Main Logo

Wednesday 13 July 2022

සෝභිත හාමුදුරුවො හා සිංහල බෞද්ධ බලය

 

සෝභිත හාමුදුරුවො හා සිංහල බෞද්ධ බලය

 

ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ගැන නැවතත් සඳහන් වෙනවා. අර අස්ගිරි පාර්ශ්වයෙ මහානායක හාමුදුරුවන්ගෙ අත්සන පිටපත් කිරීම ගැන කතා වුණාට පස්සෙ උන්වහන්සෙගෙ ප්‍රකාශ එතරම් ගණන් ගැණුනෙ නැහැ. මා කියන්නෙ සෝභිත හාමුදුරුවන් අස්ගිරි මහානායක හාමුදුරුවන්ගෙ අත්සන පිටපත් කළා කියන එක නො වෙයි. උන්වහන්සෙ එහෙම කරන්නෙ නැහැ. මහානායක හාමුදුරුවන්ගෙ නියෝජ්‍ය ලේකම් හාමුදුරුවනුත් ඒ වගේ අනුශාසනාවක් කරල තිබුණ.

 

චම්පක රණවක කියන්නෙ සිංහල බෞද්ධකම ගැන ඉහළින් කතා කළ දේශපාලනඥයෙක්. මා ඔහු ගැන දන්නෙ අවුරුදු තිස්පහක පමණ කාලයක ඉඳන්. අර වාද්දුවෙ දි අත්අඩංගුවට පත් වෙච්ච වෙලාවෙ එතුමා හෑසුරුණු ආකාරය මා අහල තියෙනවා. අතන මෙතන පනින රතන හාමුදුරුවො නම් ඒ වෙලේ බොහොම නිර්භීත ව පෙනී ඉඳලා තියෙනවා. නැහැ ඒ කාලෙ ඕමල්පෙ සෝභිත හාමුදුරුවො චම්පකලත් එක්ක එච්චර සම්බන්ධකමක් තිබුණෙ නැහැ. අර අනෙක් සෝභිත හමුදුරුවො, මාදුළුවාවෙ හාමුදුරුවො නම් චම්පක ගැන දැන හිටියා. චම්පක එකල ඒ සෝභිත හාමුදුරුවන්ගෙ සභාපතිත්වයෙන් තිබුණු චින්තන පර්ෂදයෙ රැස්වීම්වලටත් සහභාගි වෙලා තිබුණා.

 

චම්පකට අපේ සිංහල බෞද්ධකම මදිවෙලා පස්සෙ වෙන සංවිධාන ගොඩ නැගුවා. ඒ සංවිධානවල නම් ගම් ලියන්න ගියොත් මේ ලිපියෙ වෙන දෙයක් සඳහන් කරන්න බැරි වේවි. දැන් අලුත් ම සංවිධානය හතළිස්තුනේ සේනාංකය. නැහැ ප්‍රභාකරන් පැරැද්දුවෙ ඒ සේනාංකයෙන් නො වෙයි. චම්පක දැන් සජබෙන් ස්වාධීන වෙලා පාර්ලිමේන්තුවෙ කටයුතු කරන්නෙ. ඔහු රනිල් සමග කිට්ටුවෙන් වැඩ කරනවා.

 

ඊයේ පෙරේදා නීතිපතිතුමා කියල තිබුණ චම්පකගෙ නඩුවෙ සාක්‍ෂි මෙහෙයවීමට බලාපොරොත්තු වෙන්නෙ නැහැ කියල. සමහරව විට නීිතිපති දෙපාර්තමේන්තුවෙ ඒ සඳහා නීතිඥවරු නැතුව ඇති. පහුගිය කාලෙ බැසිලුත් නඩුවලින් නිදොස් කර නිදහස් කෙරුණා. එහෙවු බැසිල්ට ගුවන් තොටුපළේ දී හිරිහැර කෙරුණෙ මොක ද? ඔහුට ජාතිකත්වයක් නැති හින්ද ද? චම්පකට නම් ජාතිකත්වයක් තියෙනවා.

 

ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් චම්පකගෙ නඩුව ගැන තවම මොකුත් ප්‍රකාශ කරල නැහැ. උන්වහන්සේට රූපවාහිනී නාළිකාවල නිතර අවස්ථාව ලැබෙනවා. සමහර විට හෙට අනිද්ද උන්වහන්සේ ඒ ගැන ප්‍රකාශයක් කරාවි. සිංගප්පූරුවට වැඩම කළෙ නැත්තන්. සිංගප්පූරුවෙ බෞද්ධ පන්සල් තියෙනවා. මාත් ගිහින් තියෙනවා වඳින්න. එලිසබෙත් රෝහලට යන්න තරම් හෙම්බිරිස්සාවක්වත් තිබුණෙ නැහැ.

 

ඕමල්පෙ හාමුුදුරුවන්ට අවශ්‍ය චම්පක බලයට පත් කරන්න කියල බොහෝමයක් නායක හාමුදුරුවරු මා සමග කියල තියෙනවා. උන්වහන්සෙලාගෙ නම් අහන්න එපා. මොකෝ මේක ඊනියා ශාස්ත්‍රීය ලිපියක් යැ මූලාශ්‍ර දෙන්න. ඒත් මා නම් හිතන්නෙ නැහැ ඕමල්පෙ අපේ හාමුදුරුවන්ට එහෙම අවශ්‍යතාවක් තියෙනවා කියල. උන්වහන්සෙ සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්. අර එක් වරක් චම්පකට පාර්ලිමේන්තු එන්න පුළුවන් වෙන විධියට උන්වහන්සෙ තමන්වහන්සෙගෙ පාර්ලිමේන්තු ආසනයෙන් අස් වී වදාරා සිටියේ උස් අසුන් මහා අසුන් අකැප නිසා වෙන්න ඕන.

 

ඒ කොහොම වුණත් ඕමල්පෙ හාමුදුරුවන් පහුගිය දා අනුශාසනයකින් සිංහල බෞද්ධ බලය දැන් ඉවරයි කියල සඳහන් කර තිබුණා. ඒක කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නැහැ කියන කතාව සමග සම්බන්ධ කරන්න හදන්න එපා. ෆ්‍රොයිඩ් හරි කාල් යුන්ග් හරි ඒ ගැන මොකක්වත් කියල තියෙනව නම් පමණක් දන්වන්න. අපි දැන් ඉන්නෙ නියම මනෝ විශ්ලේෂණයෙ. අර අනෙක් කාල්, කාල් පොපර් මනෝ විශ්ලේෂණය විද්‍යාවක් නො වේය කියල කිවුවෙ කට කහනවාට වෙන්න ඇති.

 

සෝභිත හාමුදුරුවන් පස්සෙ දවසක තමන් වහන්සෙගෙ ඒ ප්‍රසිද්ධ ප්‍රකාශයට අටුවාවක් සපයල තිබුණ. ටීකා ටිප්පණි සැපයූ බවක් නම් දැන ගන්න නැහැ. සෝභිත හාමුදුරුවන් ඒ අනුශාසනය කරල තියෙන්නෙ රාජපක්‍ෂ දේශපාලනය අවසන් වීමෙන් සිංහල බෞද්ධ බලය නැතිවුණු බව ප්‍රකාශ කරන්න. බැසිල්ගෙ දේශපාලනය කොහොම වුණත් මහින්ද හා ගෝඨාභය යම් සිංහල බෞද්ධ ජාතිකත්ව දේශපාලනයක යෙදුණ. කාදිනල්තුමාත් නිකමට නොවෙයි ගෝඨාභය බලයට ඒම සඳහා පාස්කු ප්‍රහාරය යොදා ගත් බවට ඉඟි කෙළෙ. සෝභිත හාමුදුරුවන් කාදිනල්තුමා සමග නිතර එකට සිටින නිසා ඒ ගැන අහල බැලුව ද දන්නෙ නැහැ. අර සෙංකඩගල ප්‍රකාශය කියවපු වෙලාවෙ අහන්න විවේකයක් තියෙන්න නැතුව ඇති.

 

සිංහල බෞද්ධ බලය ඉවරය කියල හිතන්න ප්‍රකාශ කරන්න පඬි නැට්ටනුත් බොහොම කැමතියි. ඒත් සිංහල බෞද්ධ බලය අර සිංහල බෞද්ධ නොවන ෆීනික්ස් පක්‍ෂියා වගේ නැවත නැවත ඉපදෙනවා. ඒක ග්‍රීක කතාවක් කියලයි කියන්නෙ. ෆීනික්ස් සූර්යයා සමග සම්බන්ධ කියලත් කියනවා. සමහරු කියන්නෙ එය මිසර (ඊජිප්තු) කතාවක් කියල. ඒ කුමක් වුවත් මොන ස්වරුපයකින් හරි නැවත ඉපදෙන කතා ඇතැම් සංස්කෘතීන්වල තිබිල තියෙනවා. සිංහල මිසර ග්‍රීක සම්බන්ධයක් තිබුණ ද කියල හොයල බලන්න පුළුවන්. සෙනරත් පරණවිතාන මහතා නම් ග්‍රීකයෝ හා මෞර්යයෝ පොතේ සිංහල ග්‍රීක සම්බන්ධයක් ගැන කියනවා. පණ්ඩුකාභය රජු යෝනයන්ට (අයෝනි දේශයේ ග්‍රීකයන්ට) අනුරාධපුරයෙ ප්‍රදේශයක් වෙන් කෙළෙ නිකම් වෙන්න බැහැ. ඔය නුවර මලබාර් විදියක් මැතක් වන තුරු තිබුණෙ නිකමට යැ. මලබාර් ඉංගිරිසින්ගෙ යෙදුමක් වුණාට එහි ඉතිහාසයක් තියෙනවා. දකුණු අප්‍රිකාවෙත් තියෙනවා මලබාර් විදි. ඒවටත් ඉතිහාසයක් තියෙනවා.

 

සිංහල බෞද්ධ බලයත් එක්තරා විධියකට ෆීනික්ස් වගේ. එය නැවත නැවත ඉපදෙනවා. පහුගිය සියවසේ ඔය සේනානයකලා විජේවර්ධනලා එකතු වෙලා ධර්මපාලතුමා මුට්ටිකාසි කාරය කියල නින්දා කරල දඹදිවට පිටත් කරා. ඒත් අද සිංහල බෞද්ධයන් සිහි කරන්නෙ ධර්මපාලතුමා මිසක් විජේවර්ධන නො වෙයි. රාජපක්‍ෂලා නූතන දේශපාලනයට ආවෙ සිංහල බෞද්ධකමත් එක්ක. ගෝඨාභය අද රටින් පිටමං කරලා. ඒත් සිංහල බෞද්ධ බලය නැති වෙන්නෙ නැහැ. ජූලි නවවැනි දා කොළඹ ආවෙ සිංහල බෞද්ධ බලය නැති කරන්න හදන පිරිසක් කියල පඬි නැට්ටන් නම් හිතන්න පුළුවන්. එවැන්නන් එහි සියයට දහයක්වත් ඉන්න නැතුව ඇති. ධර්මපාලතුමා දඹදිව ගියාට සිංහල බෞද්ධ බලය නැති වුණෙ නැහැ. මේ වන විට ගෝඨාභය මාලදිවයිනේ. ඒත් ලක්දිව සිංහල බෞද්ධ බලය නැවත නැවත ශක්තිමත් ව ඉපදෙනවා.  යම් දවසක සිංහල බෞද්ධයන් සිහි කරන්නෙ මහින්ද හා ගෝඨාභය මිස රනිල් හා චම්පක නොවෙයි.