Main Logo

Friday 22 July 2022

ක්වොන්ටම් කතාවක්

 

ක්වොන්ටම් කතාවක්

 

මා ක්වොන්ටම් ජාගොඩ කියා හඳුන්වන්නේ පරාද ගොඩක් අත්පත් කරගෙන ඇති ජයගොඩ. ඔහු අද හොඳ කතාවක් කියා තිබුණා. ඔහු කියන්නේ තම පක්‍ෂය පාර්ලිමේන්තුවෙන් පිට බලය ගොඩ නගා පාර්ලිමේන්තුව පාලනය කරන බවයි. අද ජනතාවට පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැති බවත් ජනතාව සියලු ප්‍රශ්න විසඳා ගත්තේ පාර්ලිමේන්තුවෙන් පිට බවත් රනිල්ට ජනාධිපති වීමට මහපොළොවෙන් ජන අනුමැතියක් නැති බවත් රනිල් අධි තක්සේරුවෙන් ඕනෑවට වඩා උඩ නොපැනිය යුතු බවත් අරගලය කුඩු පට්ටම් කරන්න හිතනවා නම් ඊට ලැහැස්ති නොවන ලෙස අනතුරු ඇඟවීමක් කරන බවත් ක්වොන්ටම් පරාදගොඩ කියා තිබුණා. රනිල් බය වෙන්න ඇති.

 

නන්දා මාලිනී ගයන ගීතයක තියෙනවා එපා දුවේ ඔය කතා අහන්න කියා. ඇය ඔය කතා කියා කිවුවේ සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති කතාවලට. මා නම් ඒ කතා අහල හැදුණු අයෙක්. අපේ සියා ආච්චි අම්මා පමණක් නොව අම්මා ද කී කතා අහලයි මා හැදුණේ. පස්සෙ කාලෙක විද්‍යා කතා මාක්ස් කතා ආදිය අහල අර අපේ සංස්කෘතියෙ කතා පැත්තකට දැම්මා. ඒත්  ක්වොන්ටම් කතා අහන කොට මට ආපසු අපේ කතාවලට එන්න හිත දුන්නා. නන්දා මාලිනී ඒක දන්නෙ නැතුව ඇති. ක්වොන්ටම් පරාදගොඩත් ක්වොන්ටම් කතා හරියට අහල නැති බවයි මා හිතන්නෙ. කාලෝ ෆොන්සේකා නම් හිතන් හිටියෙ ක්වොන්ටම් පරාදගොඩ ක්වොන්ටම් පරතෙරට ගිය කෙනෙක් කියල. ඒක එහෙම ද දන්නෙත් නැහැ.

 

මා පහුගියදා මුණුබුරාලත් එක්ක හබරණ අලි බලන්න ගියා. ඒකෙ තරමක පර්වතයක අලි බෙටි දකින්න තිබුණා කියල මුණුබුරාලා කිව්ව. මහළු වයසෙ මා කෙසේ පර්වත තරණය කරම් ද? ඒත් මට අපේ සංස්කෘතියෙ කවියක්, නැළවිලි ගීයක් මතක් වුණා. ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ගලින් ගලට පනින්නියා බබුට බයේ දුවන්නියා. ඒ ගීත ඇහුව ම ඇතින්නියන්ට බය වෙන්න ඕන නැහැ කියන හැඟීමක් ඇති වෙනවා. බබුට බයේ ඇතින්නියන් දුවනවා.

 

ක්වොන්ටම් පරාදගොඩගෙ කතාව ඇහුව ම ඒ ගීය නැවතත් මතක් වුණා. පරාදගොඩ නන්දා මාලිනීගෙ ප්‍රබුද්ධ ගීීත අහල ඇති. එහෙත් ඔහුගෙ මව ආච්චිල ඔය ඇතින්නිගෙ ගීය කියා ඔහු නළවන්න ඇති. පරාදගොඩ නන්දා මාලිනී මොනව කිවුවත් ඒ ඔන්න බබෝ ගීය විශ්වාස කරනවා. ඔහු කියන්නෙ රනිල් ඇතා බබුට (පරාදගොඩට) පරාද වෙන බවයි. නන්දා මාලිනීගෙ කතා අහල අපේ කතා නෑහුව නම් පරාදගොඩ රනිල් පරාද කරන්නෙ කොහොම ද? රනිල් නැළවුණෙ කාගෙ ගී අහල ද?

 

ඒත් ක්වොන්ටම් පරාදගොඩ අර ක්වොන්ටම් අංශුවකට එක වර පිහිටීමක් හා වේගයක් (ගම්‍යතාවක්) නැහැ කියන කතා විශ්වාස කරන්නෙ නැහැ. ඔහු හයිසන්බර්ග් තුට්ටුවකට මායිම් කරන්නෙ නැතුව ඒ කතාව බොරු කියල කිවුව. ඔහුට නොබෙල් තෑග්ග නුදුන්නෙ ඇයි කියල කාලෝ කියලත් නැහැ. ඔය ක්වොන්ටම් අංශු කියල කිවුවට ඒවා අංශුත් නොවෙයි තරංගත් නො වෙයි. ඒවට කාලෙකට ඉස්සර වේවිකල් (වේව් + පාර්ටිකල්)  කියල කිවුවා. මා ඒවට සිංහලෙන් තරංගාංශු කියල කිවුව. ඒත් ඒ නම අල්ලල ගියෙ නැහැ. තරංගාංශු නොවෙයි වේවිකල් කියන එක. තරංගාංශු කියන එකක් වෙන කිසිවෙක් අහල තිබුණ කියා මා හිතන්නෙ නැහැ. එදත් අද වගේ ම මා කියන දේ අනෙක් අයට ඇහෙන්නෙ නැහැ. 

 

කොහොමටත් ඒ අංශු හරි මොනව හරි එක විට දෙතැනක තියෙනවා. ඒ වගේ කතා නම් අපේ සංස්කෘතියෙ තියෙනවා. චුල්ලපන්ථක තිස්ස මහ රහතන් වහන්සේගේ කතාව ගැන කල්පනා කරන්න. අපට ක්වොන්ටම් කතා හුරුයි.  පරාදගොඩ විතරක් නොවෙයි අනෙක් ගොඩලත් ඒ ගැන කල්පනා කරනවා නම් හොඳයි. මට ඔය ඇතුන් ගැන කියනකොට තව කතාවක් මතක්වුණා. තිස්සනාග කියල හාමුදුරුනමක් ඇතකුගෙ කකුල් හතර අතර වැඩ හිඳ රහත්භාවයට පැමිණි කතාවක් තියෙනවා. නැහැ දඹදිව සිද්ධ වුණු කතාවක් නො වෙයි. ලංකාවෙ රුහුණෙ වැඩ විසු හාමුදුරුනමක්. තිස්සනාග කියන නමේ නාග කියන කොටස ඔය ඇත් කතාව නිසා එකතු වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. ඇතුන්ට නාග කියලත් කියනව නොවැ. තිස්සනාග කියල තිස්ස අත්තනායකට කියන්න බැහැ. ඔහු ඉන්නෙ රනිල් ළඟ නොවෙයි. 

 

අප රටේ දේශපාලනය පාර්ලිමේන්තුවෙ වගේ ම පාර්ලිමේන්තුවෙන් පිටත් ක්‍රියාත්මක වෙන්නෙ. ඔය බලය දියවන්නාවෙන් පිටට ගන්න ඕන කියන කතාවල තේරුම හරියට ම කියන්න බැහැ. අන්දරේත් ගල ගන්න කතා කෙළෙ පිටට. බලය දියවන්නාවෙන් ගන්න හදන්නෙ කාගෙ පිටට ද? අප ළඟ තියෙනවා ගෝනි නැතුව පිටේ යන කතාත්. අපි කතා අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ. 

 

රනිල් පාර්ලිමේන්තු ඡන්දෙන් පරාදයි. ඒ වගේ ම දිනුම්. ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා. ඒත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වුණා. ඒක එක්තරා විධියක ක්වොන්ටම් කතාවක්. අද පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන්නෙ ඒ පක්‍ෂයෙ අය නො වෙයි. ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න පුළුවන්ද? ඒ බලහත්කාරයෙන් ගෙවල් ගිනි තියල ගත්ත දේ නො වෙයි. පොදු ජන පෙරමුණේ ඕනකමට ම ඡන්දයෙන් කෙරෙන දේවල්.

 

අපේ රට ක්වොන්ටම් රටක්. ලෝකෙ මිනිස්සුන්ට අපේ රට තේරුම් ගන්න බැරි එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. දැන් මේ රටේ සමහර වාහනවලට එක විට අංක තුනක් තියෙනවා. සතියේ ඕනෑම දවසක තෙල් ලබා ගන්න පුළුවන්. ඔවුන් ඒකට හොරකමක් කියන්නෙ නැහැ. මෙරට හොරකම් කරල තියෙන්නෙ රාජපක්‍ෂලා විතරයි. අපේ සංස්කෘතියෙ සම්‍යක්ප්‍රයෝග කියල වර්ගයක් තියෙනවා. ඒවා සමහරුන්ට සම්‍යක්දෘෂ්ඨිය වගේ.

 

පරාදගොඩ ඕව ගැන කලබල වෙන්න ඕන නැහැ. අනෙක් අතට රනිල් පත් කර ගත්තෙ ජනතාව නොවෙයි නම් කරන්න දේකුත් නැහැ. ඒක ව්‍යවස්ථාවට එකඟයි. ඒත් ඔය ජනතාව කියන්නෙ කවුද? රනිල් පත්වෙලා ඉන්නෙ මහා පොළොවෙ ජනතාවගෙ අනුමැතියක් නැතුව කියන එකට නම් මා එකඟ වෙන්නෙ නැහැ. මහා පොළොව කියන්නෙ කොහාට ද? එංගලන්තයට හා ඉන්දියාවට. පරගලය කෙරුණෙත් මහා පොළොවෙ ඕන කමට.  තානාපතිවරයකුගෙන් හරි වරියකගෙන් හරි අහන්න. අපි ඉන්නෙ කුඩා පොළොවෙ. ඔය මහා බඩවැල් කුඩා බඩවැල් තියෙන්නෙ, ඒ වගේ තමයි. 

 

චන්දො මා බිළිඳේ නුඹ නාඬන්!