Main Logo

Sunday 25 August 2019

ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්

    සිංහල ලිත් ඉලක්කම් 


ජාතික අපේක්‍ෂකයා, තිස්ස විතාරණ හා ඊනියා ස්මාට් ජාතිකවාදීන්


ගෝඨාභය පක්‍ෂයක අපේක්‍ෂකයා නොව ජාතික අපේක්‍ෂකයා බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒත් මෙතැන දි ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ජාතිය කියන්නෙ මොකක් ද කියන එක. සිංහලෙන් ජාතිය කියන නාමය විවිධ දේට යොදා ගන්නා. කුලයටත් ජාතිය කියල කියනවා. කාරෙකේ ජාතිය මොකක් ද කියල අහනවා. රට ජාතිය ආගම කියලත් කියනවා. 


ලෝකයේ ඉපැරණි ම ජාතීන් දෙක සිංහල හා චීන. එහෙම කිව්වම බටහිර සංකල්පවලට එහා යමක් ඇති බව විශ්වාස නොකරන පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන්  කියනව ජාතිය ජාතික රාජ්‍යය වගේ සංකල්ප යුරෝපයේත් ඇති වුණේ ඉතා මෑතක දි කියල. මෙහි වැදගත් වන්නෙ යුරෝපයේත් කියන වචනය. පඬියන්ට අනුව යුරෝපයේ තමයි ඉස්සෙල්ල ම ඊනියා නූතන සංකල්ප බිහි වෙන්න ඕන. 

ජාතියකට නිශ්චිත භූමි ප්‍රදේශයක්, එහි රාජ්‍යයක්, ජනතාවගේ ජීවන ක්‍රමයක්, ජනතාව රාජ්‍යයට අවනත වීමක් ආදී කරුණු කිහිපයක් තියෙන්න ඕන. අද ඉන්දියාව කියන ප්‍රදේශයේ ජාතියක් ඇති කෙළේ ඉංගිරිසින්. ඔවුන් තමයි එරට ඇති කෙළෙත්. එතෙක් තිබුණේ විවිධ භාෂා කතා කරන වාංශික රාජ්‍ය. වාංශික රාජ්‍යවලට නිශ්චිත භූමියක් තිබුණෙ නැහැ. එමෙන් ම රාජ්‍යයක විවිධ භාෂා කතා කරන ජනයා වාසය කළා. චේර චෝළ පාණ්ඩ්‍ය, පල්ලව, විජයනගර් පමණක් නොව පාඨලීපුත්‍ර නගරය මුල් කර ගත් මෞර්ය රාජ්‍යයත් වාංශික රාජ්‍ය. මේ රාජ්‍යවල දේශ සීමා නිරන්තරයෙන් වෙනස් වුණා. මේ රාජ්‍ය හැම එකක් ම අපට බලපෑම් කළා. එහෙත් අපේ ජාතියවත් රාජ්‍යයවත් වෙනස් කරන්න බැරි වුණා. 

මෞර්ය වාංශිකයො පල්ලව රාජ්‍යයේත් හිටියා. ධාතුසේන රජුගෙ පියා ඒ පල්ලව රාජ්‍යයෙන් පැමිණි මෞර්යයෙක්. ඔහු මහානාම රජුගේ දියණිය සංඝා කුමරිය සමග විවාහ වුණා. ඔවුන්ගේ පුතා ධාතුසේන. මහාවංසයේ Nayakka නූණත් ධාතුසේන රජු මෞර්ය පෙළපත ආරම්භ කෙළේ එහෙමයි. මෙරටත් විවිධ වාංශිකයන් රජ කර තිබෙනවා. මෞර්ය විතරක් නොවෙයි ලම්බකර්ණ නාග සිංහ අවසාන වශයෙන් නායක්කාර් වාංශිකයනුත් මෙරට රජකමට පත් වී තිබෙනවා. ඒත් ඔවුන් රජ කෙළේ සිංහල රජවරුන්, සිංහල රාජ්‍යයේ රජවරුන් වශයෙන් මිස පල්ලව වැනි වාංශික රජවරුන් වශයෙන් නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යය පලමු වරට නිශ්චිත භූමියක දිවයිනට ම බලපාන අයුරින් පිහිටෙව්වෙ ගැමුණු රජු. එතුමා තමයි මෙරට අද භාෂාවෙන් නම් ජාතික රාජ්‍යය ඇති කෙළේ. 

එංගලන්තයෙ ජාතික රාජ්‍යයක් ඇති වුණෙ මෑතක. ඒත් එහි ඉන් පසුව ටියුඩර් ස්ටුවර්ට් ආදී වාංශිකයන් රජ කළා. පසුව හැනෝවර් වාංශිකයන් රජ කළා. එය ජර්මන් සම්භවයක් ඇති වංශයක්. එහි අවසානයේ වික්ටෝරියා රජ කළා. ඉන්පසු වින්ඩ්සර් වංශය බලයට පත් වුණා. එහි නම වින්ඩ්සර් වූයේ 1917. අදත් ඉන්නේ වින්ඩ්සර් වාංශිකයන්. ඒත් ඔවන් ඉංගිරිසි රජවරුන් මිස වාංශික රජවරුන් නොවෙයි. ලංකාවේ දෙමළ නායක්කාර් රජවරුන් ගැන කතා කරන පඬියන් එංගලන්තයේ ජර්මන් වින්ඩ්සර් රජවරුන් ගැන කතා කරන්නේ නැහැ. 

මා මේ සියල්ලෙන් කියන්නේ ලංකාවේ සිංහල ජාතිය හා සිංහල බෞද්ධ රාජ්‍යය මුළු දිවයින පුරා ගැමුණු රජු දවස සිට තිබූ බව කියන්නයි. එකල ලංකාවට පැමිණි ශාක්‍යයන් ද පල්ලවයන් ද, මෞර්යයන් ද, චේරයන් ද පාණ්ඩ්‍යයන් ද ආදී පිරිස් යථා කාලයේ දී සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වුණා.  විජයනගර් රාජ්‍යයේ ආන්ද්‍ර ප්‍රදේශයෙන් පැමිණි අරිට්ටකි වෙණ්ඩුලා ද සිංහල වුණා. අරිට්ටකි වෙණ්ඩු ජයවීර බණ්ඩාර වුණා.  දහහතරවැනි සියවසේ පැමිණි මුස්ලිමුන්ට ද සිංහල රජවරු සිංහල වාසගම් දුන්නා. අදත් සිංහල වාසගම් ඇති මුස්ලිමුන් විවිධ පළාත්වල ඉන්නවා. 

මෙරට ජාතිය ගොඩ නැගීමක් ගැන බටහිර මතවාද අනුගමනය කරන පඬියන් කතා කරනවා. ඒ එංගලන්තයේ ඇහින් බලලා. මෙරට අමුතුවෙන් ජාතියක් ගොඩ නගන්න නැහැ. ජාතිය ගොඩ නැගුණේ ගැමුණු රජු දවස. අද කරන්න ඇත්තේ දෙමළ කතා කරන ජනයා හා මුස්ලිම් ජනයා මේ ජාතියට එකතු කර ගැනීමයි. එහි දී ඔවුන්ගේ ආගම් භාෂාව රැක ගනිමින් ඒ කළ යුතුයි. මෙරට තබා ලෝකයේ කොහේවත් කිසි දා දෙමළ රාජ්‍යයක් තිබී නැහැ. චෝළ වාංශික රාජ්‍යයක් කියන්නේ දෙමළ රාජ්‍යයකට නො වෙයි. ලංකාවේ නොව ලෝකයේ කොහේවත් දෙමළ ජාතියක්වත් තිබී නැහැ. මෙරට නම් දෙමළ ජන වර්ගයක්වත් නැහැ. දෙමළ කතා කරන ජනයා නම් ඉන්නවා. මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන බැතිමතුන්. ඔවුනුත් ජනවර්ගයයක්වත් නො වෙයි. දේශපාලනඥයන් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් ගැන කියන්නේ ඔවුන්ගේ සුපුරුදු මුග්ධභාවය ප්‍රකාශ කරමින්. 

ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා වන්නේ ඊනියා සිංහල දෙමළ මුස්ලිම් ජාතීන්ගේ අපේක්‍ෂකයා වශයෙන් නො වෙයි. ඔහු මෙරට ජාතිකත්වයේ අපේක්‍ෂකයා. ඒ කියන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වයේ අපේක්‍ෂකයා. ගොඩ නැගෙන සිංහල බෞද්ධ රාජ්‍යයේ අපේක්‍ෂකයා. සියල්ලන්ට සිංහල බෞද්ධ ධජය සෙවනේ තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතා ආරක්‍ෂා කරමින් ජීවත් වීමට සලස්වන අපේක්‍ෂකයා. දෙමළ කතා කරන ජනයා හා ඉස්ලාම් ආගම අදහන බැතිමතුන් තම අනන්‍යතා ආරක්‍ෂා කරමින් සිංහල ජාතියට එකතු කරන අපේක්‍ෂකයා. 

අද තිස්ස විතාරණ පත් කර තියෙනවා දෙමළ පක්‍ෂ හා මුස්ලිම් පක්‍ෂ සමග කටයුතු කරන ජාතික හා වාම කඳවුරේ නියෝජිතයා ලෙස. සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයේ එකඟත්වයකට ගෙනා තැනැත්තා ලෙස ඔහු නම් කෙරී තියෙනවා. ඒ සමුළුවේ පැමිණි එකඟත්වය කුමක් දැයි තිස්ස විතාරණට හරි වෙනත් කාට හරි කියන්න පුළුවන් ද? මා ඒ ගැන ලියා තියෙනවා. ඕනෑම අයකුට ඒ ලිපි නැවත කියවන්න පුළුවන්. ඉතා කෙටියෙන් කියනවා නම් පැමිණි එකඟත්වය උතුරු පළාතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් දහතුනේ හා පළාත් සභා පනතේ එතෙක් ක්‍රියත්මක ව ඇති කරුණු පමණක් ක්‍රියත්මක කිරීමටත්. ඉතා පැහැදිලිව ම පනතෙන්  පළාත් සභාවලට දී ඇති ඉඩම් හා පොලිස් බලතල  ක්‍රියාත්මක නොකිරීමටයි එකඟත්වය. ඒ තාක් තබා මේ තාක් වත් ඒ බලතල ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙතෙක් සිටි කිසිම ජනාධිපතිවරයෙක් ඒ ක්‍රියාත්මක කෙළේ නැහැ. 

තිස්ස විතාරණ ලවා දහතුන හා පළාත් සභා පනත මුළුමනින් ම ක්‍රියාත්මක කරවීමට දෙමළ කතාකරන පක්‍ෂවල නායකයන්ට පොරොන්දුවක් දුන්නොත් මා එයට විරුද්ධ වෙනවා. මගේ විරුද්ධත්වය නිසා ඡන්ද නැතිවන එකක් නැහැ. ඒ නිසා ඒ විරුද්ධත්වය ගණන් ගන්න එකක් නැහැ. අප ගෝඨාභයට පක්‍ෂ වන්නේ ඔහු ලවා පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලට දීමට නො වෙයි. තිස්ස විතාරණ හා දෙමළ පක්‍ෂවල නායකයන් නැතිව දෙමළ කතා කරන ජනයාගේ ඡන්ද ගෝඨාභයට දිනා ගන්න පුළුවන්. තිස්ස විතාරණ ලවා දෙමළ ජාතිවාදී පක්‍ෂවල නායකයන්ට කප්පන් දෙන්න ද සූදානම. අද කතෝලික ජනතාව තම ආගමික අනන්‍යතාව ආරක්‍ෂා කර ගනිමින් සිංහල බෞද්ධ ධජය සෙවනේ ජීවත් වීමට සුදානම්. දෙමළ කතා කරන ජනයා ද වැඩි කල් නොගොස් ඒ ස්ථාවරයට පැමිණේවි. සිංහල බෞද්ධයන් ගැන විශ්වාසයක් නැති ඊනියා ස්මාට් ජාතිකවාදීන්ට ජාතික අපේක්‍ෂකයා වූ ගෝඨාභය යටවෙන වා ද? සිංහලයන් ගෝඨාභය වටා එක් වන්නේ ජාතික ව්‍යාපාරය පාවා දීමට නොවන බව ඊනියා ස්මාට් ජාතිකවාදීන් මතක තබා ගත යුතුයි.