Main Logo

Saturday 9 July 2022

සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

සාදුකින් පෙළෙනවුන් රනිල් ජනාධිපති කරනවා ද?

 

අද එලවන්නෙ ගෝඨාභයව ද රනිල්ව ද නැත්නම් දෙන්නම ද? එහෙමත් නැත්නම් තවත් අය ද? ඒ කරන්නෙ ව්‍යවස්ථාවට එකඟව ද ව්‍යවස්ථාවට පිටින් ද? මේ උද්ඝෝෂණයට හරි මොකට හරි නායකත්වය දෙන්නෙ කවුද? මෙය නිර්පාක්‍ෂික නිර්නායකත්ව අරගලයක් ද? ගෝඨාභය එලවන්නෙ ඔහු කුමක් කළාට ද? අද පවතින ආර්ථික අර්බුදයට වග කියන්න ඕන ඔහු ද? ඔහු හොරකම් කළා ද? හොරකම් කළෙ මොනවා ද?

 

මෙය අප්‍රේල් නවවැනි දා පටන්ගත් ආතල්ගමේ තුන් මාසය සැමරීම ද? එහෙම නැත්නම් වාසු විමල් ගම්මන්පිල පටන් ගත් ඊනියා සුවාදින සැමරුම ද? ආතල්ගම පටන් ගත්තෙ විමල් වාසු ගම්මන්පිල ත්‍රිත්වයෙ අරාජිකවාදය පසුපස යමින් ද? ඒ සියල්ල පසෙකින් තබන්න. ගෝඨාභය එලවීමෙන් පසු ජනාධිපතිකමට පත්කර ගන්නෙ කාව ද? රනිල්වත් ඒ එක්ක එලවනව නම් අර කතානායක මහින්ද යාපා අබේවර්ධන ද? මා හිතන්නෙ වාසු සහෝදරයා මේ සියල්ල ගැන කල්පනා කරල ඇති. සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව්!

 

මොන තරම් වැඩක් ද? විප්ලවවාදීන්ගෙ බලාපොරොත්තු සියල්ල ඉටුවෙලා. හෙට අලුත් ඉරක් පායාවි. මගෙන් අහන්න එපා ඒ අලුත් ඉර ගේන්නෙ කොහෙන් ද කියල. ඔය විශ්වයේ ඕන තරම් තාරකා තියෙනවා. එකක් ගේන්න බැරියැ. නැහැ සුපර් මාකට් එකේ තාරකා විකුණන්නෙ නැහැ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොළොව ඒ අලුත් ඉර වටේ යාවි ද? නැත්නම් අලුත් ඉර පොළොව වටේ යාවි ද? පඬි නැට්ටකුගෙන් අහන්න.

 

හෙට තෙල් ප්‍රශ්නය විසඳේවි. අලුත් ඉරේ තෙල් නැහැ. අලුත් ඉරෙන් සූර්ය ශක්තිය ලබා ගන්න පුළුවන්. පුනර්ජනනීය ශක්තිය හෙට ඉඳලා ගෙයින් ගෙට බෙදාවි. පන්සලට පල්ලියට කෝවිලට බෙදන එකක් නැහැ. ඒ හැම තැන එකම පහනක් දැල්වෙනවා කියල නිරාගාමිකයන් කියනවා. අමුතුවෙන් පහන් ඕන නැහැ. රැය පහන් වෙනවා කියල කියනවා. අර පහන් ඉටිපහන් ද කියලත් වෙලාවකට හිතෙනවා.

 

වාසු සහෝදරයා අනෙක් අය වගේ නො වෙයි. දුර දිග බලනවා. ඒ නිසා නෙ විප්ලවේට මෙච්චර කල් ගියෙ. ඔහු දැන් කල්පනා කරන්නෙ තමන් තෝර ගන්න අගමැතිට ඒ ධුරය ලබා දෙන්නෙ කොහොම ද කියල. ඒක එච්චර අමාරු වැඩක් නොවෙයි. වැඩ්ඩන්ට ඕවත් වැඩ ද? කරන්න තියෙන්නෙ ගෝඨාභයයි රනිලුයි පන්නන එක විතරයි. මේ සියල්ල ව්‍යවස්ථාවෙ හතළිස්වැනි වගන්තියෙ පැහැදිලි ව කියල තියෙනවා.

 

ජනාධිපති අස්වුණොත් පාර්ලිමේන්තුව අලුත් ජනාධිපති කෙනෙක් තෝරා ගන්න ඕනෙ. ඇබෑර්තුව ඇතිවුණු දවසෙ ඉඳලා මාසයක් ඇතුළත ඒ කරන්න ඕනෙ කියල තමයි කියන්නෙ. අර සමහර කඩ ඉස්සරහ දැන්වීම් එල්ලන්නෙ වෙළෙඳ සේවක සේවිකාවන් සඳහා ඇබෑර්තු ඇත කියල. ඒ වගේ පාර්ලිමේන්තුවෙ, ජනාධිපති කාර්යාලෙ දැන්වීමක් එල්ලන්න ඕන ද දන්නෙ නැහැ ජනාධිපති ධුරය සඳහා ඇබෑර්තුවක් ඇත කියල. මා කඩ ගැන කියන්නෙ කාටවත් කඩේ යන්න නොවෙයි. 

 

ඇබෑර්තුව ඇති වුණු දවසෙ ඉඳන් අලුත් ජනාධිපති වැඩ භාර ගන්න කම් අගමැති ජනාධිපති ධුරයෙ වැඩ බලනවා. ඒත් ඒ ඇබෑර්තුව ඇති වෙන වෙලාවෙ අගමැති පුටුව හිස් නම් කතානායක ජනාධිපති ධුරයෙ වැඩ බලන්න පත් වෙනවා. දැන් ඔය විප්ලවවාදීන් මෙතන දි පරෙස්සන් වෙන්න ඕන. ඔවුන් රනිල් ගෝඨාභය දෙන්නව ම එලවන්න ඉන්නව නම් ඉස්සෙල්ල රනිල් එලවල ඉන්න ඕන. එහෙම නෑතුව ගෝඨාභය ඉස්සෙල්ල එලෙවුවොත් රනිල් අගමැති පුටුවෙ ඉන්න නිසා ඔහු ජනාධිපති ඇබෑර්තුවට පත් වෙනවා. ඉස්සෙල්ල රනිල් එලවල ඊළඟට ගෝඨාභය එලෙවුවොත් තමයි මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති කර ගන්න පුළුවන් වෙන්නෙ.   

 

දැන් බැරිවෙලාවත් ගෝඨාභය මුලින් එලෙවුවොත් රනිල් ජනාධිපති ඇබෑර්තුව පුරවනවා. ඒක හරි බරපතල වැඩක්. රනිල් ජනාධිපති කරන්න තමයි බටහිරයන් හැමදාමත් වෑයම් කෙළෙ. රනිල් ජනාධිපති වුණොත් ඔහු ගෙදර යවන එක බොරු. රනිල් හිනහ වෙවී කියාවි කොළඹ තමාගෙ ගෙදර නිසා අමුතුවෙන් ගෙදර යන්න ඕන නැහැ කියා. බටහිර රටවල තානාපතිවරු ඉන්නෙත් රනිල්ගෙ ගෙදර හතර වටේ. ඔවුන් ඇවිත් රනිල් වටා පවුරක් හදාවි.

 

ඒ විතරක් නො වෙයි. ජනාධිපති හැටියට ඔහුට පුළුවන් වේවි ව්‍යවස්ථාවෙ හැත්තෑවැනි වගන්තියට අනුව පාර්ලිමේන්තු වාරය කල්දාන්න. ව්‍යවස්ථාවෙ කියන විධියට පාර්ලිමේන්තුව කල්දාන බව දන්වා මාස දෙකක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන්න ඕන. එහෙම කැඳවල ඊළඟ දවසෙ නැවත වාරාවසාන නිවේදනයක් නිකුත් කළොත් මොකද වෙන්නෙ. පාර්ලිමේන්තුවට අලුත් ජනාධිපති කෙනෙක් පත්කර ගන්න බැරි වෙනවා. රනිල්ට ව්‍යවස්ථානුකූල ව ජනාධිපති ලෙස කාලයක් ඉන්න පුළුවන්. ඒ කාලයෙ අර්ජුන මහේන්ද්‍රන් ආපහු ගෙන්න ගන්නත් පුළුවන්. මගෙන් අහන්න එපා ඒ මක්කටැයි කියලා.

 

දැන් පඬි නැට්ටකු අහන්න බැරි නැහැ ව්‍යවස්ථාවෙ අර හතළිස්වැනි වගන්තිය අනුව ඇබෑර්තුව ඇති වෙලා මාසයක් ඇතුළත අලුත් ජනාධිපති කෙනකු තෝර ගන්න ඕන නේද කියලා. ඒක ඇත්ත. ඒ වුණත් හැත්තෑවැනි වගන්තියත් තියෙන්න ව්‍යවස්ථාවෙ ම තමයි. ව්‍යවස්ථාවත් සංගත නැති විට පඬි නැට්ටන් මොනව කරන්න ද? ඔය ව්‍යවස්ථාව හැදුවෙ මා නම් නො වෙයි. මා නීතිඥයකු තබා උගතකු බුද්ධිමතකුවත් නො වෙයි.