Main Logo

Sunday 24 July 2022

රනිල් පාර්ලිමේන්තුව හා බටහිර තානාපතිවරු

 රනිල් පාර්ලිමේන්තුව හා බටහිර තානාපතිවරු


එක් ලක්‍ෂ්‍යයක් ඔස්සේ රේඛා (වක්‍ර මෙන් ම සරල) ඕනෑ තරම් ඇඳිය හැකි බව නොදන්නෙකු නැති වීමට ඇති ඉඩ කඩ ඉතා අධිකයි.   එමෙන් ම එක් සිද්ධියක් නිසා අපට අනන්‍ය නිගමනවලට ඒමටත් නොහැකියි. අද මෙරට දේශපාලනයේ ඇත්තේ සංක්‍රමණීය අවස්ථාවක්. රනිල් පොදු ජන පෙරමුණේ ඡන්දවලින් ජනාධිපති වෙලා. ඩලස්ට පොදු ජන පෙරමුණේ ඡන්ද විස්සක්වත් ලැබී නැති බවයි පෙනෙන්න තියෙන්නෙ. ඔහුට ඡන්ද ලැබී ඇත්තේ සජබෙන්. අර විමල් හා  කණ්ඩායමත් ඡන්දෙ දෙන්න ඇති. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයේ සියල්ලන් ම ඔහුට ඡන්දය දුන්නා කියා හිතන්න බැහැ.  ඩලස් සමග පහළොවක් හරි දහසයක් හරි සුවාදීන වෙලා විපක්‍ෂයේ අසුන් ගන්න බව ආරංචියි. මා කලින් දවසක කී කාරයට පාර්ලිමේන්තුවේ පුටු අර්ධ වෘත්තාකාර ව සකස් කරල සුවාදිනයන් මැද ඉන්දවනව නම් හොඳයි. මා හිතන්නෙ චම්පකත් දැන් සුවාදීනයි. 


ඔය සුවාදීනයන් යම් පිරිසක් (වැඩි පිරිසක් කියා හිතන්න පුළුවන්) එකතු වී සමහර විට ඩලස්ගෙ නායකත්වයෙන් පක්‍ෂයක් පිහිටුවන් ඉඩ තියෙනවා. අර ඕස්ත්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ලංකාවෙ හිටි කාලෙ සමහරු කහ පාට ප්‍රචලිත කරන්න හැදුවෙ එය ඩලස් විමල් පක්‍ෂයෙ පාට නිසා කියලත් කියනවා. චම්පක ඒ පක්‍ෂයට ඒවි ද? ඒ ආවත් ඔහුට නායකයා වෙන්න බැහැ. ඒ කොහොම වෙතත් ඒ කණ්ඩායමට මන්ත්‍රීවරුන් තිස් දෙනකුට වඩා පාර්ලිමේන්තුවේ නැහැ.


ඒක ප්‍රශ්නයක් නො වෙයි. ඊනියා විද්වතුන් මෙන් ම ඇතැම් දේශපාලනඥයන් ද කියන්නෙ මේ පාර්ලිමේන්තුව විකෘතියක් කියල. ජනමතය සම්පූර්ණයෙන් ම පාර්ලිමේන්තුවේ නියෝජනත්වය සමග බැඳී නැහැ කියලයි ඔවුන් කියන්නෙ. පොඩි පරහකට තියෙන්නෙ මේ ජනතාව කියන්නෙ කවුද කියන එකයි. ජනමතය දන්නෙ කවුද කියන එකයි. මා දේශපාලනයේ අවුරුදු හැටක් පමණ නිරත වෙනවා. පක්‍ෂයක නූණත් මා මගේ මතය කියනවා. එත් ජඩමාධ්‍ය මගේ මතයට ඉඩක් දෙන්නෙ නැහැ. මගෙන් වොයිස් කට් ගන්නෙ නැහැ. මගේ වොයිස් කට් කරලා. හඬ නැති කරලා. ඔවුන්ට මගේ මතය සතපහක් වටින්නෙ නැහැ. ඔවුන් ඉහළ ම ගණයේ බුද්ධිමතුන්. 


මා අවුරුදු හැටක පමණ කාලයක අත්දුටු දෙයක තමයි රැසවීමවල එකතු වෙන සෙනග හා මැතිවරණ ප්‍රතිඵල අතර සහසම්බන්ධයක් නැති බව. 1963 එන් එම් පිලිප් එස් ඒ වික්‍රමසිංහ නායකත්වයෙන් පැවති වාමාංශික එක්සත් පෙරමුණේ මැයි රැළියට අති විශාල පිරිසක් සහභාගි වුණා. මාත් ඒ රැළියේ ගමන් කළා. 1962 දෙසැම්බර් විශ්ව විද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිට ඇතුල්වීමට බලා සිටි කාලය.  අපට බලාපොරොත්තු තිබුණා. එහෙත් 1964 වන විට පෙරමුණ කැඩී ගියා. එන් එම් හා සමසමාජය සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවට ගියා. හැටපහේ ඡනදෙන් මැතිණියට ආණ්ඩු බලය නැති වුණා. ඩඩ්ලි සේනානායක අගමැති වුණා. 


මිනිස්සු අවුරුදු පහකට හරි යම් නියමිත කාල සීමාවකට හරි පස්සෙ ඡන්දෙ දීල යම් ආණ්ඩුවක් පිහිටුවනවා. ඉන් පසු ඊළඟ මැතිවරණෙ එනකම් මිනිසුන්ගෙ මතය මොකක් ද කියන කවුරුන්වත් දන්නෙ නැහැ. බොහෝ දෙනා කරන්නෙ තම මතය ජනමතය බව ප්‍රකාශ කිරීම. පවත්නා පාර්ලිමේන්තුව තම මතය නියෝජනය කරන්නෙ නැහැ කියන්න මිනිසුනට බැහැ. ඊනියා ජනතාවට නම් කෙහොමටත් බැහැ. ජනතාවක් නැහැ. අලුත් පාර්ලිමේන්තුවක් පත් කරගන්න මිනිසුන්ට බැහැ. මිනිසුන්ට මන්ත්‍රීවරුන් හමුවෙලා කියන්න බැහැ අහවල් පනතට පක්‍ෂ වෙන්න හරි විපක්‍ෂ වෙන්න හරි කියල. මිනිසුන් විවිධ ආකාරයෙන් සංවිධානය වෙලා ඇවිත් විවිධ මත කියාවි. මේවා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලතා. 


මිනිසුන්ට තියා පාක්‍ෂිකයන්ටවත් බැහැ මන්ත්‍රීවරුන් හසුරුවන්න. එංගලන්තයේ කොන්සර්වෙටිව් පක්‍ෂය තම නායකයා තෝරා ගන්නේ අමුතු ආකාරයට. නායකත්වයට ඉදිරිපත්වෙන අයගෙන් සුදුස්සන් කියා හිතෙන දෙදෙනකු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් විසින් තෝරා ගැනෙනවා. ඉන් පසු ඒ දෙදෙනා අතරින් එක් අයකු තෝරා ගැනීම පාක්‍ෂිකයන්ට පැවරෙනවා. මේ වන විට මන්ත්‍රීවරුන් ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක් හා ලිස් ට්‍රස් තෝරා ගෙන ඉන්නවා. ඔවුන් අතරින් කෙනකු තෝරා ගැනීම පාක්‍ෂිකයනට පැවරෙනවා.


ලංකාවේ එවැනි ක්‍රමයක් තිබී පොදු ජන පෙරමුණ මන්ත්‍රීන් ඩලස් හා රනිල් තෝරාගෙන ඔවුන් අතරින් කෙනකු තෝරා ගැනීම පාක්‍ෂිකයන්ට පැවරුවා නම් කුමක් සිදුවන්න තිබුණා ද? එයට විශාල කාලයක් යන්න තිබුණා. ඒ කාලයෙහි රනිල් වැඩ බලන ජනාධිපති. ඔහූ එතරම් බලයක් අරගෙන වැඩ කරන එකක් නැහැ. පරගලකරුවන් එතෙක් පරගලයේ. පාක්‍ෂිකයන් කවුරු තෝරා ගනීද කියා මට කියන්න බැහැ. ඔවුන්ටත් කල්පනා කරන්න තිබුණේ එක ම එක ප්‍රශ්නයයි. රට අරාජික කරනවාද නැද්ද යන්න පමණයි. මෝඩ පුත්‍රයන්ට (wrong generation) කොපමණ  කල් දෙනවා ද නැද්ද යන්න පමණයි.


ඒ කොහොම වෙතත් අද එක් දෙයක් වෙලා තියෙනවා. රනිල් බටහිර තානාපතිවරුන්ට බය නැතුව කතා කරල තියෙනවා. ප්‍රේමදාස මෙරට බිරිතානි මහා කොමසාරිස් ග්ලැඩ්ස්ටන් ගෙදර යැවුවා. මහින්ද රාජපක්‍ෂ බිරිතානි හා ප්‍රංශ විදේශ ඇමතිවරුන් ඇඹිලිපිටියට ගෙන්වා දෙමළ ත්‍රස්තවාදීන්ට එරෙහි ව කළ මෙහෙයුම්වලට ඇඟිලි ගහන්නෙ නැතුව ගෙදර යන්න කිවුවා. ඒවා තමයි නියම ගෝ හෝම් කතා. මෝඩ පුත්‍ර කතා වස්තුව වෙන ම ලියන්න ඕන. 


අපට රනිල් එක සිද්ධියකින් මනින්න බැහැ. එහෙත් ඩලස් ජනාධිපති වුණා නම් මෝඩ පුත්‍රයන් බටහිර හා ඉන්දීය අනුග්‍රහයෙන් තවමත් අර ගොඩනැගිලිවල. විමල් ඒ මෝඩ පුත්‍රයන්ගෙ කණේ කරාබු ගැන කියන එකක් නැහැ.