Main Logo

Sunday 31 July 2022

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

බටහිරයන් පරගලය උගත්තු හා රනිල්

 

පරගලයේ මුල සිට ම එය හුදෙක් ගෝඨාභය රාජපක්‍ෂ එළවීම සඳහා කරන්නක් නොවන බව අප දැන සිටියා. මා බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් වමාලා දකුණලා ජඩමාධ්‍යවේදීන් සරසවි මඬු ඇදුරන් ඇතුළු විද්වතුන් මා මෝඩයකු විහිළුකරුවකු නාකියකු මැන්ටලයක් ආදී වශයෙන් පමණක් නොව කාලකන්නියකු වැනි අභිධානවලින් ද හඳුන්වනවා. මා මුහුණු පොතේ කිසිවකුට ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ නැත්තේ  ඔවුන්ගෙන් එවැනි ප්‍රශංසා ලබා ගැනීමට අනවශ්‍ය බැවින්. ඔවුන්වත් ඔවුන්ගේ ගුරුවරුන්වත් කිසිම අලුත් අදහසක් කියන්නේ නැහැ. සරසවි මඬු කිවුවෙ සරස්වති මණ්ඩපවලට. ආදි කාලයෙ ජම්බුද්වීපයෙහි ශාස්ත්‍ර උගන්වපු තැන් සරස්වතියගේ නමයෙන් සරස්වති මණ්ඩප ලෙස හැඳින්වූවාලු.  ග්‍රීකයෝ හා මෞර්යයෝ කියවන්න.

 

පහුගිය දා එක් පඬි නැට්ටකු නාථ දෙවියන් ගැන සඳහන් කරමින් නාථයා කියා තිබුණා. බොහෝ පඬි නැට්ටන් හාමුදුරුවරුන්ට කියන්නේ කහකඩයන් කියා. නාථ දෙවියන් කියන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ. හාමුදුරුවරුන් සසුනේ මුරදේවතාවුන්වහන්සේ ලෙස සැලකෙනවා. පඬි නැට්ටන් කිසිවකු යේසුස් වහන්සේට යේසුවා වැනි නමක් හෝ කතෝලික ක්‍රිස්තියානි පූජකවරුන්ට අඩු තරමේ පාදිලියා කියා හෝ ලියනවා මා දැක නැහැ. පාදිලි කියන්නේ පාදිරි කියන එකට. සිංහලයේ ර ල මාරුවීමේ රීතිය අනුව එහෙම වෙලා. කරුවල හා කලුවර සලකන්න. පාදිරි කියන එක padre යන්නෙන් බිඳී එන්නක්. එය පියා යන අරුත ඉතාලි ස්පාඤ්ඤ පෘතුගීසි ආදී භාෂාවල ගෙන දෙනවා. කතෝලික පූජකවරුන් ඒ භාෂාවල ඒ නමින් හැඳින්වෙනවා. එය සිංහලට පාදිලි වන්න ඇත්තේ පෘතුගීසි ආභාසයෙන් වෙන්න ඕන.

 

මේ ගැරහීමට හේතුව ඉතා පැහැදිලියි. බටහිර අධ්‍යාපනයෙන් අපට අපේ කමට අගෞරව කිරීමට එකල සෘජුවත් දැන් වක්‍රවත් කියා දෙනවා. පඬි නැට්ටන් නිතර මට කියනවා නාථයාගෙන් අහන්න කියා. මට නාථ දෙවියන්ගෙන් තබා කිසිම මනුෂ්‍ය නොවන ප්‍රාණියකුගෙන් අසා දැන ගැනීමට තරම් ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. ඔය කිසිවකු රාමනුජන් ආධ්‍යාත්මික ව ලබාගත් දැනුමට ගරහන්නේ නැහැ. එයට එක ම හේතුව ඒ දැනුම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්ය හාඩිගේ සම්භාවනාවට ලක්වීමයි. පඬි නැට්ටන් හාඩි ගැන දන්නා ඉටි ගෙඩියක් නැහැ. ඒත් ඔවුන් හාඩිලාට බයයි. මම සිංහයාට බයයි නංගියේ!

 

මා පරගලය ගැන දැන ගත්තේ නිරීක්‍ෂණයෙන් හා ඉවෙන්. අපොයි නැහැ විද්‍යාත්මක ක්‍රමයකින් නො වෙයි. කිසිම ජඩමාධ්‍යවේදියකු මගෙන් තාරකා විද්‍යාව ගැන හෝ විශ්වවේදය ගැන හෝ කිසිවක් නොඇසුවත් මා ඒ ගැන ටිකක් හදාරලා තියෙනවා. ජනමාධ්‍යවේදීන්ගෙන් මගේ අදහස්වලට යම් ප්‍රචාරයක් දෙන්නේ ඉංගිරිසි පුවත්පතක අයකු පමණයි. කළු කුහර යනුවෙන් අපට දැනෙන වස්තු නැහැ. ඒ වැඩිම වුවහොත් පෘෂ්ඨ සමූහයක් පමණයි. එහෙත් පඬි නැට්ටන් කළු කුහර විශේෂඥයන්. ඔවුන් විශ්වවේදය තබා නිවුටෝනීය යාන්ත්‍රිකයවත් දන්නේ නැහැ. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ නැති බව පරික්‍ෂණ නිරීක්‍ෂණ නිගමන විද්‍යාත්මක ක්‍රමය ලෙස සලකන ජඩමාධ්‍යවේදීන් දන්නේ නැතුව ඇති. තාරකා විද්‍යාවට විද්‍යාවක් යැයි කීමට විරුද්ධව යුනෙස්කෝ ආයතනයට පෙත්සමක් යැවුවොත් නරක ද?

 

ඒ කොහොම වුණත් පරගලය ගෝඨාභය ඉවත් කර රනිල් ජනාධිපති කිරීමේ සැලැස්මක් බවත් ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත් කළ විමල් ආදීන් එයට උඩගෙඩි සැපයූ බවත් අප දැනගත්තා. අපට අවශ්‍ය වුණේ ගෝඨාභය ශක්තිමත් කර පරගලය පරාජය කරන්න. මහින්දගෙන් පසු අප දිනේෂ් ගුණවර්ධන හරි සරත් ෆොන්සේකා හරි අගමැතිකමට යෝජනා කෙළේ ඒ අදහසින්. සරත් ෆොන්සේකා ඔය දරුවන් එක් රැයෙන් එළවා දමනවා. අද වුණත් එහි වෙනසක් නැහැ. ඔහු අද හදන්නේ ඊනියා දරුවන් පිටින් බලයට එන්න පමණයි. ඔහු එදා අගමැති වුණා නම් ඔහුට වැඩ කරන්න වෙන්නෙ ජනාධිපති ගෝඨාභය යටතෙ.

 

අප රනිල්ට විරුද්ධ වුණා. ඒ ඔහුගේ බටහිර ගැති ප්‍රතිපත්ති නිසා. බටහිරට වුවමනා කෙළෙ රනිල් ජනාධිපති කරන්න. ගෝඨාභය අවසානයේ දී රනිල් අගමැති ලෙස පත්කළා. ඒ බටහිරින් ආධාර ගැනීමට.  බටහිරයන් අපට ආධාර දෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය අපට ලොකු කොන්දේසි දමා සොච්චමක් දීිමයි. අපට අවශ්‍ය වුණෙ ගෝඨාභය ශක්තිමත් කර පරගලය පරාජය කිරීමට. බටහිරයන් දෙන ආධාරයක් නැහැ. එහෙත් ගෝඨාභයට අවශ්‍ය වුණෙ රනිල් මගින් බටහිරින් ආධාර ලබා ගන්න. ජාමූලට යන්න.

 

බටහිරයන් රනිල් අගමැති කිරීමෙන් සෑහීමට පත් වුණෙ නැහැ. ව්‍යවස්ථාව අනුව ජනාධිපති අස් වුණොත් අගමැති වැඩ බලන ජනාධිපති වෙනවා. පරගලය දිගට ම ගෙන ගියොත් ගෝඨාභය පළවා හැර රනිල් ජනාධිපති කරන්න පුළුවන්. බටහිරයන් හා ඉන්දියාව ඒ බව නොදැන සිටියා නො වෙයි. අර මෝඩ පුත්‍රයන් තම ඊර්ෂ්‍යාව හා වෛරය ප්‍රදර්ශනය කරමින් විවිධ තැන්වල බලහත්කාරකම් කළා. ක්‍රමය වෙනස් කිරීම යන්නෙන් අදහස් කරන්නෙ කුමක් ද යන්නවත් ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන්ට වුවමනා කෙළේ ප්‍රභූන් එළවා තමන් ප්‍රභූන් වන්නට පමණයි. බටහිරයන්ට වුවමනා කෙළේ සිංහල බෞද්ධ සංස්කෘතියට ඉඩක් නොලැබෙන ලෙස ක්‍රමය වෙනස් කිරීමට.

 

පරගලයට විවිධ කණ්ඩායම් එකතු වී සිටියා. ජෙප්පන් හා සෙප්පන් ඉන් ප්‍රධානයි. රනිල්දාසගේ ලාල් කාන්ත බොරු සටන් පාඨයක් ඇදගෙන පර්ලිමේන්තුව වටලන්න යනවා. එය සෙප්පඩ විජ්ජාවක් පමණයි. ඕක පාර්ලිමේන්තුව විසුරුවා හරිනකම් ඕන නම් කිය කියා ඉන්න පුුළුවන්. සෙප්පන් තම ගොඩ ලොකු කර ගැනීමට අලි කතා කියනවා. බොරුපන බොරු රඟපානවා. බටහිරයන්ට ආධාර දෙන්නත් බැහැ. පරගලය අවසන් කරන්නත් ඕන. රනිල්ට දෙවැන්න කරන්න වුණා. ඔහු එයට අදක්‍ෂයෙක් නො වෙයි.

 

ඒත් ආධාර. බටහිරයන් දැන් චීනය පටළවා ගෙන. අපට වැරදුණෙ චීනය හින්දලු. අපොයි නැහැ. අපට වැරදුණෙ අපි හින්දා. ණයට කැම නිසා. ණයට දිවුව නිසා. අර QR කේත ක්‍රමය යටතෙ වාහන ලක්‍ෂ පනහක් පමණ ලියා පදිංචි කරලාලු. ජනගහනය ළමයිනුත් සමග කෝටි දෙකක් පමණ. අවුරුදු දහඅටට අඩු අය අඩු කළොත් කෝටි එකහමාරක් කියමු. එවිට තුන්දෙනෙනකුගෙන් එක් අයකුට වාහනයක් තියෙනවා. සමහර විට බටහිර රටවල් ළඟට ඒක පුද්ගල වාහන සංඛ්‍යාව වැඩිම රට ලංකාව වෙන්න පුළුවන්. බටහිරයන් යුක්‍රේනය නිසා රුසියාව සමග යුද්ධයක. ඔවුන් අප නිසා චීනය සමග පැටළෙන්න අවශ්‍ය නැහැ. අපේ උගතුන්ට විසඳුම් තියෙනවා.  ඔවුන් අර හොරකම් කරපු සල්ලි ගේන්න ගුවන් යානා සොයනවා. ඉන්දියාවට පුළුවන් ද ගුවන් යානයක් දෙන්න.