Main Logo

Sunday 3 July 2022

නැති සිස්ටම් වෙනස් කිරීම

 

නැති සිස්ටම් වෙනස් කිරීම 

 

සිස්ටම් චේන්ජ් ගැන දැන් කවුරුත් කතා කරන්නේ වෙනසකට මෙන්. අපේ රටේ මිනිස්සු දැන් කතා කරන්නෙ සිංගිරිසියෙන්. මෙතුවක් කල් අප කතා කෙළෙ පාලි හා සංස්කෘත මුසු සිංහලයකින්. එහි දෙමළ වචන ද නොතිබුණා නො වෙයි. පස්වැනි සියවසෙන් පමණ පසු අනුකරණය හා පරිවර්තනය හැරෙන්න අප කර ඇති දෙයක් නැහැ. අපේ ව්‍යාකරණ පොත ලෙස හැඳින්වෙන සිදත් සඟරාවත් පරිවර්තනයක්!

 

ඒ කොහොම වෙතත් අද අපි වොෂ් එකක් අරගන්නවා, චේන්ජ් එකක් දාගන්නවා, කෝල් එකක් ගන්නවා, වෝක් එකක් යනවා. එහෙම නැත්නම් කිවු එකේ ඉන්නවා. ඒ අතර සිස්ටම් එක ගැන කතා කරනවා. සිස්ටම් කියන එකට අපි ඊනියා සිංහලෙන් කියන්නෙ පද්ධතිය කියා. පොඩි වෙනසකට තියෙන්නෙ පද්ධති එක කියන්නෙ නැති වීමයි. චන්ද්‍රිකාගෙ කාලෙ ගෙනාපු පැකේජ් එක සිංහල කර ගත්තෙ පැකේජය කියලා. මේවා වැදි ජනයාගෙ පොජ්ජ වගේ කතා. මා අහල තියෙන විධියට ඔවුන් වෙනත් භාෂාවක වචනයක් යොදා ගන්න විට ඒ සමග පොජ්ජ එකතු කරනවා. 

 

මා කලින් දවසක ඔය පද්ධති වෙනස්කම් ගැන කියවන අයගෙන් ඇහුව වෙනස් කරලා ඇති කරන පද්ධතිය ගැන අදහසක් තියෙනවා ද කියල. මට පස්සෙ තේරුණා එහෙම අහපු එක වැරදි කියලා. අපට ඕන කතා කරන්න මිසක් වැඩක් කරන්න නො වෙයි. එහෙත් ඊටත් වඩා ප්‍රශ්නයක් තියෙනවා. මෙරට අද කිසිම පද්ධතියක් තියෙනවා ද? අප වැඩ කරන්නේ මොන පද්ධතියෙහි ද? සිංගිරිසියෙන් කියනවා නම් අපට සිස්ටම් එකක් තියෙනවා ද?

 

පද්ධතිය කියනවාට වඩා ක්‍රමය කියන එක වඩා උචිත වෙන්න පුළුවන්. අප වර්තමානයෙහි අනුගමනය කරන ක්‍රමය කුමක් ද? අපට ක්‍රමයක් නැහැ කියන එකයි දෙන්න පුළුවන් උත්තරේ. ක්‍රමයක් නැතුව ක්‍රමය වෙනස් කරනවා කියන්නෙ කොහොම ද?

 

ඉතා සරල උදාහරණයක් ගනිමු. අපි පාරෙ යන්නෙ ක්‍රමයකට ද? වාහන පදවන්නෙ ක්‍රමයකට ද? මා කතා කරන්නෙ චම්පක ගැන හරි යටත්විජිත ගැන හරි නො වෙයි. අප වමෙන් රිය පදවනවා. ඒක ඇත්ත. ඒත් ඕන නම් දකුණෙනුත් රිය පදවනවා. රතු එළිය ගණන් ගන්නෙ නැති කී දෙනකු ඉන්නවා ද? ක්‍රමයක් හඳුන්නා දුන්නත් ක්‍රමය කඩන හැටි අප දන්නවා. පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ දී මොන තරම් දේ සිදු වෙනවාද? මොන තරම් බොරු කියනවා ද? ඒත් ඒ සියල්ල ක්‍රමය තුළ ක්‍රමය කැඩීමෙන් කෙරෙන දේ. හුණුවටයේ අසඩක් සිහි ගන්වමින් අපට කියන්න පුළුවන් ක්‍රමය රැකීමට ක්‍රමය කඩනවා කියා. එය බෞද්ධයනට තේරුම් ගැනීම පහසුයි. ඒ චතුස්කෝටිකය නිසා. ක්‍රමය රකිනවා ද? ඔව්. ක්‍රමය කඩනවාද? ඔව්. ඊනියා බෞද්ධ පාසල්වලත් චතුස්කෝටිකය උගන්වන්නේ නැති නිසා ඉන් පිටවන අයටත් බෞද්ධ ක්‍රමය තේරුම් ගන්න අමාරුයි.

 

අර ෆයින්මාන් කියල තියෙනවා යමකු තමාට ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරෙන බව කියනවා නම් ඔහුට ක්වොන්ටම් යාන්ත්‍රිකය තේරෙන්නෙ නැහැ කියා. ෆයින්මාන් හොඳ භෞතික විද්‍යාඥයකුට වඩා හොඳ ප්‍රදර්ශකයෙක්. ඔහු මෙරටට ගැලපෙන පුද්ගලයෙක්. මා හිතනවා ඔහුටත් පොදුවේ ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කියවන්නන්ටත් ඇති මූලික ප්‍රශ්නය ඔවුන්ට තේරුම් ගන්නවා කියන එක නොතේරීම කියා. බටහිරයන් තේරුම් ගන්න උත්සාහ කරන්නෙ ඇරිස්ගේ ද්විකෝටික  න්‍යායෙහි රේඛීය ව.  ක්වොන්ටම් අංශුවක් (හරි මොකක් හරි) එකවිට දෙතැනක සිටින්නේ කෙසේ ද යන්න ඒ න්‍යායෙහි හා රේඛීය චින්තනයෙහි පැහැදිලි කරන්න බැහැ.

 

ඒ කතා අපි පැත්තකින් තියමු. අපට ක්‍රමයක් නැති බව පැහැදිලියි. අපට ලැබෙන ඩොලර් ප්‍රමාණය හා අපෙන් යන ඩොලර් ප්‍රමාණය කියන්න මහා බැංකුවට ක්‍රමයක් තියෙනවා ද? අප ආනයනය කරන භාණ්ඩවල වටිනාකම හා අපනයනය කරන භාණ්ඩවල වටිනාකම ඩොලර් කීය ද කියා කියන්න පුළුවන් වුණත් ඒ අපනයනය කරන භාණ්ඩවලින් ඩොලර් කීයක් මෙරටට ලැබෙනවා ද කියන්න මහා බැංකුවට ක්‍රමයක් තියෙනවා ද? ආනයන කරුවන් හා අපනයන කරුවන් ක්‍රමය රැකීමට ක්‍රමය කඩනවා.

 

අපේ ක්‍රමය ධනවාදී ද සමාජවාදී ද එහෙමත් නැත්නම් වෙන මොන වාදී ද? අපට නිශ්චිත ක්‍රමයක් නැහැ. කොහොමටත් සමාජවාදී කියා ක්‍රමයක් ලෝකයේ නැහැ. අප රාජ්‍ය ධනවාදී ද? මට මතක හැටියට 1958 දී මහත් උත්සවශ්‍රීයෙන් අප බස් ජනසතු (රජසතු) කළා. ඉන් පසු නැවතත් පෞද්ගලික බස් ව්‍යාපාරය පටන් ගත්තා. එකල සමාජවාදී යැයි කියන ආර්ථික විද්‍යාඥයකු පැවසුවේ වැඩි කල් නොගොස් බස් ඒකාධිකාරයක් ඇති වේවි කියා. එහෙත් එහෙම ඇති වුණේ නැහැ.  බණ්ඩාරනායක මැතිණිය තෙල් සමාගම් රජසතු කළා. පසුව ඉන්දියන් සමාගමක් (IOC) රිංගුවා. අද ඒ සමාගමේ විතරයි තෙල් තියෙන්නෙ. දැන් තවත් විදේශීය තෙල් සමාගම්වලට දොර අරින්න සූදානම්. අපට ක්‍රමයක් නැහැ. පුංචි බණ්ඩාට කීවත් අපත් පවත්වාගෙන යන්නේ එදා වේල ආර්ථිකයක්.

 

අපේ ක්‍රමය සිංහල බෞද්ධ ද බටහිර ක්‍රිස්තියානි ද වෙනත් එකක් ද? බටහිරයන් විශේෂයෙන් ඉංගිරිසින් මෙරට තිබූ සිංහල බෞද්ධ ක්‍රමය කඩා දාන්න උත්සාහ කළා. එහෙත් එය සම්පූර්ණයෙන් ම ඉටු කර ගන්න බැරි වුණා. බටහිර ක්‍රිස්තියානි ක්‍රමයත් සම්පූර්ණයෙන් පිහිටුවන්න බැරි වුණා. අපට ක්‍රමයක් නැහැ. අපි පාරෙ වාහන පදවන්නෙ පයින් යන්නන් වගේ. ආර්ථිකය සම්පූර්ණයෙන් ම එදා වේල. දැන් වෙනස් කරන්නෙ මොන ක්‍රමය ද? අප ක්‍රමය වෙනස් කිරීම පැත්තකින් තියා ක්‍රමයක් සකස් කර ගන්න ඕන.