Main Logo

Friday 9 August 2019

දිව තුනේ දේශපාලනඥයෝ

      සිංහල ලිත් ඉලක්කම්



දිව තුනේ දේශපාලනඥයෝ


හිටපු ඇමති හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායක ඊයේ අවසන් ගමන් ගියා. ඩීල්දේශයේ (ඩීල්ලන්තයේ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් විශ්වාසයක් තබන්න පුළුවන් අය ඇත්තේ අතළොස්සක් පමණයි. සාලින්ද ඒ අතළොස්සට අයත් වුණා. ඔහුට රටේ දුක් විඳින්නන් ගැන කණගාටුවක් අනුකම්පාවක් තිබුණා. ඒ නිසා ම ඔහු මුල් කාලයේ යම් ආකාරයක වාමාංශික දේශපාලනයක යෙදුණා. ඔහු චන්ද්‍රිකා සමගත් දේශපාලනයේ යෙදුණා. එහෙත් මුහුකුරායත් ම පරිණතභාවයට පත්වීමත් සමග ඔහු ජාතිකත්වයට නැඹුරු වුණා. ජීවිතයේ අවසන් කාලයේ ඔහුට නිරෝගි සම්පත්තිය ලැබුණේ නැහැ. මට තේරෙණ අන්දමට ඔහු ප්‍රතිකාර ගැනීමට හිත හදා ගත්තේ නැහැ. අද සමහරුන් කියන්න හදනවා ඔහු දේශීය වෙදකමට නැඹුරු වූ නිසා රෝගය සුවපත් කර ගන්න බැරි වුණා කියා. එය පට්ටපල් බොරුවක් බව පවුලේ උදවිය දන්නවා. අපට සිටි අවංක කෘතවේදී දේශපාලනඥයකු (එවැන්නන් අතිශයින් දුර්ලභයි) සමු ගැනීම ගැන අපට ඇත්තේ ඉමහත් කණගාටුවක්. ඔහුට ඉක්මණින් ම සසර ගමන අවසන් කිරීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා. 


ඩීල්ලන්තය ගැන සිතත් සිතත් ම සිත් තැවුළක් මිස වෙන දෙයක් අත්වන්නේ නැහැ. අද ජාතිකත්වයේ පක්‍ෂ ඇත්තේ කිහිපයක් පමණයි. ඒවා ක්‍ෂුද්‍ර පක්‍ෂ නොවූවත් ඊනියා සුළු පක්‍ෂ. ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය මරා දමලා. එය මරා දැම්මේ මෛත්‍රිපාල නො වෙයි. දයාසිරිට මළවුන්ට පණ දෙන්න බැහැ. මෛත්‍රිපාල සමග ඊනියා යහපාලනයට ගිය අය දැන් පොහොට්ටුවට ගිහිල්ලා. තම ආසනය පැරදී ජනතාවගෙන් ප්‍රතික්‍ෂෙප වූ ඇතැමුන් මෛත්‍රිපාලගේ පිහිටෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගොස් අද පොහොට්ටුව හරි සුවඳ බව කියනවා. 

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කරන දේශපාලන පක්‍ෂ සමග සම්බන්ධකම් පවත්වන්නේ නැති බව බැසිල් කිවුවා. එහෙත් එය සාධාරණ ද කියා වැඩිකල් යත් ම ප්‍රශ්න කරාවි. සැක කළ පමණින් පුද්ගලයකු පක්‍ෂයක් වරදකරුවකු වනවා ද කියා ප්‍රශ්න කරන්න පුළුවන්. ගාමිණී සෙනරත් වංචා චෝදනාවකට සැ කෙරුණා. එහෙත් ඊයේ ඔහු නිදොස් කොට නිදහස් කෙරුණා. රිෂාඩ් බද්‍යුද්දීන් ද පොලීසිය විසින් නිදහස් කෙරුණු බව කියනවා. 

පොලීසියට නිදහස් කරන්න පුළුවන් ද කියා පඬියකුට අහන්න පුළුවන්. අධිකරණයෙන් තමයි යමකු නිදහස් කෙරෙන්නේ. එහෙත් බොහෝ විට පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන්නේ පොලීසියෙන්.  පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැතැයි පොලීසියට හැඟී ගියොත් මොකද කරන්නෙ. පොලීසිය යමකු නිදහස් කළාය යන්නෙන් කියැවෙන්නේ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තරම් සාක්‍ෂි නැති බවයි. අධිකරණයට ඉදිරිපත් කරන්න කලින් පොලීසියට වරදක් හා වරදකරුවකු පිළිබඳ ඒත්තු යන්න ඕන. රිෂාඩ් බද්‍යුද්දීන් වරදකරුවකු යැයි පොලීසියට ඒත්තු ගොස් නැහැ. පොහොට්ටුවට ඔහුවත් වර්ධරාජ පෙරුමාල්වත් ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. බද්‍යුද්දීන් කියනවා ඔහු ඉන්නේ දිනන පැත්තේ කියා. බැසිල් කියනවා ශ්‍රී ල නි ප පොහොට්ටුවත් සමග හිටියා ය කියා තමන් දිනන්නේවත් පොහොට්ටුව සමග නොසිටියා ය කියා පරදින්නේවත් නැති බව. ඒත් බද්‍යුද්දීන් කියන විධියට නම් ඔහු ඉන්න පැත්ත දිනනවා. ඔහුත් බැසිලුත් ගන්නා තීරණ ළඟදී ම දැනගන්න පුළුවන් වේවි. 

අනෙක් අතට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන් එය අධිකරණයේ දී ප්‍රතික්‍ෂෙප වන ආකාරයට. අවශ්‍ය නම් පැමිණිල්ල ප්‍රතිශෝධනය කරන්න පුළුවන්. අප නොදන්න බොහෝ දේ තිරය පිටුපස සිද්ධ වෙනවා. මේ ඩීල්ලන්තය. ඩීල්ලන්තයේ දේශපාලනඥයන් විරුද්ධ පක්‍ෂයේ අයත් ආරක්‍ෂා කරනවා. බල්ලො බලු මස් කන්නෙ නැහැ කියල ප්‍රසිද්ධ කියමනක් තියෙනවා.  ඩීල්ලන්තයෙ කොහොමටවත් කන්නෙ නැහැ. නඩු යන්නෝ වැනසෙන්නෝ ය කියා කතාවක් තියෙනවා. ඒත් සමහර නඩු යන්නෝ (වැටෙන්නෝ) දිනන්නෝය කියා ඒ කියමන ප්‍රතිශෝධනය කරන්න වෙනවා. 

බැසිල්ගේ ඊයේ මාධ්‍ය සාකච්ඡාව ඓතිහාසිකයි. පුළුවන් අය එය ආරක්‍ෂා කර ගන්න ඕන. බැසිල් කියා තිබුණා අපේ අවුරුදු දෙදහස් පන්සියක ඉතිහාසයේ මහින්ද තරම් මානව හිතවාදියකු හිටියේ නැහැ කියා. බැසිල් හදන්නේ ජනතාවට මහින්ද එපා කරවන්න ද? ඊනියා මානව හිතවාදය අවුරුදු සියයක් පමණ පැරණි සංකල්පයක් නිසා බැසිල් කිසිම බයක් නැතිව මහින්ද ගැන ඒ ප්‍රකාශය කළා ද? සංකල්පය නැතිව මානව හිතවාදීන් ඉන්න බැහැ කියා ඔහු තීරණය කළා ද? 

එය පැහැදිලි නැහැ. සංකල්පය තිබුණත් නැතත් මානව හිතවාදයක් මෙරට තිබුණා. එය සත්ව හිතවාදයක් දක්වා පුළුල් වූ මානව හිතවාදයක්. බුද්ධදාස රජතුමා අහක යන නයින්ට වෙදකම් කළා. එතුමා අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න ගියේ නැහැ. බණ්ඩාරනායක මැතිණිය ජ වි පෙ ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කළා. ඒ කාලෙ රනිල්දාස හිටියෙ නැති නිසා පුනරුත්ථාපනය කරන්න බැරි වෙලා. 

මෙරට මිනිසුන් තම නායකයන් කියන ඕන ම දෙයක් පිළිගන්න ලැහැස්ති වෙලා ඉන්නෙ. විචාරයක් නැහැ. සීගිරියෙ (සිහිගිරියෙ) ඇඟිලි තුනේ සිංහ රූපයක් තියෙනවා කියා අපි විශ්වාස කරනවා. ඒ ගජසිංහයකුගේ රූපයක් ද. ගුරුළකුගේ රූපයක් ද වෙනත් සත්වයකුගේ රූපයක් ද, එකල සිටි ඇඟිලි තුනේ ඇමතියකුගේ රූපයක් ද කියා සිතන්න අප පෙළඹෙන්නේ නැහැ. දිව තුනේ ඇමතියකු ඇඟිලි තුනකින් සංකේතවත් කිරීමට කසුබ් රජතුමා පෙළඹුණා ද? 

එව බලව සංස්කෘතියක සිටි අප එව නොබලව සංස්කෘතියකට යොමු වූයේ කවදා ද? සීගිරියෙන් පසුව ද? මහසෙන් රජුගෙන් පසුව ද? මහාවංසය ඇරඹෙන්නේ මහානාම හිමියන්ගේ මහාවංසය නැවතුණු තැනින් ද? එනම් මහසෙන් රජුගෙන් පසුව ද? දේශපාලනඥයන්ගේ කියුම් දණහිසෙන් නොව පා සුළැඟිල්ලෙන් උඩට ගත යුතු ද? සාලින්ද දිසානායක වැන්නන් නැතිකම අපට තදින් ම දැනෙනවා.