Main Logo

Tuesday 5 July 2022

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

අර්බුදයට හේතුව හා සර්ව පාක්‍ෂික ආණ්ඩුව

 

සාක්‍ෂරතාව අතින් අප ඉතා ඉහළ මට්ටමක ඉන්න බව විද්වතුන් කියනවා. මේ සාක්‍ෂරතාව කියන්නෙ අකුරු දන්න එක. එහෙත් කියවන දේ තේරුම් ගන්න පුළුවන් ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලට පරිවර්තනය කරල අපට ලෝක දැනුම ලබා දෙන අය ලියන දේ නම් බොහෝ විට තේරෙන්නෙ නැහැ. අර මානව ධර්මතා ඔබ නිරවචනය කරයි කියන එක තේරෙන්නෙ කාට ද? එහෙත් අපේ විශේෂ ලක්‍ෂණය තමයි අපට යමක් තේරුම් ගැනීමට වුවමනාවක් නැති වීම. අපට අවශ්‍ය තේරෙන බව ඇඟවීමයි. අනෙකාටත් තේරෙන්නෙ නැති නිසා මේ සෙල්ලම ඉතා සාර්ථක ව කෙරී ගෙන යනවා. ඉංගිරිසි කියමනක් තියෙනවා It’s a different cup of tea  කියල. ඒකෙන් කියන්නෙ වෙන තේ කෝප්පයක් කියන එක නො වෙයි.  අපේ සමහර මහාචාර්යවරු ලියන දේ දැක්ක ම  නම් හිතෙන්නෙ මෙරට උගතුන් ගැන It’s a different cup of tea   කියා කියන්න පුළුවන් බවයි.

 

අද එක්තරා වියපත් ආර්ථික විද්‍යාඥයකු (පඬි නැට්ටන් ඔහුට මට මෙන් මැන්ටලයක් නාකියා කියන්නෙ නැහැ) විශ්වවිද්‍යාලවල හා ඊනියා පර්යේෂණ ආයතනවල ඉන්න අනෙක් ආර්ථික විද්‍යාඥයන්ගෙන් ඉල්ලා තිබුණා ප්‍රශ්නය විසඳන්න එකතු වෙන්න කියා. ඔවුන් කිසි දිනෙක එකතු වන්නෙ නැහැ. එකතු වුණා කියල වැඩක් වෙන්නෙත් නැහැ. අපි නොදන්න ලයිව් කිවුවලු. දේශපාලනඥයන් අද මන්තරයක් වගේ ජප කරනවා ඊනියා සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියල. ඒ අතර සමහරු කියනව ගෝඨාභය ගෙදර ගියෙ නැත්තන් සර්ව පාක්‍ෂික ආණ්ඩු බැහැ කියල. මා දැක්ක වාසු සහෝදරයා කියල තිබුණ ගෝඨාභයට ආරක්‍ෂිත ව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම් කියල. ඒ ප්‍රවෘත්තිය ඇත්තක් ද කියා මා දන්නෙ නැහැ.

 

ඒත් මට නම් තියෙන ප්‍රශ්නය ඇමරිකාව ගෝඨාභය කෙසේ ආපසු භාර ගනීවි ද කියන එකයි. මා හිතන්නෙ රටේ ප්‍රශ්නයත් ඒ වටා කැරකෙනවා කියා. අද අපට ඇමරිකාව සතුටු කරන්න වෙලා තියෙනවා. ඇමෙරිකාව අසතුටු දෙයක් කිරීමට අපට බැහැ. ඒ වගේ ම ඉන්දියාව අසතුටු දේ කරන්නත් අපට බැහැ. අප කැමති වූුවත් නැතත් තෙල් නැතුව ජීවත් වීමට නොහැකි තත්වයකට පත් කර ඇති අපට අද තෙල් ලබා ගැනීමට ඇති එක ම ක්‍රමය ඉනදීය තෙල් සමාගමට (IOC) තව තවත් බෙදා හැරීම් කටයුතු පැවරීමත් ඇමරිකාව කැමති සමාගමකට දෙකකට මෙරටට තෙල් ගෙන්වා බෙදා හැරීම පැවරීමත්. ඒ සඳහා පිරවුම්හල් යම් ප්‍රමාණයක් ඒ සමාගම්වලට බදු දීමට සිදු වේවි.

 

දැන් අරික්කාල් මාක්ස්වාදියකු කෑ ගසාවි ඔන්න නලින් ද සිල්වා රට ඉන්දියාවට හා ඇමරිකාවට පාවා දෙන්න කතා කරනවා කියල. එහෙම තමයි අපේ සාක්‍ෂරතාව. මා කියන්නෙ තෙල් බොන තෙල් බෙදන අපට ඇමරිකාව හා ඉන්දියාව සතුටු කිරීම සඳහා කරන්න වෙන දේ මිසක් මා යෝජනා කරන විසඳුමක් නො වෙයි. අද ගොවියන්ටත් තෙල් අවශ්‍යයි. අපි අත්තම් ක්‍රමයෙන් ඈත් වෙලා. සාමූහිකත්වය තරමක් හරි දකින්න පුළුවන් පන්සලේ පමණයි. එතැනත් නිවන් සැප ලබා ගන්න තරමක තරගයක් තියෙනවා. නිවන සැපක් නොවන බව ඔවුන් දන්නෙ නැහැ. නිවන ගැන යමක් දැන ගත්ත බුද්ධකාලීන බමුණකු කිවුවලු ගෞතමගෙ නිවන තමාට එපා කියල. නිවන කියන්නෙ බ්‍රහ්මන් සමග එක්වීම (බ්‍රහ්මන් හා තමන් දෙකක් ය කියන හැඟීම නැති කිරීම –- අද්වෛත බ්‍රහ්මන්) හරි උසස් බ්‍රහ්ම ලෝකයක් හරි නො වෙයි. යළි ඉපදීම නතර කිරීමයි. අර බමුණ ඒකට කැමති වුණෙ  නැහැ. අපි බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට ගියේ නැතත් සරල ප්‍රෞඪ ක්‍රමයකට යන්නෙ නැතුව ඉන්දියාවෙන් හරි ඇමරිකාවෙන් හරි මිදෙන්න බැහැ.

 

ඒත් අපේ උගතුන් එවැන්නක් ගැන කල්පනා කරන්නෙ නැහැ. මා වැනි නූගතුන් පමණයි එවැනි දේ ගැන හිතන්නෙ. චතුරාර්ය සත්‍යයක් ගැන විශ්වාස කළත් නැතත් එහි ඇත්තේ හොඳ ක්‍රමයක්. අපොයි නැහැ එය ඊනියා විද්‍යාත්මක ක්‍රමය නො වෙයි. එහෙම විද්‍යාත්මක ක්‍රමයක් නැහැ. යමක් හිතල එ හිතළුව කරල බලන එක තමයි බටහිර විද්‍යාවෙත් කෙරෙන්නෙ.   දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමට මග. ආර්ථික අර්බුදය, එයට හේතුව, එය නැති කිරීම, එය නැති කිරීමට මග. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ආර්ථික අර්බුදයට හේතුව කුමක් ද? අපේ ක්‍රමයේ දෙවැනි පියවර වැදගත්. අද පඬි නැට්ටන් කියන්නෙ ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරා කැම කියල. ඉතින් ආර්ථික අර්බුදයට හේතුව නැති කරන්න ඕන. ඒ කියන්නෙ රාජපක්‍ෂලා ගෙදර අරින්න ඕන. එය දේශපාලන ක්‍රියාවක්. ආර්ථික ක්‍රියාවක් නොවෙයි. ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් කෙළෙ  විමල්ල ගම්මන්පිළල හා වාසුල. ඔවුනුත් පඬියන් තමයි. ඔවුන් මුලින් ම බැසිල් යවන්න කටයුතු කළා. එහි දී මහින්ද පළමුව ගියා.  දැන් ගෝඨාභය යවන්න හදනවා. ආතල්ගම ඊනියා අරගලය මෙහි දී කළ දෙයක් නැහැ.

 

ගෝඨාභය ගෙදර ගියා ම ආර්ථික අර්බුදය විසඳේවි ද? ඊනියා සර්ව පාක්‍ෂික ආණ්ඩුව ඉන්දියාව හා ඇමරිකාව අසතුටු කරල හරි රුසියාවෙන් හරි තුත්තුකුඩියෙන් හරි තෙල් ගෙනේවි ද? සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් කිසිම දෙයක් ගැන එකඟත්වයකට පැමිණේවි ද? ජාමුලෙ සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට ණය දේවි ද? ජාමූල කොන්දේසිවලට නොව ජාමූලට යෑමට වාසු කැමති වෙයි ද? ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම යැයි ගැනීම නිසා පඬි නැට්ටන් සහ දේශපාලනඥයන් විසඳුමට මග රාජපක්‍ෂලා නැති කිරීම යැයි සිතනවා. පඬි නැට්ටන් අප කියන දෙයක් අහන්න සූදානම් නැහැ. ඔහෙ කරල බලපුවාවෙ.

 

ආර්ථික අර්බුදයට මූලික හේතුව අපේ අධිපරිභෝජනය, බොරු ෂෝක් (විලාසිතා) හා බොරු උගත්කම. බොරු උගත්කම නිසා අප තව තවත් අර්බුදයට යන බව පැහැදිලියි. මානව ධර්මතා ඔබ නිර්වචනය කරනවා!