දේශපාලන තුං මං හංදිය
අද බොහෝ දේ ලියන්න තියෙනවා. පළමුවෙන් ම විජේ ඩයස්ගේ අභාවය. මා ඔහුට වඩා හඳුනන්නේ ඔහුගේ බිරිය පියසීලි විජේගුණසිංහ. විජේ ඩයස් පෙනී හිටියේ විජේගුණසිංහ නමින්. ඔවුන් දෙදෙනා ම මට වඩා අවුරුදු දෙකක් පමණ වැඩිමල්. ඔවුන් තම මුළු දේශපාලන ජීවිතය පුරා ම ට්‍රොට්ස්කිවාදීන් ලෙස කටයුතු කළා. එකල තරුණ සමාජවාදීන් ට්‍රොට්ස්කිවාදය වෙත ඇදී ගියා. මා හිතන්නේ ට්‍රොට්ස්කිවාදයේ තිබූ තාර්කික භාවයත් මාක්ස්වාදයට වඩා කිට්ටු වූ ජාත්‍යන්තරවාදයත් එයට හේතුවන්න ඇතැයි කියා.
විජේ ඩයස් පාර්ලිමේන්තු දේශපාලනයට ගියේ නැහැ.
ඔහු මුල සිට ම ලංකා සමසමාජ පක්‍ෂයේ සභාග දේශපාලනයට විරුද්ධ වුණා. ඔහු තමා විශ්වාස කළ ලෙසට කම්කරු පංති විප්ලවයක්
බලාපොරොත්තු වුණා. ඒ සඳහා ඔහු කැප වී වැඩ කළා. ඔහු හතරවැනි ජාත්‍යන්තරය සමග
සම්බන්ධ වී වැඩ කළා. හතරවැනි ජාත්‍යන්තරයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විජේ ඩයස් හා
පක්‍ෂය ගැන ප්‍රවෘත්ති පළවුනා. මට ඒ වෙබ් අඩවියේ පුවත් ලිපිය දිනපතා ම ලැබෙන බැවින් මා ඒ බව දන්නවා. සමහර විට හතරවැනි
ජාත්‍යන්තරය මෙරට සමාජවාදීන්ට වඩා ඔහු ගැන දැන සිටින්න ඇති.
විජේ ඩයස් කිසි දිනෙක දැන හිටියේ නැහැ තම ව්‍යාපාරය
බලාපොරොත්තු වන දේ කවදාවත් සාක්‍ෂාත් කර ගැනීමට නොහැකි බව. එසේ දැන සිටියා නම් ඔහු
කුමක් කරාවිද යන්න පිළිතුරක් නැති ප්‍රශ්නයක්. ලෝකයේ අසරණයන් දුකට පත්වූවන්
හැමදාමත් ඉන්න ඇති. අවාසනාවකට ඔවුන් ඉදිරියටත් ඉන්නවා. ධනපති ක්‍රමයටවත් වෙනත් ක්‍රමයකටවත්
ඒ ප්‍රශ්නය විසඳන්න බැහැ. කෙළෙස් සහිත පුද්ගලයන් ඉන්නතාක් ලෝකය ඒ විධියට තියේවි.
සමාජවාදය කොමියුනිස්ට් සමාජය ආදිය මනෝරාජික අදහස් පමණයි.
ධනවාදය ද යම් චින්තනයක නිර්මාණයක්. ඒ චින්තනය
පහළොස්වැනි සියවසේ ලොව බිහි වූවක්. ඉන් ධනවාදය මෙන් ම බටහිර විද්‍යාව ද ඇති වුණා.
අද වන විට ඒ චින්තනය ලෝක අධිපතිවාදී
චින්තනය බවට පත්වෙලා. ලෝකයේ අනෙක් සංස්කෘතීන් හුදු සංකේත බවට පත්වෙමින් තියෙනවා.
අද ඇත්තේ අනෙක් චින්තනවල දැනුම්වලට එක්කෝ හිනහවෙන එහෙම නැත්නම් බොරුවට පිටට තට්ටු
කරන ප්‍රවණතාවක්. මා කිසිසේත් ම හිතන්නේ නැහැ විජේ ඩයස් ඉහත කී දේ සමග එකඟ වෙන්න
ඉඩක් තිබුණා කියා.
මා දැනගෙන හිටි ආකාරයට විජේ ඩයස්ටත් පියසීලිටත්
පුතකු සිටියා. විජේ ඩයස්ගේ අභාවය පිළිබඳ මගේ සංවේගය ඔහුට පළකරනවා.
මා ඊයේ දනිෂ් අලි ගැන සඳහන් කරමින් ඔහු දෙමටගොඩ
පදිංචිකරුවකු බව කිවුවා. ඔහුගේ පියා 1980 දී ඉස්ලාම් ආගම වැළඳගත් බවත් කිවුවා. ඒ තොරතුරු මට ලැබුණේ එදින ම ඩේලි
නිවුස් පුවත්පතින්. පොලීසිය දිගින් දිගට ම කියන්නේ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ
පදිංචිකරුවකු බවයි. මට පණිවුඩයක් එවා තිබූ අයකු කියා තිබුණේ දනිෂ් අලි වයඹ රාජකීය
විදුහලේ ඉගෙනගත් බවයි. මා ඒ ප්‍රවෘත්ති සියල්ල විශ්වාස කරනවා. ඒ එසේ වී ඇත්තේ කෙසේ
ද කියා මට හිතාගන්න පුළුවන්. එහෙත් ඒ ගැන වැඩිදුර කියන්න මා බලාපොරොත්තු වන්නේ
නැහැ. පසු ව පොලීසිය ම ඒ තොරතුරු හෙළි කරාවි. කෙසේ වෙතත් දනිෂ් අලි ආතල්ගම පරගලයේ
නායකයකු බව නම් පැහැදිලියි. ඔහු අර උගත්
ගැමි තරුණයකු වෙන්න ඇති. උගත් ගැමි තරුණයන් ඉන්න පුළුවන් ද කියන එක ම ප්‍රශ්නයක්.
උගත්කමත් සමග බටහිර නාගරික ආකල්පත් ලැබෙනවා. මට නම් ඔහු මෝඩ පුත්‍රයකු පමණයි.
විමල්ලා හදිසි නීතිය පැනවීමට පක්‍ෂව
පාර්ලිමේන්තුවේ දී ඡන්දය දීලා. එසේ ඡන්දය දීම හරිමගට වැටීමක් ද? විමලුත්
අර උගත් ගැමි තරුණ කුලකයට අයත් වෙනවා. වාසු නම් ගැමි නොවෙයි. ඒ කෙසේ වෙතත් අද ඇති
මේ දේශපාලන අර්බුදයට මග කැපුවේ ඔවුන්. හදිසි නීති පැනවීමට හේතු වුණේත් රනිල්
ජනාධිපති වුණේත් ඔවුන්ගේ දේශපාලනයේ වැරැද්ද නිසා. තමන්ගේ දේශපාලනය මත පදනම් වෙමින්
බටහිර රටවල් හා ඉන්දියාව ඇති කළ ආතල්ගම
පරගලය පරාජය කිරීමට පැනවූ හදිසි නීතියට පක්‍ෂවීම එක් අතකින් දේශපාලන සරදමක්.
අද මෙරට දේශපාලනය තුං මං හංදියකට ඇවිත්.
රුසියාව හා චීනය රනිල් පළමුවෙන් පිළිගත්තා. පසුව ඉන්දියාව පිළිගත්තා. දැන් බටහිර
රටවල් ද පිළිගනිමින් සුබ පැතුම් පණිවුඩ එවනවා. ජාමුල අපට ආධාර කරන්නේ නැහැ. රනිල්
බලාපොරොත්තු වූ ණය ඔවුන් ලබා දෙන්නේ නැහැ. ජාමුල විවිධ කොන්දේසි පණවනවා. ඔවුන්
කියනවා චීනය සමග කතා කර චීනයට ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කරගන්න කියා. ජාමුල
හදන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු මරන්න. කෙසේ වෙතත් රනිල්ට ඉක්මණට ම චීනයට යන්න
සිදුවෙලා.
ඒ අතර රුසියාවෙන් අපට තෙල් සහන මිලකට ගන්න
පුළුවන්. බටහිර රටවල් මේ ප්‍රවණතාවලට කැමති වෙන එකක් නැහැ. ඔවුන් බලා සිට රනිල්ට
සුබ පතන්නේ එන පොට හොඳ නැති නිසයි. අද අපට විදේශ ප්‍රතිපත්තිය ගැන අමුතුවෙන්
හිතන්න වෙලා. නොබැඳි ප්‍රතිපත්ති අද වලංගු නැහැ. ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය තම
රටේ අවශ්‍යතා මත පදනම් වෙන්න ඕන. අර කියමනක් තියෙනවා දේශපාලනයේ දී සදාකාලික
මිතුරන් හරි සතුරන් හරි නැහැ කියා. විදේශ සම්බන්ධයෙන් ද එසේ වෙන්න පුළුවන්.
අවසාන වශයෙන් ඉන්දියාවට ජම්බුද්වීපය කියන්නේ
ඇයි. එය ද්වීපයක් නම් නො වෙයි. එහෙත් ඒ නිසා ලංකාව ජම්බුද්වීපය වන්නේ නැහැ. හිතල
බලන්න ඕන කරුණක්.