Main Logo

Sunday 10 July 2022

බටහිරින් පායපු ඉර

 

 

බටහිරින් පායපු ඉර

 

ඊයේ රෑ ලංකාවට අලුත් ඉරක් පෑවුවා. එය අත්ලන්තික් සාගරයේ බටහිරින් පෑවුවෙ. අපට බොහෝ කාලයක් ඉර පෑවුවෙ එකී සාගරයේ නැගෙනහිරින්. මින් පසු ඒ ඉර පායන්නෙ නැහැ. මට අර ඉර පායා ඉර පායා ගීතය මතක් වෙනවා. ගණදුරු මැදියම අරුණළු නම් මට දකින්න බැහැ. ඊයේ කොළඹ ආවේ උගත් ගැමි මධ්‍යම පාංතික තරුණයන්. තරුණියන් ද හිටියා. පොෂුන් හා පොෂියන් වැඩිය දැක්කෙ  නැහැ.  සමහරු තරුණ මව්වරු. ඔවුන් දරුවන් ද කැටුව ඉර පායනවා බලන්න ඇවිත් තිබුණා. අර පූජක තැන නම් කැපිල පෙණුනා. ඔහු අරගලගැති දේවගැතිවරයෙක්. 

 

ඊයේ පැවැත්වුණෙ ඊනියා සාමකාමි අරගලයක් නම් නො වෙයි. රාජීිත සේනාරත්නට පහර දී තියෙනවා. රනිල්ගෙ ගෙට ගිනි තියල. එතැන මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා තුන්දෙනකුට ආරක්‍ෂක අංශවලින් පහර දුන් බවයි කියැවෙන්නෙ. මැයි නවවැනි දා වගේ ම ඇතැම් නාළිකාවක් ඒ ගැන කියල සෙනග එතැනට ගෙන්වා ගෙන. ඉතිරි හරිය පළපුරුදු අය කර තියෙනවා. මේ වෙලාවෙ සාමකාමි අරගල හොයන්න එපා කියා පඬි නැට්ටකු කියන්න බැරි නැහැ. මාධ්‍යවේදීන්ට පහර දුන්න නම් හඳුන්නෙත්ති නියමය අනුව ප්‍රතිප්‍රහාරයක් ලැබෙනවා.

 

කොහොම කොහොම හරි ලංකා වසන්තය උදා වෙලා. ඔය වසන්ත කියන්නෙ බටහිරයන් තමන් කැමති නැති පාලකයන් ඒ ඒ රටවලින් ඉවත් කිරීම. සමහර විට ඉවත් කෙරෙන්නේ ඝාතනයෙන් වෙන්න පුළුවන්. ලංකාවේ දෙයියන්ගෙ පිහිටෙන් එහෙම දෙයක් වුණෙ නැහැ. සාමකාමී අරගලයක් තිබුණෙත් නැහැ. ඕ මයි ජීසස් කිවුවලු.

 

අපේ පරණ ඉර මෙන් ම අලුත් ඉරත් ඇංග්ලො සැක්සන් සංස්කෘතියෙ නිපැයුම්. කළු කුහරවල පින්තූර ගන්න එකේ ඉරක් නිර්මාණය කරන එක මොකක් ද? ඉන්දියාව මෙතැනදි අත නොදැම්මා නො වෙයි. අපට තෙල් ණයට දුන්නා. ඒත් අවසාන තුරුම්පු හරියට අදින්න බැරි වුණා. ඒත් ඉන්දියාව ආපසු යන එකක් නැහැ. විජයගෙ කාලෙ ඉඳන් ආපු අය බොහෝ දෙනෙක් ගියෙ නැහැ. කොහොමත් අප හා ඉන්දියාව අතර සංස්කෘතික සබඳතා ඉතා ගැඹුරට යනවා. සංසාර ගමන කෙළවර කිරීම වැනි තැන්වල දි අප එකිනෙකාගෙන් වෙනස් වෙනවා.

 

ඒත් අපි දැන් වැඩිපුර ඉන්නෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියෙ. මෙය වැදගත්. ක්‍රිස්තියානි ඉර පායා අප වෙනස් කරලා. ඊයො ආ පිරිසෙන් ඉතා වැඩි බහුතරය මා හිතන්නෙ අවුරුදු විස්ස තිස්පහ අතර කියා. ඔය වයස් පරාසය අති භයානකයි. ඇතැමුන් මැරෙන කම් ඉන්නෙ ඒ වයස් පරාසයෙ. ඔවුන් බොහෝ දෙනකු තක්කඩියන්. ඒ තක්කඩියන් සමහරු ඊයෙ විප්ලවයක් දැක්කා. මහාචාර්ය පඬි නැට්ටන් ද විප්ලව දැක්කා. විශේෂයෙන් ම දේශපාලන විද්‍යාව හා දේශපාලනය කරපු අය.

 

දැන් මේ විප්ලවයෙන් බලය මොන පංතියෙන් මොන පංතියට මාරු වුණා ද කියා ඔවුන් කියන්නෙ නැහැ. සමහර විට නිර්පාංතික විප්ලවයක් වෙන්න ඇති. අරික්කාල් මාක්ස්ල මොකද කියන්නෙ. කොහොමටත් මෙයට යොදා ගැණුනු තරුණයන් ගැන යමක් කියන්න ඕනෙ. ඔවුන් හිතනවා ඇති තමන් මෙහි දී යොදා නොගැණුනු බව. මේ තරුණයන් හිතන්නෙ තමන් කළ අරගලයක ප්‍රතිඵලයක් හැටියට ආණ්ඩු මාර වෙලා. සිස්ටම් චේන්ජ් වෙලා කියලා. මේ ඊනියා සිස්ටම් චේන්ජ නො වෙයි. ලංකා වසන්තය උදාවීමයි.

 

ඔය කියන සිස්ටම් චේන්ජ් වෙලා නම් නැහැ. ඉර අත්ලන්තික් සාගරයෙ එක් පැත්තකින් වෙනුවට අනෙක් පැත්තෙන් පායන එක පමණයි වෙලා තියෙන්නෙ. ඒක වුණෙ කොහොමද කියන එක පස්සෙ කතා කරන්න ඕනෙ. මා අහගෙන තරුණයන් කියනවා ජනාධිපති අගමැති විතරක් නො වෙයි ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් ද තානාපතිවරුන් සංස්ථා සභාපතිවරුන් ආදීන් ද අස්වෙන්න ඕන කියලා. හොඳ වෙලාවට මා රාජපක්‍ෂලාට කඩේ ගිහින් ලබා ගත් තානාපති තනතුරෙන් අස්වෙලා ආවෙ.     

 

ඒ තරුණයො කියනවා පාලනය තමන්ට භාර දෙන්න කියලා. ඔවුන් අගමැති ඇමති ආදී තනතුරු දරන්න සූදානම්. ජනාධිපතිකම ගන්නත් අය ඉන්නවා වෙන්න ඕන. ඒක කරන්න බැරි වැඩක් නො වෙයි. අපට යහපාලන කාලෙකුත් තිබුණ නෙ. ඒත් මේ තරුණයන් දැන ගන්න ඕන කාරණයක් තියෙනවා. ඔවුන්ට නියම කරල තිබුණ කාර්ය භාරය  දැන් ඉවරයි. දැන් ඉතින් ආපහු ගම් බිම් බලා යන එකයි තියෙන්නෙ. දැන් ඉතින් ජනාධිපති මන්දිරයෙදි නාගත්තත් එක්ක නිසා සියලු කාර්යය ඉවර කියා ගන්න පුළුවන්.

 

එතකොට අර සෙංකඩගල ප්‍රකාශය. කාදිනල්තුමා හා දෑගසවුවන් ඇතුළු මහා සවුවන් කිහිප දෙනකු දළදා මැදුර අබියස දැක ගන්න තරම් අප පුන්‍යවන්තයන් වුණා. ඒ ප්‍රකාශයට අත්සන් කළ අයගෙ අත්සන් ව්‍යාජ ද අව්‍යාජ ද කියල දැන ගන්න පුළුවන් නම් හොඳයි. ඒ සෙංකඩගල ප්‍රකාශය චම්පක වෙනුවෙන් බව පැහැදිලියි. අර ඊනියා අරගලකරුවන් සෙංකඩගල ප්‍රකාශය ගැන කියන්නෙ මොකක් ද?

 

ඊනියා අරගල තරුණයන් නිදහස් අධ්‍යාපනයෙන් බිහිවෙච්ච අය. ඔවුන් ඉත්තන් වුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේ දී සුභසාධන රාජ්‍යය අහෝසි වේවි. නිදහස් අධ්‍යාපනය කප්පාදු වේවි. තමන්ගෙ දරුවන්ට මුදල් ගෙවා ඉගැන්වීමට සිදුවෙන බැවින් මොකක් හරි රැකියාවක් හොයා ගන්න හරි තියෙන රැකියාව රැක ගන්න හරි කටයුතු කරන්න වේවි. ඔය අලුත් ඉර පායා තියෙන විට සිස්ටම් චේන්ජ් වෙලා තියෙන විට රැකියා සොයා ගැනීමට  දේශපාලනඥයන් හමුවීමට අවශ්‍ය නැද්ද? (මතු සම්බන්ධයි)