Main Logo

Monday 18 July 2022

රාජසිංහ හා රාජපක්‍ෂ

 

රාජසිංහ හා රාජපක්‍ෂ

 

 

ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසින් යැයි ඉංගිරිසි කියමනක් තියෙනවා. මේ සමහර ඉංගිරිසි කියමන් දැන් අප වෙත පටවලා. කබලෙන් ලිපට වැටීමත් එහෙම එකක්. ලිප දර ලිපක් ද ගෑස් ලිපක් ද වෙන ලිපක් ද කියන එක පැහැදිලි නැහැ. මේ කබල තැටියක් ද කියා දැන ගන්න රොටි පුච්චන්න අවශ්‍ය නැහැ. තැටිය රත්වුනා ම රොටිය පුච්චන එක ගැන කතා කෙළෙ අපවත් වී වදාළ සෝභිත හාමුදුරුවො.

 

මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉතිහාසය නොවෙයි වර්තමානය ලියන්නෙ කවුද කියන එක ගැන. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන නොවෙයි ගෝඨාභය රාජපක්‍ෂ ගැන ලියන්නෙ කවුද කියන එක ගැන, ශ්‍රී වික්‍රම රාජසිංහ වෙලාවෙ නම් දිනුවෙ බ්‍රවුන්රිග්. මට බ්‍රවුන්රිග් මතක් නොවෙන වෙලාවක් දැන් නැහැ. බ්‍රවුන්රිග් විතරක් නො වෙයි ඉංගිරිසි ඉතිහාසඳයන් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ලිවුවා. ඒ රාජසිංහ ගැන. මේ රාජපක්‍ෂ ගැන. රාජපක්‍ෂ රාජසිංහට පක්‍ෂ ද නැත් ද කියල දැන ගන්න බැරි වුණා. පඬි නැට්ටන් දන්නවා ද?

 

ගෝඨාභය ගැන ලියන බොහෝමයක් ලිපිවල නන්දිකඩාල් සඳහන් වෙන්නෙ නැහැ. ඒ වගේ ම අවුරුදු හැත්තෑවකට වැඩි කලක් ණයට කෑම ගැන ලියැවෙන්නෙ නැහැ. ආර්ථික අර්බුදය ගැන නම් ලියැවෙනවා. ඒ හොරා කැම සමග. මේ ලිපි ලියන්නෙත් බ්‍රවුන්රිග්ගෙ අය ම තමයි. බ්‍රවුන්රිග්ලා දීපු අධ්‍යාපනයෙන් බිහි වෙච්ච අය ම තමයි. ඔවුන් නන්දිකඩාල් ගැන ලියාවි යැ.

 

රාජසිංහ ඉංගිරිසින් විසින් පිටමං කෙරුණා. රාජපක්‍ෂ ඉංගිරිසින් හා ඔවුන්ගෙ අනුප්‍රාප්තිකයන් විසින් පිටමං කෙරුණා. රාජසිංහ ආපසු ලංකාවට ආවෙ නැහැ. රාජපක්‍ෂ නම් ඒවි. රාජසිංහ ගැන කොච්චර බොරු ලියල ඇත් ද කියල අපට රාජපක්‍ෂ ගැන ලියන දේවලින් හිතා ගන්න පුළුවන්.   

 

රාජසිංහට ඉංගිරිසින් ඉන්දියාවෙ ගොඩ බහින්න අවසර දුන්නා කියමු. ඒ දවස්වල වීසා නැහැ. හිරු නොබසින අධිරාජ්‍යය නොවැ. කතාවට කියනවා හිරු බැස්සෙ නැත්තෙ එහෙම බැස්ස නම් ඉංගිරිසින් හිරුටත් අංචියක් අදින්න ඉඩ තිබුණ නිසා කියලා. ඒත් රාජපක්‍ෂට වීසා නැහැ. ඉන්දියාවටවත් බටහිර කිසිම රටකටවත් වීසා නැහැ. මා බොහෝ වෙලාවට කියා ඇති අපේ ප්‍රධාන සතුරන් ඉන්දියාව හා එංගලන්තය කියා. ඒක මං වගේ මැන්ටලයක් මෝඩයකු කියන කතාවක් පමණයි. පඬි නැට්ටන් එහෙම කියන්නෙ නැහැ. ඔවුන්ගේ සතුරන් සිංහල බෞද්ධ ජාතිකත්වය. ඒක ඉංගිරිසින්ටත් ඉන්දියාවටත් පොදුයි.

 

මෙරට වමාලට පඬි නැට්ටන්ට වගේ ම බටහිරයන්ටත් ඉන්දියාවටත් රාජපක්‍ෂගෙ කෘරකම් පෙන්නන්න බැහැ. රාජසිංහත් කෘර කියනව නොවැ. බටහිරයන් හා ඉන්දියාව මොන තරම් සාධාරණ ද? දෙමළ ජාතිවාදයට දෙමළ ත්‍රස්තවාදයට සාධාරණයක් ඉටු කරන්නෙ කවු ද? 

 

මේ සමග සඳහන්වන සබැඳියේ ලිපිය මේ වන විට බොහෝ දෙනකු කියවා ඇති. ඒත් මා එය සඳහන් කරනවා.  රාජපක්‍ෂට එදා නවවැනි දා දවල් වෙනකම් ම ජනාධිපති මැඳුරේ රැඳෙන්න හිතුනෙ ඇයි? අපේ බුද්ධි අංශවලට බුද්ධියක් නැත් ද? ඔවුන් කලින් දැන සිටියෙ නැද්ද එතරම් සෙනගක් දුම්රියෙන් කොළඹට එන බව. එදා දුම්රිය දිවුවෙ කාගෙ අණට ද? දුම්රියෙන් සෙනග ගෙන ඒම කාගෙ මොළයකින් යෝජනා වුණු එකක් ද? බුද්ධි අංශවලට එ ගැන හාංකවිසියක්වත් තිබුණෙ නැද්ද? හමුදා නොතිබෙන්න රාජපක්‍ෂට කුමක් සිදුවෙන්න ඉඩ තිබුණ ද? අන්තිමට සුද්දන් විදේශ අමාත්‍යාංශය යටින් වරායට හදපු උමං මාර්ගය රාජපක්‍ෂට පිහිට වෙයි කියල බ්‍රවුන්රිග් හිතන්න ඇද්ද?

 

කතානායක දවසක් ජනාධිපති රටේ නැහැ කියල ඊට පස්සෙ දවසෙ ජනාධිපති ඉන්නවා කිවුවෙ ඇයි ද කියල ලිපිය කියෙවුව ම තේරෙනවා. මොනව වුණත් තිස්ස රවීන්ද්‍ර පෙරේරාගෙ හොඳ ලිපියක්. මා හිතනවා නම් ගම් සහිත ව එහි අඩංගු තොරතුරු නිවැරදි කියා.             

 

https://m.facebook.com/story.php?story_fbid=405603234937854&id=100064645423660