Main Logo

Saturday 10 August 2019

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය


    සිංහල ලිත් ඉලක්කම්

පොහොට්ටුව, ගෝඨාභය හා ජාතිකත්වය



හෙට පොහොට්ටුවේ ජාතික සම්මේලනය පැවැත්වෙනවා. එහි දී මහින්ද නායකත්වයට පත් කර ගන්නා බව කියනවා. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වෙනවා ද යන්න පැහැදිලි නැහැ. පක්‍ෂයකට (දැනට) දේශපාලන කටයුතුවල නොයෙදෙන නායකයකු ඉන්න පුළුවන්. ක්‍රීඩා  කණ්ඩාය ක්‍රීඩා නොකරන නායකයකු (non playing captain) ඉන්න පුළුවන්. 


මහින්ද පොහොට්ටුවේ සාමාජිකයකු වුණොත් ඔහුගේ ශ්‍රී ල නි පක්‍ෂ සාමාජිකත්වයට මොකද වෙන්නෙ යන ප්‍රශ්නය අසන්න වෙනවා. ද්විත්ව රටවැසි බව වගේ පක්‍ෂවල ද්විත්ව සාමාජිකත්වත් තියෙන්න පුළුවන්. එහෙත් ඒ කළ හැක්කේ පක්‍ෂවල ව්‍යවස්ථා අනුවයි. මහින්දට ශී ල නි පක්‍ෂ සාමාජිකත්වය නැති වුණොත් එක්සත් ජනතා නිදහස් සංධාන සාමාජිකත්වයත් නැති වී මන්ත්‍රීකමත් නැති වෙන්න පුළුවන්. සමහරවිට ඒ ගැන මහින්ද අමරවීර සමග සම්මුතියකට එළඹිලා ඇති. එහෙම නැත්නම් කල් ගැනීම සඳහා අධිකරණ මාර්ගයට පිවිසීමට බලාපොරොත්තුවක් ඇති. පහුගිය ඔක්තෝම්බරයේ දී මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් විට මහින්ද අමරවීර ලිපියක් දී මහින්ද රාජපක්‍ෂ ගලවා ගත්තා. 

ඒ නෛතික ප්‍රශ්න. ඒ ප්‍රශ්නත් අවසානයේ දී දේශපාලන ප්‍රශ්න බවට පත්වෙන්න පුළුවන්. එහෙත් වඩා වැදගත් දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජනාධිපති අපේක්‍ෂක කවුද යන්න හා ඒ නම හෙට ඉදිරිපත් කරනවා ද කරන්නේ කෙසේ ද ආදී ඊට අදාළ ප්‍රශ්න. අපේක්‍ෂකයා ගෝඨාභය නම් හා ඔහුගේ නම හෙට ප්‍රසිද්ධ කෙරෙන්නේ නම් එය හුදෙක් අනුමත කිරීමක් විය යුතුයි කියා මා හිතනවා. 

පොහොට්ටුවේ නායකයන් හා හෙංචයියන් මා කියන දේ අනුමත නොකරන්න පුළුවන්. ඔවුන්ට මේ කිසිවක් තේරුම් ගැනීමට වුවමනාවක් නැහැ. ඔවුන්ගේ බුද්ධි මහිමය අනුව මා සිරිසේනවාදියෙක්, සිරිජාතිකවාදියෙක්, පොහොට්ටු විරෝධියෙක්, ගෝඨාභය විරෝධියෙක් හා අවසාන වශයෙන් එ ජා පක්‍ෂයට (රනිල්ට හෝ සජිත්ට හෝ) සහාය දෙන්නෙක්.  

ඔවුන් අමතක කළාට  ගෝඨාභයගේ නම මුලින් ම ඉදිරිපත් කෙරුණේ පොහොට්ටුවෙන් නො වෙයි. පොහොට්ටුවේ ඇතැම් ප්‍රබලයන් එයට විරුද්ධ ව හිටියා. එහෙත් පසුව භික්‍ෂූන් වහන්සේගේ හා මහජනයාගේ අපේක්‍ෂකයාට හෙවත් ජාතියේ අපේක්‍ෂකයාට  කැමැත්ත දීමට ඒ ප්‍රබලයන්ට සිද්ධ වුණා. එසේ සිදු වුණේ මෙරට සම්ප්‍රදායට අනුවයි. 

පොහොට්ටුව නිර්මාණය කෙළේ බැසිල් නොවෙයි. ඔහු තමයි ශ්‍රී ල නි ප මරා දැම්මේ. නාමල් ද එයට තරමක් උදව් කළා. ඔවුන් එදා ජ්‍යෙෂ්ඨ ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට සැලකූ ආකාරය බැසිලිකාව නොදත්තාට, අමතක කළාට අනෙක් අයට අමතක වන්නේ නැහැ. ශ්‍රී ල නි ප මරා දැමීමේ බැසිල් භූමිකාව ගැන මා කලින් ලිපිවලත් කියා ඇති.  

දිනේෂ්ලා වාසුලා විමල්ලා ගම්මන්පිලලා නිර්මාණය කළ මහින්ද සුළඟට නමක් හා ලිපිනයක් දීමයි බැසිල් කෙළේ. ඔහු තවත් දෙයක් කළා. ඒ පොහොට්ටුව ඊනියා ස්මාට්ජාතිකවාදයකට යට කිරීම. ශ්‍රී ල නි පක්‍ෂයට ජාතිකත්වයක් තිබුණා. බැසිල් පොහොට්ටුවෙන් ජාතිකත්වය ඉවත් කළා. 

එහෙත් බැසිල්ට අද රනිල් පහර දෙන්නේ වෙනත් කරුණක් මුල් කර ගෙන. බැසිල් ගෝඨාභයට terminator යන වචනය යෙදුවේ දූෂණය ආදිය නැති කරන්නා ඉවර කරන්නා යන අරුතෙන්. රනිල් හා ජනමාධ්‍යවේදීන් යැයි කියා ගන්නන් එය සියල්ල කම්මුතුකරන්නා යන අරුතෙන් යොදා ගන්නවා. 

මා කියනවා ගෝඨාභය දෙමළ නායකයන්ගේ ජාතිවාදයත් හිස්බුල්ලාලාගේ බද්‍යුද්දීන්ලාගේ අසාද් සාලිලාගේ මුස්ලිම් අන්තවාදය/ජාතිවාදයත් අවසන් කළ යුතුය කියා. බැසිල් හා බැසිලිකාව එයට එකඟ ද නැත් ද යන්න ප්‍රශ්නයක් නොවිය යුතුයි. ජනතාව ඡන්දය දෙන්නේ බැසිල්ට නොවෙයි. ජාතිකත්වයක් නැති බැසිල්ට ජනතාව ඡන්දය දෙන්නේ නැහැ.  
    
පොහොට්ටුව හෙට කළ යුත්තේ ජාතියේ අපේක්‍ෂකයාගේ නම අනුමත කිරීමයි. එය ප්‍රශ්නයක් නොවිය යුතුයි. පොහොට්ටුව අනෙක් පක්‍ෂ සමග සංධානයකට එළඹි පසු සංධානයටත් ඒ නම අනුමත කරන්න පුළුවන්. එතෙක් ඒ අනෙක් පක්‍ෂවලටත් වෙන වෙන ම ගෝඨාභයගේ නම අනුමත කරන්න පුළුවන්. මේ කිසිම පක්‍ෂයකට ගෝඨාභය තමන්ගේ කර ගන්න බැහැ. 

ජාතියේ අපේක්‍ෂකයා පක්‍ෂයක අපේක්‍ෂකයෙක් වෙන්න බැහැ. ඔහු නෛතික ව පක්‍ෂයකින් ඉදිරිපත් වෙන්න ඕන. ඒ සඳහා සුදුසු පක්‍ෂයක් තෝරා ගැනීම පසුව කරන්න පුළුවන්.එය හුදෙක් නාමික කටයුත්තක්, නීතිය අනුව කටයුතු කිරීමක් පමණක් විය යුතුයි. 

පොහොට්ටුවේවත් වෙනත් පක්‍ෂයකවත්, සාමාජිකයන්වත් නායකයන්වත් මා සමග මේ කිසිවක් සාකච්ඡා කරන්නේ නැහැ. ඔවුන්ට අනුව මා ජනබලයක්, දේශපාලන බලයක්, ධන බලයක්, මාධ්‍ය බලයක් නැති එහෙත් නහයට අහන්නෙ නැති මිනිහකු පමණයි. සමහරුන්ට අනුව මට කිසිම දේශපාලන අවබෝධයක් නැහැ. ඔවුන් මගේ ස්ථාවරය විවිධාකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. එහෙත් ඔවුන්ට අනුව කිසිම බලයක් නැත්තකුට ඒ අර්ථකථන ප්‍රශ්නයක් නො වෙයි. 

මේ අතර කිව යුතු තවත් කරුණක් තියෙනවා. මා මුල දී කියා සිටියේ මෛත්‍රිපාලට ගෞරවනීය ආකාරයකින් දේශපාලනයෙන් ඉවත් වීමට පොහොට්ටුවේ ශ්‍රී ල නි පක්‍ෂයේ හා අනෙක් පක්‍ෂවල සංධානයකින් ඉඩ සැලසිය යුතු බව. එහෙත් මෛත්‍රිපාල දේශපාලනයෙන් ඉවත් වීමට සූදානමක් නැති බව පේනවා. එබැවින් දැන් කළ යුත්තේ මෛත්‍රිපාලට ගෞරවනීය ව දේශපාලනයේ යෙදීමට අවස්ථාවක් ලබා දීමයි. ඒ සඳහා ඔහු ජනාධිපති කිරීමටවත් අගමැති කිරීමටවත් අවශ්‍ය නැහැ. වෙනත් සුදුසු තනතුරක් නිර්මාණය කර ගන්න පුළුවන්.