Main Logo

Monday, 26 August 2019

තිස්ස විතාරණ හා ගෝඨාභය

             සිංහල ලිත් ඉලක්කම්


තිස්ස විතාරණ හා ගෝඨාභය



ගෝඨාභය ජනාධිපතිධුර අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කෙරුණේ මහා සංඝයා වහන්සේ හා ජනතාව විසින් මිස පොහොට්ටුවෙන්වත් මෙරට මාක්ස්වාදී පක්‍ෂවලින්වත් නො වේ. ඒ පක්‍ෂ මුල දී ගෝඨාභයට කැමැත්තක් දැක්වූයේ නැහැ.  එහෙත් අද ඒ පක්‍ෂ ඔහු වටා රොක් වෙලා.  ඔහු ක්‍රමයෙන් පොහොට්ටුවේ සිරකරුවකු බවට පත්වෙමින් ඉන්නවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ගෝඨාභය තමාගේ තීරණය නොව ජනතාවගේ තීරණය බව ය. එහෙත් මේ සති දෙකට ජනතාව ඉන්නේ කොහේ ද?


පොහොට්ටුවේ ඉන්නා මට විරුද්ධ අය දැන් පරණ කතා ඇද ගනීවි. මා ගෝඨාභයට විරුද්ධ බව කියාවි. මා සිරිසේනට පක්‍ෂ යැයි කියාවි. මා සිරිජාතිකවාදියකු බව කියාවි. මා දේශපාලනය නොතේරෙන අඳ බාලයකු බව කියාවි. මා අන්තවාදියකු බව කියාවි. මා විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන, දෙවියන් විශ්වාස කරන මිථ්‍යා මතධාරියකු බව කියාවි. ඒ කිසිවක් මට ප්‍රශ්න නො වෙයි. ඔය කියන බොහෝ දෙනා විවිධ හේතු මත ගෝඨාභයට විරුද්ධ වද්දී  මා ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියා. එසේ කෙළේ මා ජාතිකවාදියකු, පනස්හයේ දරුවකු නිසා.

මීට වසර තිහකට පෙර පළමු බණ්ඩාරනායක ගුණසමරු දේශනය පනස්හයේ දරුවෝ යන මැයෙන් පැවැත්වූයේ මා බව එකල බණ්ඩාරනායක ගුණානුස්මරණ කමිටුවේ සභාපති වූ මහින්දට මතක ඇති. ඒ භීෂණ දිනවල ශ්‍රී ල නි පක්‍ෂය අමාරු කාලයක් ගෙවද්දී සමරු දේශනය පැවැත්වීමට කමිටුවට මට වඩා සම්භාවනීය දේශකයකු සොයා ගැනීමට බැරි වූ නිසයි මට ආරාධනය කෙරුණේ. මගේ ඇති සම්භාවනීයත්වයක් නැහැ. බැරිවෙලාවත් තව දින කිහිපයකින් සැප්තැම්බර් විසිහයවැනි දා හැට වෙනි බණ්ඩාරනායක සමරු දිනයේ දේශනයක් පැවැත්වීමට තීරණය කළහොත් ඒ සඳහා දේශකයකු සොයා ගැනීම නම් අපහසු වෙන එකක් නැහැ. 

මා ගෝඨාභයට ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ වන්නේ ඔහුගේ ජාතිකත්වය නිසා. පොහොට්ටුවේ නායකයන් කී දෙනකුට ජාතිකත්වයක් තියෙනවා ද? මෙරට දේශපාලනයේ අවාසනාව එයයි. කිසිම ජාතිකත්වයක් නැති අය එහි නායකත්වයේ දකින්න පුළුවන්.  ජනතාව ඉල්ලන දේ පක්‍ෂවලින් ලැබෙන්නේ නැහැ. භික්‍ෂූන් වහන්සේට හා ජනතාවට අවශ්‍ය ජාතිකවාදී නායකයෙක්. එහෙත් පක්‍ෂ දේශපාලනයේ ඉන්න ජාතිකත්වයක් නැති පිරිස් තම බලය උපයෝගී කරගෙන ඒ ජාතිකවාදී නායකයා තම සිරකරුවකු බවට පත් පත් කරමින් ඉන්නවා. 

තිස්ස විතාරණ කියන්නේ කිසිදා වලංගු නොවූ මාක්ස්වාදයක් ගුරු කොට ගන්නා පක්‍ෂයක නායකයෙක්. ඒ පක්‍ෂයට අද රටේ බලයක් නැහැ. තිස්ස විතාරණ මැතිවරණයකට ඉදිරිපත් වුණොත්  අද තිබෙන වාසි සහගත තත්වයේ වුවත් මනාප ලබා මන්ත්‍රීවරයකු වන්න බැහැ. ඔහු ජාතිකත්වයක් නැති ඊනියා කම්කරු පංති නායකයෙක්. 

ඔහු සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයේ රැස්වීම්වල මුලසුන දැරුවා. එහි සභාපති කෙනකු සිටියේ නැහැ. මුලසුන දැරීම හා ධුරයක් ලෙස සභාපතිත්වය දැරීම කියන්නේ දෙකක්. එකල ඔහු සිටියේ දහතුන හා පළාත් සභා කිසිම අඩුවක් පාඩුවක් නැතිව ක්‍රියත්මක කරන ස්ථාවරයක. අදත් එහි වෙනසක් වී නැහැ. 

මා හිටියේ වෙනත් ස්ථාවරයක. වරක් ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට ක්‍රියත්මක කිරීමට සැලසීම පිළිබඳ සාකච්ඡාවක දී මාත් උදය ගම්මන්පිළත් හැරෙන්න අනෙක් සියල්ලන් සිටියේ තිස්ස විතාරණ සමග. ඒ ප්‍රශ්නය කෙතරම් දුර දිග ගියා ද කිවහොත් සර්ව පාක්‍ෂික නියෝජිත සම්මේලනය අරලියගහ මැඳුරේ දී මහින්දත් පක්‍ෂ නායකයනුත් සමග හමුවුණා. මට මතකයි එදා ඇතැම් ඇමතිවරු අපට විරුද්ධ මතයක් දරපු බව. ඉන් එක් අයකු මට නොබැන්නා විතරයි. පසුව ඔහු ඊනියා යහපාලනයට ගියා. එහෙත් අවසානයේ දී මහින්ද එකී බලතල පළාත් සභාවලට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමට එකඟ වුණා. ඒ බව මහින්දටත් තිස්ස විතාරණටත් එදින රැස්වීමට සහභාගි වූ පක්‍ෂ නායකයන්ටත් මතක ඇති. ඒ සම්මේලනයෙන් කිසිම අවසාන වාර්තාවක් ඉදිරිපත් වුණේ නැහැ. එබැවින් සම්මෙලනය එකඟතාවකට පැමිණියේ යැයි කීම සත්‍යයක් නො වෙයි. 

ඊයේ සන්ඩේ අයිලන්ඩ් පුවත්පතට අනුව පසුගිය දා පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් හා දෙමළ කතාකරන ජනතාවගේ ප්‍රගතිශීලි නායකයන් යැයි කියන අයගේ රැස්වීමක දී මුලසුනේ සිටි මහින්ද ඊනියා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා සම්බන්ධීකාරක ලෙස තිස්ස විතාරණ පත් කර තියෙනවා. මහින්ද කියා ඇත්තේ තිස්ස විතාරණ ල ස ස පාක්‍ෂිකයකු ලෙස දැරූ ස්ථාවරයත් සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනය එකඟත්වයකට ගෙන එමට සමත් වූ නිසාත් එසේ පත් කිරීම සුදසු ය කියා. තිස්ස විතාරණ සමසමාජ පාක්‍ෂිකයකු බව ඇත්ත නමුත් දෙවැන්න සම්බන්ධයෙන් එවැන්නක් කියන්න බැහැ. 

මට මූලික ප්‍රශ්නයක් තියෙනවා. ඔය කියන ජාතික ප්‍රශ්නය කුමක් ද? මහින්ද හරි තිස්ස විතාරණ හරි මට එය පැහැදිලි කර දෙනවා ද? දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා පමණක් ඇති ප්‍රශ්නය කුමක් ද? අසාධාරණය කුමක් ද? දශක තුනක් තිස්සේ අසන ඒ ප්‍රශ්නයට පිළිතුරක් නොමැතිව ඊනියා ජාතික ප්‍රශ්නයකට විසඳුම් සොයන්නේ කෙසේ ද?

පසුගිය දා ජාතික ව්‍යාපාරයේ  අය බැසිල් සමග ගෝඨාභය හමු වු අවස්ථාවේ දී මට තේරුණ විධියට එහි සිටි වැඩි දෙනාගේ මතය වූයේ එවැනි ප්‍රශ්නයක් නැති බවත් එහෙත් ඒ එ දිස්ත්‍රික්කය අනුව වැසියන්ට තමන්ට ආවේණික ප්‍රශ්න ඇති බවත් ඒ විසඳීමට නම් ක්‍රියා කළ යුතු බවත්.

යාපනය දිස්ත්‍රික්කයේ වැසියන්ගේ ප්‍රශ්න මොණරාගල දිස්ත්‍රික්කයේ වැසියන්ගේ ප්‍රශ්නවලින් වෙනස්. ඒ ප්‍රශ්න කොළඹ වනාතමුල්ලේ වැසියන්ගේ ප්‍රශ්නවලින් වෙනස්. ඒ ඒ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම යනු ඊනියා ජාතික ප්‍රශ්නයකට විසඳුම් සෙවීම නො වේ. තිස්ස විතාරණගේ සම්බන්ධීකාරකකම නැති ප්‍රශ්නයක් නැවත ඉදිරිපත් කර කිසි දිනෙක වලංගු නොවූ මාක්ස්වාදයකට තැනක් ලබා දීමක් පමණයි. ජාතියක් නැතැයි කියන මාක්ස්වාදීන් දෙමළ ජනයාගේ ප්‍රශ්නයක් ගැන කතා කිරීම ම විසංවාදයක්. තිස්ස විතාරණ පංති සටනින් පැරදී මහින්දගේ පිහිටෙන් ඊනියා දෙමළ ජාතික සටනට ඇවිත් ද? 

අද ඇතැම් දේශපාලන විචාරකයන්  කියන්නේ සිංහල ඡන්දවලින් පමණක් දිනන්න බැරි බවයි. සිංහලයන් 75%ක් සිටින රටේ ඒ අයගේ ඡන්දවලින් 66%ක් ගත්තොත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා සිංහල ජනතාවට කෙළින් ම ආමන්ත්‍රණය කරන්න ඕන. උගුරට හොරා බෙහෙත් කා ඒ වැඩේ කරන්න බැහැ. තිස්ස විතාරණ සම්බන්ධිකාරක කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙමළ කතාකරන ජනයාගේ ඡන්දවලට වඩා සිංහල ඡන්ද අඩුවෙන්න පුළුවන්. තිස්ස විතාරණ ගැන මාක්ස්වාදීන් යැයි කියා ගන්නවුන් හැරෙන්න අනෙක් සිංහලයන්ට ඇති විශ්වාසය කුමක් ද? අද සජිත් ප්‍රේමදාසත් සිංහල බෞද්ධකමක් ගැන කියනවා. ඒ ජාතිකත්වයක් නැතිව. පොහොට්ටුව ජාතිකත්වයක් ඇති ගෝඨාභය සිරකරුවකු කර ගනිමින් ඉන්නවා.

මා කියන්නේ දෙමළ කතාකරන ජනයාගේ ඡන්ද අනවශ්‍ය බව නො වෙයි. මුස්ලිම් ඡන්ද නම් ගෝඨාභයට 25%ක්වත් ලැබෙන එකක් නැහැ. එහෙත් ප්‍රභාකරන්ගෙන් දෙමළ කතා කරන ජනයා බේරාගත් තැනැත්තා හැටියට ඔහුට දෙමළ කතා කරන ජනයාගෙන් ඊට වඩා විශාල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න පුළුවන්. 

ඒ ඊනියා ජාතික ප්‍රශ්නයක් ගැන කතා කිරීමෙන් නො වෙයි. උතුරු පළාතේ විසියන්ගේ ගොවිතැන, අධ්‍යාපනය, රැකියා ප්‍රශ්නය, ආරක්‍ෂාව, ජීවන වියදම  ආදිය ගැන කතා කිරීමෙන්. ඒ කළ යුත්තේ සෘජුව එකී ජනයා සමග සම්බන්ධ වීමෙන්. ඒ සඳහා ඒ ප්‍රදේශවල සම්බන්ධකම් නැති නිසා දැන් ක්‍රියත්මක වීමට බැරි නම් පමණක් ඇතැම් දෙමළ කතා කරන නායකයන් හමු වූවාට වරදක් නැහැ. එහෙත් තිස්ස විතාරණ ඊනියා සම්බන්ධිකාරක ලෙස තබා ගෙන නො වෙයි. ඔහුට දෙමළ කතා කරන ජනතාව සම්බන්ධ කරන්න බැහැ. ඔහුගේ සම්බන්ධකාරීකම පක්‍ෂ කිහිපයක නායකයන් හා සමසමාජ පාක්‍ෂිකයන් අතළොස්සක් සම්බන්ධ කිරීම පමණයි.  ඔහු ඉන්පසු සුපුරුදු පරිදි කප්පන් ලැයිස්තුව ඉදිරිපත් කරාවි. 

ජාතිකත්වයේ භික්‍ෂූන් වහන්සේ හා ජනතාව තිස්ස විතාරණ පත් කිරීම ගැන සතුටු වන්නේ නැහැ. මා කියන දේ වැරදි නම් ජාතික ව්‍යාපාරයේ අය මට ඒ බව දන්වන්න. කොහොමටත් ජාතික ව්‍යාපාරයේ බොහෝ දෙනා විසින් කොන්කර ලැබ සිටින මා එවිට ජාතික ව්‍යාපාරයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වී නිරීක්‍ෂකයකු පමණක් වන්නම්. ඒත් මදි නම් ඇස් කන් නැතිවාක් සේ ඉන්නම්. මා නිසා ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට කිසිදු හානියක් සිදු විය යුතු නැහැ.  කොබ්බෑකඩුවට උතුරෙන් ඡන්ද ලැබුණේ ඔවුන්ගේ නිෂ්පාදනවලට සතුටුදායක මිළක් ලැබෙන්න සැලැස්වීම නිසා මිස ඊනියා ජාතික ප්‍රශ්නයක් ගැන කතා කළ නිසා නොවන බව අවධාරණය කළ යුතුයිි. 

මහින්දගේ නායකත්වයෙන් පවත්වන ලද රැස්වීමේ ගත් තීරණ ගෝඨාභයට අදාළ නොවිය යුතුයි. ගෝඨාභය ඒ පක්‍ෂ නායකයන්ගේ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නො වෙයි. පොහොට්ටුවේ ඇතැමුන්ට ගෝඨාභය තම සිරකරුවකු කර ගැනීමට ඉඩ නොදිය යුතුයි. තිස්ස විතාරණ හා පොහොට්ටුවේ අය මගේ ලිපි කියවා නැත්නම් අඩු තරමෙන් ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, දෙමළ ජාතිවාදයට එරෙහිව, මාක්සවාදයේ දරිද්‍රතාව හා අපෝහකයේ රූපිකය කියවීමෙන් පසු මේ ලිපියට ප්‍රතිචාර දක්වනවා නම් හොඳයි.