Main Logo

Saturday 16 July 2022

ඒකාධිපතියා ගිහින්

 

ඒකාධිපතියා ගිහින්

 

අද ගෝඨාභය හැඳින්වෙන්නේ මෙරට සිටි නරක ම පාලකයා, දරුණු ඒකාධිපතියා ආදී වශයෙන්. රටක් දුර්දාන්ත ආකාරයෙන් පාලනය කළ තැනැත්තාට අද රටක් නැති වෙලා කියා පාරම්බාන පුද්ගලයන් ද ඉන්නවා. ඒ කුමන කතා කිවුවත් මා හිතන්නේ නැහැ ඔහුගේ පාලන සමයේ ඔහු ආරක්‍ෂක සේවාවන්ට අවම බලයට එහා බලයක් පාවිච්චි කිරීමට උපදෙස් දුන්නා කියා. අද වන විට රනිල් යටතේ එය වෙනස් වී තියෙනවා. අද කියන්නේ අවම බලය නොව අවශ්‍ය බලය යොදා ගන්න කියා.

 

ගෝඨාභය තම පාලන කාලයේ දී ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළා. උද්ඝෝෂණවලට ඔහු තැනක් වෙන් කළේ කිසිවකු රැවටීමට නොවෙයි.  මා ඊනියා මානව අයිතිවාසිකම් කියා කියන්නේ එය නිර්වචනය කෙරෙන්නේ බටහිරයන් විසින් නිසා. මානව අයිතිවාසිකම් කඩ කළා ද නැද්ද කියා තීරණය කරන්නේ ඔවුනුයි. ගෝඨාභය මේ ඊනියා මානව අයිතිවාසිකම් රැකීමට ක්‍රියා කළත් බටහිරයන්වත් ඉන්දියාවවත් ඔහුට සමාවක් දුන්නෙ නැහැ. ඔහුට සිදු වුණේ විසා අවශ්‍ය නැති රටකට යෑමට. එහෙත් බොහෝ කලකට පෙර මෙරට සිටි දරුණු පාලකයකු වූ ජෝන් කොතලාවලට එංගලන්තය දොර වැහුවේ නැහැ. ජේ ආර්ටත් කිසිවකු වීසා නොදී හිටියේ නැහැ. චන්ද්‍රිකා නම් තම දරුවන් බැලීමට නීතර එංගලන්තයට යනවා.

 

බටහිරයන් හා ඉන්දියාව ගෝඨාභය යැවීමට සැලසුම් කරන්න ඇත්තේ ඔහු බලයට පැමිණි දින සිට වෙන්න ඕන. ඔහු බලයට පැමිණියේ සිංහල ඡන්දවලින්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්දවලින්. ඔහුට සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවීමට හැකි බව අප දැන සිටියා. එහෙත් අපට ඒ සම්බන්ධයෙන් බටහිරයන්ගේ  හා ඉන්දියාවේ වූ බය තක්සේරු කර ගන්න බැරි වුණා. බටහිරයන් සර් ෆේල් ව්‍යාපාරය ආරම්භ කළා. කාදිනල්තුමා පාසකු ප්‍රහාරයේ මහා මොළකරු හොයන්න පටන් ගත්තා.  තවමත් හොයනවා ද කියා දන්නේ නැහැ. ඕමල්පෙ හාමුදුරුවන්ගෙන් අහන්න ඕන.

 

අප හැකි ඉක්මණින් ගෝඨාභය ආපසු ගෙන්වා ගන්න ඕන. ඔහු රටට කළ එකම වරද දැඩි තීන්දු ගත යුතු අවස්ථාවල එසේ නොකිරීමයි. ආර්ථික අර්බුදය ඔහු සල්ලි හොරකම් කළ නිසා ඇති වූවක් නො වෙයි. එයට අවුරුදු හැත්තෑහතරක ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන් ම ජේ ආර් හා යහපාලනය එයට වගකියන්න ඕන. ණය ගැනීම හා ණයට කෑම කාගේ වැඩක් ද? එහෙත් බටහිරයන් වසංගතයත් සමග දැන ගෙන ඉන්න ඇති ණය අපට ණයක් වන බව.

 

ආර්ථික අර්බුදයට හේතුව ගෝඨාභය කියා ඔවුන් කියන්න පටන් ගත්තා. ගැස් පිපිරීිම් ගෑස් පෝලිම් තෙල් පෝලිම් කලින් තිබු නැහැ. ඒ සියල්ල ගෝඨාභයගේ වැරදි පාලනය හොරා කෑම නිසා කියන මතය මිනිසුන් අතරට යැවුවා. සිංහලයා මෝඩයා කියන වහර කාගේ නිර්මාණයක් ද කියා මා දන්නේ නැහැ. සමහර විට පෘතුගීසීන්ගේ කතාවක් වෙන්න පුළුවන්. කාගේ වුවත් එය හරියට ම හරි. සිංහලයන් ද්වයංගුල පඤ්ඤාවන්තයන්. ඔවුන්ට ඇඟිලි දෙකේ දුරින් එහාට හිතන්න බැහැ. ඉස්සර තෙල් පෝලිම් තිබුණේ නැහැ. එහෙනම් පෝලිම්වලට හේතුව ගෝඨාභය වෙන්න ඕන. නිගමනය හරි තර්කානුකූලයි. ඇරිස්ටෝටල් හෙවත් ඇරිස් ඒ ගැන ආඩම්බර වේවි. මට ඇරිස් හම්බවෙලා අවුරුද්දක් පමණ වෙනවා.

 

ලංකාව ලෝකයෙන් වෙන් වෙලා නෑ කියන්න පඬි නැට්ටකු අවශ්‍ය නැහැ. අපට තනිවම ජීවත් වෙන්න බැහැ. ඉතිහාසයේ අප තනිව ජීවත් වෙලත් නැහැ. විජයලා ධාතුසේනලා පරාක්‍රමබාහුල මාඝල නිශ්සංක මල්ලලා පිටින් ආපු අය. අපේ භාෂාවෙ පිටින් ආපු වචන කොච්චර තියෙනවා ද? බුද්ධඝෝෂ හාමුදුරුවන් පමණක් නොව මහාවංසය ලියු මහානාම හාමුදුරුවොත් පිටින් වැඩම කළ හාමුදුරුවරු. අපේ ව්‍යාකාරණ පොත සිදත් සඟරාව පරිවර්තනයක්.         

 

අද ඔය සම්බන්ධකම්වලට ඊනියා භූදේශපාලන යථාර්ථය කියල නමක් හදා ගෙන. නැහැ ඒක අපේ පඬියකුගෙ යෙදුමක් නොවෙයි. ඒකත් පරිවර්තනයක්. අද අපට සංකල්ප පමණක් නොව විකල්ප ලැබෙන්නෙත් බටහිරින්. අපි එතරම් ප්‍රබුද්ධයි. අර ඉස්කෝලෙ නාට්‍යයෙ විතරක් නොවෙයි ඊනියා ශාස්ත්‍රාලීය අධ්‍යාපනයෙ ඉන්න තරමක් ඉන්නෙ ප්‍රබුද්ධයො. මා වැනි මැන්ටලයක් මුග්ධයෙක් හොයා ගන්න එක අමාරු වැඩක්.

 

ඒකට කමක් නැහැ. අපට අරගල ලැබෙන්නෙත් පිටින්. ඔය ඊනියා අරගලය නැත්තම් පරගලය පිටින් ලැබුණු එකක්. මුලදි එකෙ නායකයෙක් හිටියෙ නැහැ. පක්‍ෂයක් තිබුණෙ නැහැ. පිටින් සංවිධානය කෙරුණු එකකට නායකයකු ඉන්න, පක්‍ෂයක් තියෙන්න බැහැ. ඒක නිර්පාක්‍ෂික අරගලයක් වුණා. නිර්නායක කිවුවෙ නැහැ.  ඒකෙ නායකයා අවශ්‍ය ම නම් බොරිස්    ජොන්සන් කියන්න පුළුවන්. පක්‍ෂය කොන්සර්වෙටිව් පක්‍ෂය  කියන්න පුළුවන්. අද ජොන්සන් නම් නැහැ. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් තියෙනවා.

 

පරගලයට අවශ්‍ය වුණෙ ගෝඨාභය යවන්න පමණක් නොවෙයි රනිල් ගේන්නත්. එයට තෙල් පෝලිම් විතරක් නොවෙයි බැසිල් විමල් උදය වාසු ආදීනුත් දැනුවත්ව හරි නොදැනුවත් ව හරි  විවිධාකාරයෙන් දායක වුණා. ගෝඨාභය සමග මහින්ද යැවුණෙ විශේෂයෙන් ම මෙරට අයගෙ අවශ්‍යතාවට. ඉන්දියාවට හා බටහිරට ගෝඨාභයත් මහින්දත් සිංහලෙන් කියනව නම් පෙන්නන්න බැහැ. දැන් ඒ දෙදෙනාම අපට පේන්නෙ නැහැ. ඔවුන් ගියා විතරයි කුරුන්දි විහාරයට වැට බැඳලා.

 

බටහිර හා ඉන්දියාව මෙහෙය වූ පරගලයට සිංහල ද්වයංගුලි පඤ්ඤාවන්තයන් සහභාගි වුණා. එපමණක් නො වෙයි බිරියානි වටලප්පන් බෙදන්නන් ආධාර කළා. උණ්ඩියල් ව්‍යාපාරිකයන්ගෙන් අහන්න. ජොන්සන්ට අභියෝග කරන්න ජෙප්පන් හා සෙප්පන් ඉදිරිපත් වුණා. අර බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගෙ අන්තරේ ජාත්‍යන්තරේ සමග බැඳුණා. ජෙප්පන් මෙහි නායකත්වය තමන්ගෙ කියල පෙන්නන්න උත්සාහ ගන්නෙ සෙප්පන් සමග ඇති තරගයට. එහෙත් සෙප්පන් නම් යොදා ගැණෙන බව පේන්න තියෙනවා.

 

ඔය අතර ඊනියා සිවිල් සංවිධාන සුපුරුදු පරිදි වමාලා පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් පමණක් නොව ලංකා නීතිඥ සංගමයත් පරගලයට හෝයියා කිවුවා. ජනාධිපති මන්දිරය අල්ලා ගනිද්දි සද්ද නැතුව හිටිය නීතිඥ  සංවිධානය අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ගන්න විට ප්‍රචණ්ඩත්වය ගැන කියන්න පටන් ගත්තා. අග්‍රාමාත්‍ය කාර්යාලය අල්ලා ගැනීම න්‍යාය පත්‍රයේ තිබුණ එකක් වෙන්න බැහැ. එය අන්තරේ අමතර වැඩක් වගේ.

 

ඒ කොහොම වෙතත් අද පරගලය නිමවෙලා. ගෝඨාභය ගිහින්. රනිල් ඇවිත්. තවත් පරගල මොනවාට ද? තෙල් නැවුත් හෙට අනිද්දා එනවා. ඒවා ගෝඨාභයගෙ කාලෙ ඇණවුම් කළ බව කියන්න ජාතික රුපවාහිනිය මහන්සි ගන්න එකක් නැහැ. ඒත් මා දන්නවා එකක්. බැරි වෙලාවත් ඩලස් ජනාධිපති වුණොත් පරගලය යම් මට්ටමකින් හරි නැවත පටන් ගන්නවා. ඩලසුත් මංගල එක්ක සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගියා. ඒත් ඒ මදි.  රනිල් ජනාධිපති වුණොත් සෙප්පන් රනිල් ගෙදර යවන්න ඕන කිය කිය වොයිස්කට් දෙනවා. එංගලන්තෙ හා ඕස්ත්‍රේලියාව ලෝක ගෝලෙ දෙපැත්තක වුණත් එක ම ගෝලයට බෝල යවන්නෙ. දෙගොල්ලම අප පන්දුවට ගෙන ක්‍රිකට් ගහනවා.   සජිත් ගැන කියල වැඩක් නැහැ. දයාසිරි සජිත්ගෙ විකල්ප ආණ්ඩුවක් ගැන කතා කළාට ආණ්ඩුව වෙනස් වෙලා නැහැ. සරත් ෆොන්සේකා දරුවන් ගැන කතා කළාට හමුදාවවත් පාර්ලිමේන්තුවවත් ඔහුට සලකන්නෙ නැහැ. දැන් අර සිස්ටම් චේන්ජ් එකට මොකද වෙන්නෙ.