Main Logo

Thursday 29 August 2019

ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය

         සිංහල ලිත් ඉලක්කම් 


ලේක්හවුසිය තිස්ස විතාරණ හා ගෝඨාභය 


ලේක්හවුසියෙන් මිනිසුන්ගේ ඇඟේ ගහන රැස පත්තර කඩමාල්ල මා ලියූ දෙයක් තමන්ට අවශ්‍ය අර්ථකථනයක් දීමට යොදා ගෙන තියෙනවා. ඕනෑම පෞද්ගලික මාධ්‍ය ආයතනයකට තමන් දරණ දේශපාලන හා වෙනත් මත වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය තියෙනවා. මා එහි වරදක් දකින්නේ නැහැ. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වළු. ඒත් රජයේ මාධ්‍ය ආයතනවල දේශපාලන හා අනෙක් මත විය යුත්තේ කවරේ ද? රජයේ ආයතන යනු ආණ්ඩුවේ ආයතන නොවන බව මෙරට දේශපාලනඥයන්ටවත් ජනතාවටත් ඒ ආයතනවල වැඩ කරන බොහෝ දෙනාටවත් තේරෙන්නේ නැහැ.


බණ්ඩාරනායක මැතිණිය කළ ලොකු ම වරද ලේක්හවුසිය ජනසතු කිරීමයි. ඒ කෙළේත් තිස්ස විතාරණලාගේ සමසමාජ පක්‍ෂයේ වුවමනාවට. මාත් ඒ දිනවල ඒ පක්‍ෂයේ. මා සමසමාජ දේශපාලනයේ වැරදි දැක මාක්ස්වාදය විද්‍යාත්මක ද යන ලිපිය ලියා නව සමසමාජ පක්‍ෂයෙන් ද ඉල්ලා අස් වී දැන් වසර හතළිහකට ආසන්නයි. ඉන් පසු මා කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු වී නැහැ. ඒහෙත් මගේ දේශපාලන උනන්දුව නැති වී නැහැ. 

ලේක්හවුසිය ජනසතු කෙළේ ඒ පුවත්පත් බණ්ඩාරනායක මැතිණයගේ ආණ්ඩුවට ද්වේෂයෙන් හුදෙක් එ ජා ප අවශ්‍යතාව මත පමණක් පදනම් වී නිර්දය ලෙස පහර දුන් නිසා බව මගේ විශ්වාසයයි. ඩී ආර් විජේවර්ධන ආරම්භ කළ ලේක්හවුසිය මෙරට සිංහල බෞද්ධ මතයට මුල සිට ම විරුද්ධ වූණා. සමසමාජ පක්‍ෂය එදා දැන සිටියේ නැහැ ලේක්හවුසිය විරුද්ධ වන්නේ මෙරට සිංහල ජනමතයට බව. මෙය මෙරට ජාතික හා වාම කේන්ද්‍රීය දේශපාලනයේ තියෙන අවුලක්. 

ජාතිකත්වයට වම සමග සම්බන්ධයක් නැහැ. වම ඊනියා ජාත්‍යන්තරවාදයක්. එහෙත් අදත් ජාතිකත්වයේ බොහෝ උදවිය වාමාංශික දේශපාලනයේ වචන යොදා ගන්නවා. එය මෙරට බොහෝ දෙනා බටහිර විද්‍යාවේ කතා යොදා ගන්නවාට සමානයි. විද්‍යාත්මක ඇසකින් අමාත්‍ය මණ්ඩලය නම් කළ යුතුයි කියාත් කියනවා. බටහිර විද්‍යාව කියන්නේ හිතළු ටිකක් පමණයි. ජාතිකවාදීන් තවමත් ප්‍රගතිශීලී, සමාජවාදය වැනි කිසි දා වලංගු නොවූ වචන යොදා ගන්නවා. ප්‍රගතිශීලී යන්නෙහි ප්‍රගතිය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? 

එදා ලේකහවුසියට යම් ප්‍රතිපත්තියක් තිබුණා. එය විජේවර්ධනලාගේ සිංහල විරෝධී ප්‍රතිපත්තිය. එහෙත් අද ලේක්හවුසියේ ප්‍රතිපත්තිය මොකක් ද? ආණ්ඩු මාරුවෙනවාත් සමග එහි සංස්කාරකවරුන් ලේඛකයන් මාරු වෙනවා. අද එහි ප්‍රධානත්වය දරන්නේ එ ජා පක්‍ෂයට හිතවත් අය හා ඊනියා පශ්චාත්නූතනවාදී, පශ්චාත්මාක්ස්වාදී අදහස් එහෙන් මෙහෙන් අහුළා ගත් අය. ඔවුන් මූලික වශයෙන් සිංහල විරෝධීන්. ඔවුන් ජාතිකත්වයට ජාතිවාදී කියන අතර දෙමළ මුස්ලිම් අන්තවාද පෝෂණය කරනවා.

ලේක්හවුසිය තමයි ධර්මපාලතුමාට විරුද්ධ ව එකල ක්‍රියා කෙළේ. විජේවර්ධනලා ධර්මපාලතුමාට පහර දුන්නේ රට අත්හැර යෑමට සලස්වමින්. ඩෙප් කොටස හළා දැම්මත්, ඩෙප් විජේවර්ධනලා කැලණියට සම්බන්ධ වුවත් විජේවර්ධනලාගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. පනස්හයේ දී ලේක්හවුසිය මහජන එක්සත් පෙරමුණට විරුද්ධ ව කටයුතු කළා. එහෙත් ම එ පෙ බලයට පත් වුණා. ජනමාධ්‍යයකට ජනමතය සම්පූර්ණයෙන් මෙහෙයවන්න බැහැ. සමසමාජ පක්‍ෂයට ඒ බව තේරුණේ නැහැ. ඔවුන් බණ්ඩාරනායක මැතිණිය ලවා ලේක්හවුසිය ජනසතු කෙරෙව්වා. 

රැස පුවත්පත අද තම ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත් කර ගෙන ඇත්තේ මා පසුගිය විසිහයවැනි දා තිස්ස විතාරණ හා ගෝඨාභය මැයෙන්  කාලය බ්ලොග් හි පළ කළ ලිපියක්. රැස කියන්නේ එය කාලය ෆේස්බුක් ගිණුමෙහි පළ වූ ලිපියක් කියා. අඩු තරමෙන් තමන් ලිපිය උපුටා ගන්නේ කොතනින් ද කියන එකවත් හොයා බලන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. මා මගේ ලිපි මුහුණු පොතෙහි පළ කිරීම නවත්වා දැන් කාලයක් ගත වී.  
     
මා මගේ ලිපියෙන් අවධාරණය කෙළේ ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නොවන බව. මහින්ද අමරවීරත් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා ලෙස සැලකීම කණගාටුවට කරුණක්. ගෝඨාභය භික්‍ෂූන් වහන්සේගේ හා දේශප්‍රේමී (ඊනියා ප්‍රගතිශීලි නොවෙයි) ජනතාවගේ අපේක්‍ෂකයා මිස පොහොට්ටුවේ අපේක්‍ෂකයා නො වෙයි. එදා සුගතදස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ කීවේත් ජනතා කැමැත්ත තමාගේ ද කැමැත්ත බව මිස ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බවක් නො වෙයි. 

එහෙත් අද ජනමාධ්‍ය පොහොට්ටුව මෙන් ම අනෙක් දේශපාලන පක්‍ෂත් ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බවට පත් කරමින් සිටිනවා. ගෝඨාභය පොහොට්ටුවේ සිරකරුවකු බවට පත් වෙමින් සිටිනවා යනුවෙන් මා ලිව්වේ එබැවිනුයි. රැස පුවත්පත ගෝඨාභය පොහොට්ටුවේ සිරකරුවෙක් යන  වැරදි ශීර්ෂ පාඨයක් යෙදා  ජනතාව නොමග යැවීමට තැත් කරනවා. ජාතිකවාදී යැයි කියන පුවත්පත් විවිධ බලපෑම් මත මගේ ලිපි පළ නොකිරීම නිසා රැස වැනි පුවත්පත්වලට මෙවැනි විකෘති කිරීම්වලට ඉඩ ලැබෙනවා. සිරකරුවෙක් හා සිරකරුවකු බවට පත්වෙමින් සිටිනවා කියන්නේ එකක් නොව දෙකක්.

මගේ ලිපියෙන් මා කියා සිටියේ කුමක් ද යන්න පහත සඳහන් උපුටා ගැනීම්වලින් පැහැදිලි වෙනවා ඇති. 

“ගෝඨාභය ජනාධිපතිධුර අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙරුණේ මහා සංඝයා වහන්සේ හා ජනතාව විසින් මිස පොහොට්ටුවෙන්වත් මෙරට මාක්ස්වාදී පක්‍ෂවලින්වත් නො වේ. ඒ පක්‍ෂ මුල දී ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  එහෙත් අද ඒ පක්‍ෂ ඔහු වටා රොක් වෙලා.  ඔහු ක්‍රමයෙන් පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්වෙමින් ඉන්නවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ගෝඨාභය තමාගේ තීරණය නොව ජනතාවගේ තීරණය බව ය. එහෙත් මේ සති දෙකට ජනතාව ඉන්නේ කොහේ ද?”

“ඊයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට අනුව පසුගිය දා පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා “දෙමළ කතාකරන ජනතාවගේ ප්‍රගතිශීලි නායකයන් යැයි කියන අයගේ රැස්වීමක දී මුලසුනේ සිටි මහින්ද ඊනියා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා සම්බන්ධීකාරක ලෙස තිස්ස විතාරණ පත් කර තියෙනවා. මහින්ද කියා ඇත්තේ තිස්ස විතාරණ ල ස ස පාක්‍ෂිකයකු ලෙස දැරූ ස්ථාවරයත් සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනය එකඟත්වයකට ගෙන එමට සමත් වූ නිසාත් එසේ පත් කිරීම සුදසු ය කියා. තිස්ස විතාරණ සමසමාජ පාක්‍ෂිකයකු බව ඇත්ත නමුත් දෙවැන්න සම්බන්ධයෙන් එවැන්නක් කියන්න බැහැ. 

මට මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන ජාතික ප්‍රශ්නය කුමක් ද? මහින්ද හරි තිස්ස විතාරණ හරි මට එය පැහැදිලි කර දෙනවා ද? දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? අසාධාරණය කුමක් ද? දශක තුනක් තිස්සේ අසන ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොමැතිව ඊනියා ජාතික ප්‍රශ්නයකට විසඳුම් සොයන්නේ කෙසේ ද?”

“තිස්ස විතාරණ සම්බන්ධිකාරක කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙමළ කතාකරන ජනයාගේ ඡන්දවලට වඩා සිංහල ඡන්ද අඩුවෙන්න පුළුවන්. තිස්ස විතාරණ ගැන මාක්ස්වාදීන් යැයි කියා ගන්නවුන් හැරෙන්න අනෙක් සිංහලයන්ට ඇති විශ්වාසය කුමක් ද? අද සජිත් ප්‍රේමදාසත් සිංහල බෞද්ධකමක් ගැන කියනවා. ඒ ජාතිකත්වයක් නැතිව. පොහොට්ටුව ජාතිකත්වයක් ඇති ගෝඨාභය සිරකරුවකු කර ගනිමින් ඉන්නවා.”

“මහින්දගේ නායකත්වයෙන් පවත්වන ලද රැස්වීමේ ගත් තීරණ ගෝඨාභයට අදාළ නොවිය යුතුයි. ගෝඨාභය ඒ පක්‍ෂ නායකයන්ගේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නො වෙයි. පොහොට්ටුවේ ඇතැමුන්ට ගෝඨාභය තම සිරකරුවකු කර ගැනීමට ඉඩ නොදිය යුතුයි. තිස්ස විතාරණ හා පොහොට්ටුවේ අය මගේ ලිපි කියවා නැත්නම් අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, දෙමළ ජාතිවාදයට එරෙහිව, මාක්සවාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියවීමෙන් පසු මේ ලිපියට ප්‍රතිචාර දක්වනවා නම් හොඳයි.”  

මා නැවතත් කියනවා ගෝඨාභය පොහොට්ටුවේ සිරකරුවකු කර ගැනීමට ඉඩ නොදිය යුතු බව. සජිත්ටත් වඩා කරුණාරත්න ජයසූරිය බෞද්ධ උපාසකයකු ලෙස සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේ පෙනී සිටීවි. තිස්ස විතාරණ දෙමළ ජාතිවාදී නායකයන්ට දෙන කප්පන් පිළිගන්නා අයකු ලෙස ගෝඨාභය ජනතාවට පෙනී යන්නට අප ඉඩ දෙනවා ද? නැත්නම් තිස්ස විතාරණ ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරේ පිළිකන්නේ ඉන්න පුද්ගලයකු බවට පත් කරනවා ද?