Main Logo

Friday 8 July 2022

ව්‍යාජ ගිණුම හා පඬි නැට්ටෝ

 

ව්‍යාජ ගිණුම හා  පඬි නැට්ටෝ

 

මා කලින් සටහනේ සඳහන් කෙළේ මගේ නමින් පළවන ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් ගැන.  එවැනි දේ කරන එක අමාරු කාර්යයක් නො වෙයි. සකර්බර්ග්ට එය ප්‍රශ්නයකුත් නො වෙයි. සකර්බර්ග්ට ව්‍යාජ ගිණුම් අව්‍යාජ ගිණුම් කියා ජාති දෙකක් නැහැ. ව්‍යාජ ගිණුමක් ඇති වුණේ කොහොමද වගේ ප්‍රශ්න තේරුමක් නැහැ. ඉතා පැහැදිලි ව මගේ විරුද්ධවාදියෙක් ව්‍යාජ ගිණුම සකස් කර පසු කලෙක කියවන්නන් නොමග යැවීමට ගන්නා උත්සාහයක්. 

 

මුහුණු පොතේ මා නමින් ඇත්තේ මේ ලිපිය පළවන මගේ පිටුව හා මගේ ගිණුම පඔනය. මා සාමාන්‍යයෙන් ලිපි පළ කරන්නේ මේ පිටුවේ පමණයි. මා වෙනත් අයගේ පිටුවල ගිණුම්වල ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එමෙන් ම මා අනෙක් අයගේ නම් මගේ ලිපිවලට එකතු කර (tag) ගන්නේවත් අනෙක් අයට ඒ අයගේ ලිපි මගේ ගිණුමේ පළ කිරීමටවත් ඉඩ දෙන්නේ නැහැ. එබැවින් අනෙක් අය මගේ නම තම ලිපිවලට එකතු කර ගැනීමෙන් වැඩක් වන්නේවත් නැහැ.

 

මා කිහිප විටක් කියා ඇති පරිදි මා ලිපි පළ කරන්නේ මගේ අදහස් නිරවුල් කර ගැනීමටයි. අනෙක් අය සඳහා නොවෙයි. සකර්බර්ග් කඳවුරෙහි මා ලිපි පළ කරන්නේ  ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් නො වෙයි. බොහෝ ප්‍රතිචාර සතපහක්වත් වටින දේ නො වෙයි. පඬි නැට්ටන්ට තේරුම් ගැනීමේ අපහසුතාවක් තියෙනවා. ඔවුන් පඬිවරුන් නොවී පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වන්නේ එබැවිනුයි. පඬි නැට්ටන්ට චතුස්කෝටික න්‍යාය තේරෙන්නෙ ම නැහැ. චක්‍රීය චින්තනය කියා එකක් ඇති බවක් ඔවුන් දන්නේ නැහැ. ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක හැදී වැඩී ඇති නමුත් ලබා ගත් තකතීරු අධ්‍යාපනයෙන් ඒ සියල්ල නැති කර ගෙන.

 

ඔවුන්ගෙන් අති විශාල බහුතරය අඩු තරමෙන් උසස් පෙළටත්වත් ගණිතය හා භෞතික විද්‍යාව හදාරා නැහැ. ගණිතයත් භෞතික විද්‍යාවත් බටහිර ම වුණත් ඒ ඉගෙන ගන්නා අයකුට ඒකත් එහෙමයි එහෙම නොවෙයි වැනි අදහසුත් ලැබෙනවා. ඒ ඒ ක්‍ෂෙත්‍රවල ඇති නිශ්චිත භාවය මැද! නිවුටන්ගේ කලනයේ අර කුඩා වෘද්ධි අත්‍යුණක (infinitesimals) ශූන්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නිවුටන් ඒවා සැලකුවේ ඒ ආකාරයෙන්. එහෙත් පසු කළෙක ගණිතඥයන් ඒවා ඊනියා සීමාව කියන සංකල්පයක් ඇති කර ඇරිස්ගේ න්‍යාය තුළට ගන්න උත්සාහයක් දරා තියෙනවා.

 

එය පැත්තකින් තියන්න. මා කිහිප විටක් ම කියා ඇති වක්‍රයකට යම් ලක්‍ෂ්‍යයක දී අඳින ස්පර්ශක ගැන. ඒ ස්පර්ශක අදාළ ලක්‍ෂ්‍යයේ දී වකය්‍රට ගැවෙන්නෙත් නැහැ නොගෑවෙන්නෙත් නැහැ. සිංහල සංස්කෘතියේ භාෂාවේ යෙදුමක් තියෙනවා ගෑවී නොගෑවී කියා. ඒ තමයි ස්පර්ශක කතාව. පඬි නැට්ටන් තමන් ලත් කසිකබල් අධ්‍යාපනයෙන් පසු ප්‍රශ්න කරනවා ගෑවී නොගෑවී තියෙන්නෙ කොහොම ද කියා. පඬි නැට්ටන්ට අනුව එක්කෝ ගෑවෙන්න ඕන නැත්නම් නොගෑවෙන්න ඕන.

 

පඬි නැට්ටන්ට පුළුවන් මිහිඳු හිමියන් අහසින් වැඩියෙ නැහැ වගේ කතා ඊනියා වීරයන් වී තම හීනමානය වසා ගැනීමට අහංකාර පරවශව අහන්න. ඒත් ඔවුන් කිසි දිනෙක දේවානම්පිය තිස්ස රජු තම තමාගේ නෑයකුවත් නොනෑයකුවත් නොවන බව කීවේ ඇයි දැයි කල්පනා කරන්නේ නැහැ. ඒ ප්‍රකාශය ඇරිස්ට විරුද්ධ ව යන එකක් වුණත් එය ප්‍රශ්න කිරීමටවත් ඔවුන්ට හැකියාවක් නැහැ.

 

අපේ ජීවිතවල ඇත්තේ චතුස්කෝටිකය. ඇරිස් කෙළේ ජීවිතය චතුස්කෝටිකයේ දෙකෝටියකට පමණක් සීමා කර ජීවිත අවුල් කිරීම. පඬි නැට්ටන් ගණිතය හා භෞතික විද්‍යාව හදාරා නැති කමින් මේ කිසිවක් දන්නේ නැහැ. ඔවුන් දන්නේ අර පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමය හා ආරම්භයක් ඇති රේඛීය චින්තනය පමණයි. ඔවුන් ආරම්භය ප්‍රශ්න කරන්නේ නැහැ. ඔවුන්ට එය ප්‍රශ්න කරන්නත් බැහැ.

 

දැනුම සංස්කෘතියට සාපේක්‍ෂය කියන කතාවත් ඔවුන්ට තේරෙන්නෙ නැහැ. ඇතැම් දැනුම් බොහෝ සංස්කෘතිවල දකින්න පුළුවන්. නිල් පාට බ්ලූ හරි නීල හරි කියා ඒ ඒ සංස්කෘතිවල කියැවෙන්න පුළුවන්. එහෙත් ඉන් කියැවෙන්නේ නැහැ දැනුම සංස්කෘතියෙන් ස්වායත්ත කියා. ඇතැම් කරුණක් කියා හිතන දෙයක් සෑම සංස්කෘතියක ම දකින්න පුළුවන් කියා හිතමු. ඉන් කියැවෙන්නේ අදාළ කරුණ සංස්කෘතියෙන් ස්වායත්ත බව නො ව එය සෑම සංස්කෘතියක ම අඩු වෑඩි වශයෙන් දකින්න පුළුවන් බව පමණයි. යමක් සෑම සංස්කෘතියක ම ඇති බව කීමෙන් එය සංස්කෘතියෙන් ස්වායත්ත බව කියැවෙන්නේ නැහැ.  කොහොමටත් යමක් කියා සංස්කෘතියෙන් ස්වායත්ත දෙයක් නැහැ. අම්මා හා මමී නැත්නම් මදර් කියන්නේ එක ම සංකල්පයක් නො වෙයි.

 

අප මේ දිනවල ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදවල. තව ටික කලක් එහි ඉන්නවා. එරට ආදීවාසීන් යැයි කියන ජන කොටස්වල තරගකාරීත්වයක් නැහැ. ඔවුන් ක්‍රීඩාවල යෙදෙන්නේ දිනන්න නො වෙයි. සතුටු වීමට. ජයග්‍රහකයා උත්සව පැවැත්වීමක් නැහැ. දිනන පරදින කවුරුත් සතුටු වෙනවා. එක් ඊනියා සමාජ විද්‍යාඥයකු ඔවුන්ගෙන් අසා තියෙනවා ජයග්‍රහණය සමරන්නෙ නැත්තෙ ඇයි කියා. ඔවුන් කියා ඇත්තේ කවුරු හරි දිනන්න ඕන. එපමණයි. එය බටහිර සංස්කෘතියෙන් කෙතරම් වෙනස් ද?        

 

තව කරුණක් මතක් කරන්න ඕන. ජනාධිපති ගෝඨාභය ජනාධිපති පුටින්ට කතා කරපු එක හොඳයි. අපට රුසියාවෙන් තෙල් ටිකක් ලබා ගන්න පුළුවන්. මා කියන්නේ අප තෙල් බොන්න ඕන කියන එක නොවෙයි. අප තෙල් යොදා ගැනීම අඩු කර ගන්න ඕන. ඒත් ඒ තෙල් ටික පවා දෙන්න එහෙම නැත්තන් ඒ සඳහා ණය වශයෙන් ඩොලර් දෙන්න බටහිරයන් එකඟ නැහැ. ඔවුන්ට අවශ්‍ය මේ අවස්ථාවේ අප තව තවත් අමාරුවේ දැමීමට.

 

අප තේරුම් ගත යුතුව තිබූ ප්‍රධාන ම කරුණ තමයි බටහිරයන් අපට විරුද්ධ බව. රනිල් පක්‍ෂපාත බටහිරට මිස ලංකාවට නො වෙයි. අපට විරුද්ධ ව ජෙනීවාහි කෑ ගහන්නෙ බටහිර රටවල්. රනිල් කරන්න හැදුවෙ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගෙන අප තව තවත් බටහිර තොණ්ඩුවේ හිර කිරීම. ඔහුගේ බලතල වැඩි කිරීම. ඔහු අගමැති ලෙසත් මුදල් ඇමති ලෙසත් අසාර්ථකයි. වහාම ඔහු පන්නා දැමිය යුතුයි. බටහිරයන් හා රනිල් කරන්නෙ නන්දිකඩාල් පරාජය වීම ගැන රණවිරුවන් සමග ඇති කර ගත් කේන්තියකින්.

 

අපට ජෙනීවාහිත් නිවුයෝක්හිත් වෙනත් තැන්වලත් උපකාර කෙළේ රුසියාව හා චීනය. ඔවුන්ගෙ චින්තන බටහිර අධිපතිවාදී චින්තනයෙන් වෙනස්. මේ වෙලාවෙ අපට ආධාර කරන්නෙ රුසියාව හා චීනය මිස බටහිර හා ඉන්දියාව නො වෙයි. අපට තෙල් ටිකක් ලබා ගන්න පුළුවන් රුසියාවෙන්. බටහිරයන් එයට කැමති ද නැද්ද කියන එක ප්‍රශ්නයක් නොවෙයි. බටහිරයන අපට විරුද්ධයි. ඔවුන් බ්‍රවුන්රිග් කාලයෙ ඉඳන් භික්‍ෂුන් වහන්සේට විරුද්යි. අද පඬි නැට්ටන් හාමුදුුරුවන්ට කහකඩයා කියන්නෙ බ්‍රවුන්රිග් අනුගමනය කිරීමෙන්.

 

බටහිරයන් හා ඔවුන්ගේ නියෝජිතයා වූ රනිල් පැත්තකට කර රුසියාවෙන් ඉක්මණින්ආධාර ලබා ගැනීමෙන්   අයිඕසී (IOC)  හා රටට ඇතුල්වීමට මාන බලන බටහිර තෙල් සමාගම්වලින් අපට නිදහස් වෙන්න පුළුවන්.