Main Logo

Monday 5 August 2019

දේශපාලනයේ යළි ඉපදීම



මා හිතුව මින් පස්සෙ මේ ලිපිවල මුල සංකේතයක් ලෙස සිංහලයන්ගෙ ලිත් ඉලක්කම් ලියන්න ඕන කියලා. මේ ලිත් ඉලක්කම් සීගිරියෙ (සිහිගිරියෙ) දැක ගන්න පුළුවන්. ඉතා මෑතක් වන තුරු සිංහල ජ්‍යොතිෂවේදීන් ලිත් ඉලක්ම් යොදා ගෙන තියෙනවා. 

දේශපාලනයේ යළි ඉපදීම

රනිල්දාස කියල අනෙක් පක්‍ෂවල නායකත්ව පොරයක් ඇති වෙලා කියලා. ඒ කියන්නෙ ජනතා විරෝධි පක්‍ෂයෙ නායකත්ව පොරයක් නැහැ කියන එක. ඒක ඇත්ත රනිල්දාස නායකත්ව පොරයක් නැති ව සෝමවංස අමරසිංහ නායකත්වයෙන් ඉවත් කළා. දැන් කාලෙකට කුමන්ත්‍රණ නැහැ. ලාල්කාන්තට පොරයක් දෙන්න තරම් හයියක් නැහැ. ඒත් අපි තවම බලාගෙන ඉන්නවා ජ වි පෙ ජනාධිපති අපේක්‍ෂකයා කවුද කියා දැනගන්න. රනිල්දාස ද නැත්නම් හිටපු රාජ්‍ය සේවකයෙක් ද? දාස කියන්නෙත් සේවක කියන එක තමයි.



ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ නම් නායකත්ව පොරයක් නැහැ. ජනාධිපති අපේක්‍ෂක පොරයකුත් නැහැ. භික්‍ෂුන් වහන්සේ හා ජනතාව ගෝඨාභය රාජපක්‍ෂ තෝරා ගෙන ඉවරයි. අද කරන්න තියෙන්නෙ පොහොට්ටුවයි අනෙක් පක්‍ෂයි එකතු වෙලා පුරාතන සිරිත අනුව ගෝඨාභයගෙ නම අනුමත කරන එක විතරයි. දැන් ගෝඨාභය තමන්ගෙ කරගන්න හැදුවට පොහොට්ටුවෙ ඇතැමුන්ගෙන් ගෝඨාභයට තිබූ විරුද්ධකම් අපි අමතක කරමු.

පොහොට්ටුවත් තාම අනෙක් පක්‍ෂ සමග එකතු වෙලා සංධානයක් හදාගෙන නැහැ. පොහොට්ටුව හිතනව නම් තනියම ඇවිල්ල දිනන්න පුළුවන් කියල ඒක භික්‍ෂූන් වහන්සේටත් ජනතාවටත් කරන අගෞරවයක්. භික්‍ෂූන් වහන්සේ ගෝඨාභය තෝරාගත්තෙ පොහොට්ටුව  ගෝඨාභයට කැමති වෙන්න බොහෝ කලින්. මා හිතන්නේ ගෝඨාභය පොහොට්ටුවෙ සාමාජිකයකු වුණා නම් ඒ ළඟදි. පොහොට්ටුවෙ ඇතැමුන් තමන්ගෙ උද්ධච්ඡකම් අමතක කරල වහාම ජාතික හා වාම කඳවුරේ අනෙක් පක්‍ෂ සමග සංධානයක් ඇති කර ගන්න ඕන. පොහොට්ටුවෙ ඇතැමුන් ඉතා මෑතක් වන තුරු ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ. අද ඔවුන් කරන්නෙ කපන්න බැරි අත සිඹීමක්. ඒ විතරක් නොවෙයි ඒ අත තමන්ට පමණක් අයිති කර ගැනීමක්. අවශ්‍ය නම් මුල ඉඳල විස්තර කරන්න පුළුවන්. බෝන් අගේන් අය ජාතික හා වාම කේන්ද්‍ර කඳවුරේත් බලපෑම් කරන මට්ටමකට ඇවිල්ල ඉන්න බවක් පේනවා. 

දක්‍ෂිණාංශික කඳවුරේ තියෙන්නෙ ඊට වඩා අර්බුදයක්. ඒකෙ නම් තියෙන්නෙ බෝන් අගේන් ප්‍රශ්නයක්. බෝන් අගේන් කියන්නෙ එක්තරා ආකාරයකට එක්සත් රාජ්‍යවල ඇති වුණු මූලධර්මවාදී ආගමික නිකායක් හඳුන්වන ආකාරය. එහි ක්‍රිස්තුස් වහන්සේ සඳහන් කර ඇති යළි ඉපදීමක් ගැන කතා කරනවා. එය ආධ්‍යාත්මික යළි ඉපදීමක්. ගුණදාස අමරසේකරගෙ යළි ඉපදීම වෙනින් ආකාරයක යළි ඉපදීමක්. 

එක්සත් රාජ්‍ය යළි ඉපදීම අද වන විට දේශපාලන ව්‍යාපාරයක් බවටත් පත් වෙලා. එරට ජනාධිපති ධුරය දැරූ ජිමී කාටර් බෝන් අගේන් අනුගාමිකයෙක්. ජෝජ් බුෂුත් එහෙමයි. රොනල්ඩ් රීගන්ට දිනන්න බෝන් අගේන් උදව් වුණා. එරට කළු ජනතාවගෙන් විශාල පිරිසක් බෝන් අගේන් කියල කියනවා. බෝන් අගේන් සහාය ඉදිරියේ දී දේශපාලනයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන්න පුළුවන්. 

ලංකාවෙත් මෑතක සිට බෝන් අගේන් ව්‍යාපාරය පැතිරී යනවා. එහි වඩාත් ම තර්ජනය කතෝලික සභාවට. කාදිනල්තුමා මේ  ගැන දන්න බව පමණක් නොව දැඩි අවධානයකින් පසු වන බවත් පැහැදිලියි. අද දේශපාලනයේ ප්‍රධාන පක්‍ෂවල බෝන් අගේන් අනුගාමිකයන් ඉන්නවා. ඔවුන් විශාල බලයක් අත් කර ගෙන ඉන්නවා. 

දකුණු ආසියාවේ දේශපාලන බලතුලනයේ වෙනසක් වෙමින් පවතිනවා. එක්සත් රාජ්‍ය ඉන්දියාව සමග තිබූ සම්බන්ධය දුරස් වේගෙන යනවා. ඒ වෙනුවට ට්‍රම්ප් පකිස්ථානය සමග සම්බන්ධකම් දැඩි කර ගන්නවා. ඉම්රාන් ඛාන් ට්‍රම්ප් හමු වූයේ ඉතා මෑතක දී. එහෙත් අප රටට දැන් වඩාත් ම බලපෑම් එල්ල කරන්නේ ඉන්දියාව. බටහිරයනුත් බලපෑම් කරනවා. නිවට කරණැවෑමියා දැක්ක ම එළුවත් හොම්බ දික් කරනවළු. මෙරට නිවට නායකයන්ට බලපෑම් කරන්නෙ නැත්තෙ කවුද?

අද මෙරට දක්‍ෂිණාංශික කඳවුරට බෝන් අගේන් බලපෑම වැඩියි. සජිත් කටුවපිටිය පල්ලිය රජයේ මුදලින් අලුත්වැඩියා කළාට කාදිනල්තුමා සජිත් ගැන දන්නවා කියලයි මා හිතන්නෙ. රනිල් ලෝකෙ හැමෝට ම රට විකුණන අතරෙ ඉන්දියාවෙ හින්දු දෙවියන්ගේ ආධාර පතනවා. ඔහු ඉන්දියාවෙ කෝවිල් ගණනාවකට ම ගිහින් තියෙනවා. ඔහු ආධාර පතන්නෙ බෝන් අගේන් තර්ජනයෙන් බේරෙන්න ද? සමහරවිට මෛත්‍රිපාල, මහින්ද, රනිල් යන තිදෙනාගෙන් වැඩිපුර ම ඉන්දියාවෙ කෝවිල්වලට ගිහින් තියෙන්නෙ රනිල් වෙන්න ඇති. සමීක්‍ෂණ පඬියකුට ඒ ගැන ඊනියා පරයේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වේවි.  

රනිල් ඉන්දියාවෙ කෝවිල්වලට යනවා. බැසිල් නැකතට වැඩ කරන්න පටන් අරන්. පොහොට්ටුවෙ දේශීය වෛද්‍යවරුන්ගෙ ශාන්තිකර්මවල යෙදෙන්නන්ගෙ සංවිධාන පිහිටුවලා. අපි මේ එකකින්වත් රැවටෙන්නෙ නැහැ. කාදිනල්තුමා විතරක් නොවෙයි පසුගිය දා මෙරටට පැමිණි ලෝක මුස්ලිම් ලීගයේ ලේකම්තුමාත් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන කියල තිබුණා. මෙරට ජනයා සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන්න එයට අනුගත වෙමින් තම ආගමික අනන්‍යතාවන් පවත්වාගෙන යන්න කියන එක දේශපාලනඥයන්ගෙන් හැරෙන්න අනෙක් ආගමික නායකයන්ගෙන් කියැවෙනවා. එහෙත් එකදු දේශපාලනඥයෙක්වත් සෘජුව ඒ බව කියන්නේ නැහැ. ඒ අය තවමත් ඉන්නෙ බහුසංස්කෘතික බහුබූතයේ. 1816 දි පමණ නැති වුණු සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවීමට කැමති දේශපාලනඥයකු ඉන්නවා නම් අත උස්සන්න.