආරම්භ කරල එ ජා පක්‍ෂයේ ප්‍රබල තත්වයකට පැමිණියා. අනෙක් අය ජ වි පෙ කොමියුනිස්ට් පක්‍ෂ හරහා ශ්‍රී ල නි පක්‍ෂ ලේකම් වුණා. දැන් නම් පක්‍ෂයේ සභාපති. 

ප්‍රේමදාස එ ජා පක්‍ෂයේ ඉහළට ම ආවා. ඒත් ඔහුට ජනාධිපති අපේක්‍ෂක වෙන්න විශාල සටනක් කරන්න සිද්ධ වුණා. මුලදි ම සටනකින් පසු ඔහු අගමැති වුණා. ඒ ජේ ආර්ගෙ ව්‍යවස්ථාව යටතේ. ප්‍රේමදාස කිව්වෙ අගමැතිකම බලයක් නැති පියුන් වැඩක් වගේ කියලා. ඒත් ඔහු ඒ අගමැතිකමට බලයක් ලබා දුන්න. අවසානයේ දී ප්‍රේමදාස ජේ ආර්ට තර්ජනය කළා කියා කියනවා. ප්‍රේමදාස තර්ජන ගර්ජන මැර බලය ආදිය යොදා ගත් අයෙක්. ඒ මැද කොළඹ පරිසරය සමග ලැබුණු දේ. අද රනිල් බුක්ති විඳින්නෙ  ජේ ආර්ගෙ ව්‍යවස්ථාවෙ අගමැතිකම නොව ප්‍රේමදාස ඇති කළ අගමැතිකම. ඒකට දහනවවැනි සංශෝධනයෙන් යම් යම් දේ එකතු කර ගෙන.

මෛත්‍රිපාල ප්‍රේමදාසට වඩා සියුම්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ලේකම් වුණත් ප්‍රේමදාසට වගේ ම කෙණෙහිළිකම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔහු තර්ජන ගර්ජන කරල ඇමතිකමකින් ඉහළට යන්න අවස්ථාවක් ලබා ගන්න අයෙක් නො වෙයි. ඔහු ඇමති කමෙත් රැඳී සිටියෙ අමාරුවෙන්. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ තමාට හිමි වූ තැන ගැන කළකිරිලා සිටි අයෙක්. ඉන්දියාව ඔහු යොදා ගත්ත. ඔහු ජනාධිපති වුණෙ ශ්‍රී ල නි පක්‍ෂයෙන් නොව හංසයාගෙන්. කවුරුවත් ඒ වෙලාවෙ මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයෙන් අස් කරන්න කිව්වෙ නැහැ.  ජනාධිපති වීමෙන් පසු මහින්ද ඔහුට ශ්‍රී ල නි ප සභාපතිත්වයත් ලබා දුන්න. 

මෛත්‍රිපාල ඊනියා සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයට පොරොන්දු වුණා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. ඒ ව්‍යාපාරය ඉන්දියාවෙ හා බටහිර වුවමනාවට රාජ්‍ය නොවන බත් බැළයන්, සිවල් සාමාජිකයන් යෙදා හදා ගත්ත එකක්. සියළු රාජපක්‍ෂ විරෝධීන්ට හා සිංහල විරෝධීන්ට ඒ ව්‍යාපාරය අම්බලමක් වුණා. රනිල්දාස හා කුමාර් ඩේවිඩ් වැන්නවුන් ද අම්බලමේ දැක ගන්න පුළුවන් වුණා. මහින්ද 2015 පරාජය වුණෙ මෛත්‍රිපාල නිසා. මෛත්‍රිපාලගෙ තිබුණු සිංහල බෞද්ධකම ඉන්දියාව මහින්ද පරදවන්න ප්‍රයෝජනයට ගත්ත. සිංහල බෞද්ධ ඡන්ද යම් ප්‍රමාණයක් මහින්දට නැති වුණා. කවුරු කිව්වත් ඉන්දියාව අපේ මිතුරකු නො වෙයි. ඉතිහාසයෙ අප ඉන්දියාවෙන් (භාරතයෙන්, දඹදිවෙන්) රැක ගනු ලැබුවෙ මහාවිහාරය විසින්. ඒත් ඒ දඹදිව ම පැළලුප් නුවර පැත්තෙ ඉඳගෙන මාගධියෙන්. මා එහෙම කියන විට බොහෝ දෙනකුට කේන්ති යනවා. ඒ මට කේන්ති යනවා කියමින්.

අවසානයෙ සීතාවක රාජසිංහ රජු දවසත් නායක්කාර් වාංශික සිංහල රජුන් දවසත් දුර්වල මහාවිහාරයක් මැදිහත් වුණා. ඒත් අප පිළිවෙළින් පෘතුගාලයට හා ඉංගිරිසින්ට යට වුණා. දැන් මහාවිහාරය වඩාත් දුර්වලයි. ඉන්දියාවයි බටහිරයි සෝභිත හාමුදුරුවන් යොදා ගත්ත. මෛත්‍රිපාල ජනාධිපති වුණා. ඒත් ඔහු කාට පොරොන්දු වුණත් ජනාධිපතිකම අහෝසි කරන්නෙ නැහැ. අපටත් එය අහෝසි කරන්න වුවමනාවක් නැහැ. දහතුනෙන් හා පළාත් සභා පනතෙන් පළත් සභාවලට දී ඇති ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් මගින් අහෝසි කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය තියෙන්න ඕන. 

මෛත්‍රිපාල රනිල්ට එරෙහි ව විධායක ජනාධිපති ක්‍රමය විශාල වශයෙන් ආරක්‍ෂා කර ගත්තා. ඒත් අද ශ්‍රී ල නි ප මැරිලා. ඒ වුණත් ශ්‍රී ල නි ප අවතාරය තියෙනවා. එයට යම්කිසි බලයක් තියෙනවා. මෑණියන්ගෙන් අහල බලන්න. මා නම් එහි ගොස් නැහැ. ඒත් මෑණියන්ට යම් බලයක් තියෙන බව මා විශ්වාස කරනවා. ඒ ඊනියා ගුරුත්වාකර්ෂණ බලයට වඩා බල සම්පන්නයි. බොරු පඬියකු වීමට මා ප්‍රසිද්ධියේ දෙවියන් නැතැයි කියමින් නාඩිවාක්‍ය කියව ගන්නෙ නැහැ. 

අපට මෛත්‍රිපාල සාධකය අමතක කරන්න බැහැ. බොහෝ දේශපාලනඥයන් මෙන් ම ඔහු ද ස්ථිර වචනයක නැහැ. මෛත්‍රිපාල තම උපදේශකයන් සමගින් ජනාධිපතිවරණය කල් දාන්න කළ හැකි සියල්ල කරනවා. පළාත් සභා මැතිවරණ ඉක්මනින්  පැවැත්වීම, තම ධුර කාලය දික් කර ගැනීම ආදිය එයට ඇතුළත්. ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුර තත්වය තවත් නරක අතට හැරෙන්න පෙර තම කඳවුරේ ම අයකු වූ මෛත්‍රිපාල සමග යම් එකඟත්වයකට පැමිණෙන්න ඕන. ඔහු රනිල්ගෙන් මෙන් ම සජිත්ගෙන් ද ඉවත් කරන්න ඕන. ප්‍රායෝගික මෙන් ම ජනප්‍රියවාදී දේශපාලනඥයකු වූ මහින්දට මෙරට ජාතිකත්වය වෙනුවෙන් මෙහි දී කළ හැකි කාර්යභාරයක් තියෙනවා. මෛත්‍රිපාල සමග රටේ ජාතියේ යහපත වෙනුවෙන් එකඟත්වයකට එන්න ඕන.