Main Logo

Wednesday 7 August 2019

කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු


සිංහල ලිත් ඉලක්කම්


කඩු කිණිසි, සරත් ෆොන්සේකා, රනිල් හා ඇමතිවරු  


හජ්ජි උත්සවය සඳහා මුස්ලිම් පල්ලිවල තිබූ කඩු කිණිසි ආදිය ආපහු භාරදීලා. මාඝාත නමින් නීතියක් තිබූ රටක සත්ව ඝාතනය රජයේ අනුදැනුම ඇතුව කරන එකක් බවට පත්වෙලා. බොහෝ දෙනකු දන්නේ නැතිව ඇති මාඝාත කියන්නෙ මොකක් ද කියලා. දන්නෙ නැති අය හොයල බලන්න. මා කියන්න යන්නෙ නැහැ. මෙරට බෞද්ධයන් කුකුල් මස් කන හැටියට මුස්ලිමුන්ට කුකුළන් මැරීමටත් ආයුධ සපයන්න ඕන. අද රටේ පවතින තත්වයට පළමුව වරද පටවන්නෙ ඕන බෞද්ධයන්ට හා මුස්ලිම් ඡන්ද පෙරේතයන් වූ ඔවුන්ගේ දේශපාලනඥයන්ට. බද්‍යුද්දීන් කියා තිබුණා ඔවුන් දිනන පැත්තට කියා. ඔහු ඕනෑම ආණ්ඩුවක ඇමතිවරයෙක්. හිස්බුල්ලා කගේත් බුල්ලා. 
  
මේ අතර කටුවපිටියෙ සුරුවමකට කවුද පහර දීලා. ඒ කවුද කියල පොලීසිය තවම හොයා ගෙන නැහැ. පොලීසියට හොයා ගන්න බැරි වුණොත් අපට කියන්න පුළුවන් වේවි ඒ කාගෙ අනුදැනුමක් ඇතිව කෙරුණක් ද කියා. අද සිංහලයන් ලවා කලබල ඇති කරවීමට ඇතැමුන්ට අවශ්‍යතාවක් තියෙනවා. සිංහල බෞද්ධයන් හා සිංහල කතෝලිකයන් ඉතා පරෙස්සමෙන් ඉවසිල්ලෙන් කටයුතු කරන්න ඕන. 

බේරීම් කමිටවට ඊයේ රුවන් විජේවර්ධන, සාගල රත්නායක, රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිවරුන් වගේ ම රනිල් වික්‍රමසිංහ අගමැතිත් පැමිණියා. ඊයේ සරත් ෆොන්සේකා තමන් ප්‍රශ්න කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි කළා. ඔහු කලින් හොඳ ප්‍රශ්න ඇහුවා. අනෙක් අය තම පඬි බව හා ඇතැමුන් බේරීම වෙනුවෙන් වැඩ කරද්දී සරත් ෆොන්සේකා සිද්ධියට අදාළ ප්‍රශ්න ඇහුවා. එහෙත් ඊයේ ඔහු තම කඩතුරාව ඉවත් කර ගත්තා.

ඔහු ඇමතිවරුන්ගෙන් ඇසුවේ රාජ්‍ය ආරක්‍ෂාව, නීතිය හා සාමය පිළිබඳ ඒ අයට දැනුමක් ඇත් ද යන්නයි. සරත් ෆොන්සේකාට අවශ්‍ය වූයේ ඇමතිවරුන්ට අදාළ දැනුම නැති බව පෙන්වීමයි. ඒ දැනුම ඔහුට ඇති බව තමයි ඔහු ආධ්‍යාහරයෙන් කියන්න හැදුවෙ. 

ඔහුගේ ප්‍රශ්නයට රංජිත් මද්දුම බණ්ඩාර කදිම පිළිතුරක් දුන්නා. රංජිත් මද්දුම බණ්ඩාර කියා සිටියේ ඇමතිවරුන් ඒ ඒ විෂය ගැන දැනුමක් ඇත්තවුන් වීම අනිවාර්ය නොවන බවයි. සරත් ෆොන්සේකාට තමා දරණ, දැරූ ඇමති ධුර සම්බන්ධයෙන් දැනුමක් තිබුණාද තිබෙන්නේ ද කියා කිසිවකු ඇසුවේ නැහැ. එමෙන් ම කිසිවකු ඇසුවේ නැහැ ඔහු හමුදාපති ධුරය දරද්දී බෝම්බයක් බඩ බැඳ ගත් ත්‍රස්තවාදිනියක් ඔහුගේ කාර්යාලයට ම ඇතුල් වූයේ කෙසේ ද කියා. ඔහු නිසි පරිදි ආරක්‍ෂාව යොදා තිබුණේ  නැද්ද? 

සරත් ෆොන්සේකා ට කොටි පැරදවීම සම්බන්ධයෙන් විශාල ගෞරවයක් හිමි වන්න ඕන. ඒ ගැන සැකයක් නැහැ. සත්තකින් ම ඒ සම්බන්ධයෙන් ඔහුට ලැබෙන ගෞරවය මදි කියා මට හිතෙන්නෙ. ඔහුගේ සුදු කොඩි කතාව කිරි කළයට ගොම එකතු කළා වගෙයි. කෙසේ වුවත් සරත් ෆොන්සේකා ඇමතිවරුන්ගෙන් නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්න ඇසුවේ කුමකට ද? ඔහුට ඒ ඇමතිකම් තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වන්න තිබුණා ය කියන්න ද? 

ඇමතිවරුන්ට අමාත්‍යංශයට අදාළ විෂය පිලිබඳ දැනුමක් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය වන්නේ අමාත්‍යංශයේ නිලධාරීන් විමසා  දේශපාලන හා ප්‍රතිපත්ති  තීරණ ගැනීමට හැකි ඉවක් හා සාමාන්‍ය දැනුමක්. මෛත්‍රිපාලටවත් රනිල්ටවත් මහින්දටවත් බැසිල්ටවත් අදාළ විෂය ගැන දැනුමක් නැහැ. අනෙක් අතට නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වූ ජී එල් පීරිස්ට නීතිය හා සාමය ඇමති ධුරයේ කටයුතු කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා ද

බේරීම් කමිටුව රනිල්ගෙන් එතරම් ප්‍රශ්න ඇසුවේ නැහැ. නලින්ද ජයතිස්ස ජ වි පෙ එ ජා පක්‍ෂයට විරුද්ධ බව පෙන්වීමට බොරු ප්‍රශ්න ටිකක් ඇහුවා. ජනමාධ්‍යයට අනුව සරත් ෆොන්සේකා රනිල්ගෙන් වැදගත් ප්‍රශ්නයක් අසා නැහැ. රනිල් කියා සිටියේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ අංශ කිහිපයක් තිබෙන බවත් ඒ ඒ අංශ අතර සම්බන්ධීකරණයක් නැති බවත්. එයට වරද කරුවන් අගමැති හා ජනාධිපති.  ඔවුන්ගේ යුතුකම හා රාජකාරිය වූයේ ඒ සම්බන්ධකම ඇති කිරීම. එහෙත් බුද්ධි අංශ අඩපණ කළ රනිල්ගේ ආණ්ඩුවෙන් ඒ බලාපොරොත්තුවන්න බැහැ. 

ආරක්‍ෂක මණ්ඩලය 2019 පෙබරවාරියෙන් පසු රැස් නොවීමට තීරණයක් තිබූ බවක් රනිල් කියා සිටියේ ද? එය පැහැදිලි වූයේ නැහැ. කෙසේ වෙතත් ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහු නොකැඳවීම ඔහුට ප්‍රශ්නයක් වී නැහැ. ඔහු එය ප්‍රශ්න කෙළේ නැත්තේ පෙබරවාරියෙන් පසු රැස් නොවන මණ්ඩලයක් ගැන උනන්දුවක් දැක්වීමට අවශ්‍යතාවක් නොවී යැයි ඔහු සිතූ බැවින් ද? ජනමාධ්‍යයෙන් ප්‍රචාරය වූ කොටස්වලින් ඒ පැහැදිලි වූයේ නැහැ.

කෙසේ වෙතත් පොලිස්පති නියෝජ්‍ය පොලිස්පති වරයකුට යැවූ ලිපියක් අගමැති ආරක්‍ෂක අංශයට නොලැබුණු බවයි රනිල් කියා සිටියේ. එහෙත් එය පිළිගැනීමට අමාරුයි. ඒ ලිපිය විපක්‍ෂ නායක ආරක්‍ෂකයන්ටත් ලැබී තිබුණා. එසේ තිබිය දී එය අගමැති ආරක්‍ෂක අංශයට නොලැබුණේ ඇයි? අදාළ නියෝජ්‍ය පොලිස්පතිගෙන් ඒ ගැන විමසන්න ඕන. 

අගමැති මුළු අමාත්‍ය මණ්ඩලය ම පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කිරීමට වැළැක්වීමට නොහැකි වීම ගැන වගකිව යුතු යැයි කියා තිබෙනවා. එහෙත් එහි දී අගමැතිට හා ජනාධිපතිට ඇති වගකීම වැඩියි. ඔවුන් දෙදෙනාගේ කලක සිට තිබූ විරසකය, එහි දී රනිල් ඉවත් කිරීමට විපක්‍ෂය කටයුතු නොකිරීම, 113 හදා ගැනීමට විපක්‍ෂයේ වග කිවයුත්තන් කටයුතු නොකිරීම, ජ වි පෙ විශ්වාස භංගය ආදී බොහෝ කරුණු පාස්කු ප්‍රහාරය පසුපස තියෙනවා. ඒ සමග බටහිර හා සෞදි අරාබියේ ක්‍රියා කාරීත්වය, අයිසිස් සම්බන්ධය, බටහිරයන් අයිසිස් මෙහෙයවීම ආදිය ද තියෙනවා. බේරීම් කමිටුව රනිල්ගේ කමිටුවක්. රනිල්ගේ කමිටුවකින් බලාපොරොත්තු විය යුත්තේ කුමක් ද?