Main Logo

Friday 15 July 2022

ගෝඨාභයට යන්න වුණේ ඇයි

 

ගෝඨාභයට යන්න වුණේ ඇයි

 

රනිල් ජනාධිපති කරන්න නවවැනි දා කොළඹ එන්න කියා කී විට පඬි නැට්ටන් හිනහ වුණා. මේ සියල්ල සැලැස්මක් ඇතුව කළ බව කී විට කුමන්ත්‍රණ කතා කියන්න පටන් ගත්තා. කුමන්ත්‍රණයක් හා සැලැස්මක් අතර වෙනස නොදන්නා පඬි නැට්ටන් සකර්බර්ග් අනාථ කඳවුරේ සකර්බර්ග් සෙවණේ ඉන්නවා. බටහිරයන් විශේෂයෙන් ම ඇංග්ලො සංස්කෘතියෙ අය ඉතා හොඳ සැලසුම් කරුවො. එංගලන්තය වැනි පොඩි රටක් මුළු ලෝකයක් පාලනය කෙළෙ සැලැස්මක් ඇතුව මිසක් හමුදා බලයෙන් පමණක් නො වෙයි.

 

ගෝඨාභය දැන් සිංගප්පූරුවෙ. ඔහු ජනාධිපති නො වෙයි. ඔහුට දැන් ඉන්දියාවටවත් එක්සත් ජනපදවලටවත් යන්න බැහැ. ඔහු ආපසු ලංකාවට එන්න ඕන. ඒ හරියට ම  කවද ද කියන්න බැහැ. එහෙත් වැඩිකල් යෑමට පෙර. ඔහු තම එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත්තා. ඒ අපේ වුවමනාවට.  ඔහුට තම දරුවා හා මුණුබුරා/මිණිබිරිය සමග ඉන්න බැහැ. ඒ සියල්ල ඔහුට නැති වුණෙ අපේ ඉල්ලීමට එකඟ වී එක්සත් ජනපද රටවැසිකම නැති කර ගත් නිසා. මා මෙකල දරු මුණුබුරන් සමග එරට වාසය කරනවා. වයසට යන විට එහි ඇති වැදගත්කම මට තේරෙනවා. ජීවිතයේ අවසන් කාලයේ දී අපට ඉතිරිවන්නේ දරුවන් මුණුබුරන් මිණිබිරියන් සමග ජීවත්වීමේ සම්පත පමණයි. එහෙත් අප නිසා ඔහුට එය නැතිවෙලා.

 

ඔහු ලංකාවේ දී ජනාධිපති ලෙස සුරසැප වින්දේ නැහැ. මා හිතන්නේ අඩුම වියදමකින් ජීවත් වූ ජනාධිපති ඔහු වෙන්න ඕන. අවසන් කාලයේ ජනාධිපති මැඳුරේ පදිංචියට යන තෙක් ඔහු ජීවත් වුණේ නුගේගොඩ මිරිහානෙ නිවසෙ. ඔහු දවසේ ඉතා වැඩි කොටසක් රාජකාරි වැඩවලට යෙදෙවුවා. එහෙත් ඔහු ලොකු වැරැද්දක් කළා. ඒ තදින් හිටිය යුතු තැන්වල තදින් නොසිටීම. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි හාමුදුරුවන් ඔහුට හිට්ලර් කෙනකු වීමට කිවුවෙ ඒ වැරැද්ද දැකල වෙන්න ඕන. පඬි නැට්ටන් තම බොරු ප්‍රජාතන්ත්‍රවාදී කතා කියමින් අනුනායක හාමුදුරුවන්ට උපහාසයෙන් හා අපහාසයෙන් කතා කළා.

 

මට හිතෙන විධියට ඔහු ඒ වරද කළේ දරුවන් සන්දා. මට නැවතත් සිංහබාහු නාට්‍යය මතක් වෙනවා. දරුපෙම විවිධාකාරයෙන් ඉතා මැනවින් නිරුපණය කරන එම නාට්‍යයේ සුප්පා දේවිය සිංහයා හැර ගල්ලෙනෙන් පිටවන්නේ දරුවන් සන්දා කරනෙම් මෙබන්දා කියමින්. සුප්පා දේවියට දරුවන් සමග සිටීම නැති වුණෙ නැහැ. එහෙත් ගෝඨාභයටත් අනෝමාටත් ඒ නැති වෙලා. ඒ නැති වුණෙ අප නිසා. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙමවුපියන් දරුවන් අතර ඇති සම්බන්ධය වෙනත් සංස්කෘතියක නැතැයි කියලයි මට හිතෙන්නෙ. 

 

කිසිවකු කියනවා ද මෙරට සිටි නරක ම ජනාධිපති ගෝඨාභය කියා. ජේ ආර්ටවත් චන්ද්‍රිකාටවත් කිසිවකු ගෙදර යන්න කිවුවෙ නැහැ. රට පාවා දීමට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ ප්‍රභාකරන් සමග නොනිමි සාකච්ඡා කළ ඔවුන්ට ගෙදර යන්න කියා කිසිවකු කිවුවේ නැහැ. එහෙත් ගෝඨාභයට ගෙදර යන්න කිවුවා. මහින්දටත් ගෙදර යන්න වුණා. මහින්ද නාකි මයිනා වුණා. පඬියන් ගෝඨාභය හා මහින්දට එසේ කිවුවෙ එක ම එක කරුණක් නිසා. ඒ ඔවුන් දෙදෙනා ප්‍රභාකරන්ට රට පාවා නොදුන් නිසා. ඔවුන් ගෙදර යවා පඬියන් ජනාධිපති කර ගත්තේ ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීමට කිලිනොච්චි ගිය රනිල්. රනිල්ට වඩා ඩලස් හොඳය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ.

 

පඬි නැට්ටන් කියාවි රාජපක්‍ෂලා හොරකම් කළා කියල. අපේ සල්ලිවලින් සුරසැප වින්ද කියල. රට මේ අර්බුදයට දැම්මෙ රාජපක්‍ෂලා කියලා. ඇතැම් රාජපක්‍ෂලා කොමිස් ගන්න ඇති. එහෙත් කොමිස් කියන්නෙ මේ ක්‍රමයෙ එක් අංගයක් පමණයි. සමහර විට ඇතැම් රාජපක්‍ෂලා සාමාන්‍ය ප්‍රමාණයට වඩා කොමිස් ගන්න ඇති. ඒත් ගෝඨාභය කොමිස් ගත්ත බවක් කොතැනක හරි සඳහන් වෙනවා ද? මහින්ද කොපමණ කොමිස් අරගෙන තියෙනවා ද? කොමිස් ගත්තෙ නැති ඇමතිවරු කී දෙනෙක් සජබෙ ඉන්නවා ද? මා අහන්නෙ නැහැ ජ වි පෙට මුදල් දුන්න වෙනත් ආධාර කළ අර සහෝදරයන් ගැන.

 

ආර්ථික අර්බුදයට හේතුව අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් හා බොරු උගත්කම. වසංගතයත් සමග සංචාරක ව්‍යාපාරය කඩා වැටීම ප්‍රේෂණ නැති වීම හා ව්‍යාපාරිකයන් ඩොලර් පිටරට තැන්පත් කිරීම නිසා අපේ වියදම ආදායමට වඩා වැඩි වීම කිහිප ගුණයකින් වැඩි වීම නිසා අපට ණය ගෙවීම ප්‍රශ්නයක් වුණා. අප අමතක නොකළ යුතු කරුණ නම් මෙරට වැඩියෙන් ම ණය අරන් තියෙන්නෙ යහපාලන කාලෙ බව. මෛත්‍රිපාල සමහර විට ඒ ගැන දැන නොසිටින්න ඇති. ඔහුට ඒ සම්බන්ධ පත්තර කියවන්න ලැබෙන්නෙ නැතුව ඇති. ඒත් රනිල්.  අප ණය අරන් ණය ගෙවපු රටක්. එක් අවස්ථාවක පඬියන් කිවුව ණය ගෙවීම කල් දාගන්න කියා. එය කළා විතරයි අප බංකොළොත් කියා හංවඩු ගැසුණා. අර පඬියන් හොයා ගන්න නැහැ.

 

ගෝඨාභය ගෙදර ඇරියෙ ඔය ආර්ථික අර්බුදය නිසා නො වෙයි. ඔහූට හා මහින්දට බටහිර රටවල් හා ඉන්දියාව කැමති නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. බටහිර රටවල් ගෝඨාභය බලයට පැමිණි දිනවල ම ඔහු ගෙදර යැවීමට සැලසුම් කළා. සර් ෆේල්, කාදිනල්තුමාගේ පාස්කු මහා මොළකරු, චම්පකලාගේ රාජපක්‍ෂ වෛරය ආදිය මෙහි පිටුපස තියෙනවා. මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි  තැන නැති කිරීම මේ පිටුපස තියෙනවා. ගෝඨාභය ගෙදර යවා රනිල් ගෙන්වා ගැනීම තමයි සැලසුම වුණෙ. මැතිවරණයෙන් අවුරුද්දකට පමණ පසු රනිල් ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ සැලැස්මට අනුව. 

 

රනිල් මානවම්ම ගැනවත් හරියට දන්නෙ නැහැ. එහෙම නැත්නම් ඔහු මානවම්ම වැරදියට අනුගමනය කරනවා. මානවම්ම නරසිංහවර්මන් පල්ලව රජුගෙ වර්මන් කියන නම ගත්ත අයෙක්.කමක් නැහැ ඔහු මෙරට එකල තිබූ දෙමළ බලය බිඳ දැම්මා. රනිල්ලගෙ පරම්පරාව ක්‍රිස්තියානිය වැළඳ ගත් එකක්. රනිල්ට දෙමළ බලය බිඳීමේ වුවමනාවක් තිබුණෙ නැහැ. ඔහු ප්‍රභාකරන්ට රට බෙදන්න උදවු කළ අයෙක්.

 

බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදයට උඩ ගෙඩි දෙන්න සූදානම් අය මිස දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පරාජය කළ අය නො වෙයි. බටහිරයන් තමන් අකමැති අය විවිධ ක්‍රමවලින් ඉවත් කරනවා. ගෝඨා ගෝ කියන්නෙ බුද්ධ ගෝ කියන එකේ පූර්වගාමී කතාව. බටහිරයන් හා ඉන්දියාව පරගලයක් වූ ඊනියා අරගලය යොදා ගැනීම පසුවට. (මතු සම්බන්ධයි)