Main Logo

Wednesday 20 July 2022

ව්‍යවස්ථාව හා අරාජිකත්වය

 

 

ව්‍යවස්ථාව  හා අරාජිකත්වය

 

අද පැවැත්වෙන ජනාධිපතිවරණය මට වැදගත් වන්නේ එක ම එක කරුණක් නිසයි. ඒ ව්‍යවස්ථාව හා රට අරාජික  කිරීම සම්බන්ධයෙන්. අද බොහෝ තැන්වලින් විශේෂයෙන් ප්‍රබුද්ධයන්ගෙන්  ඇසෙන්නේ ව්‍යවස්ඵාව විසි කරන්න වැනි වාචාල කතා. ව්‍යවස්ථාව විසි කරල වැඩ කරන්නෙ කාගෙ වචනයට ද? තම තමන් හිතන විධියට වැඩ කරල වැඩි කලක් යන්න පෙර මෙරට තව තවත් අරාජික තත්වයට පත් කරන්න ඇතැමුනට අවශ්‍ය වෙලා.

 

ඊනියා අරගලය ඉන්දියාව හා බටහිර රටවල් විසින් මෙහෙයවනු ලැබූවක්. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ ආසන්න වශයෙන් නම් තමන් ලත් නන්දිකඩාල් පරාජයට රාජපක්‍ෂලාට දඬුවම් කර ඉවත් කරන්න. ඔවුන්ගේ රටවලට ඇතුල්වීමට ගෝඨාභයට ඉඩ නොදුන්නේ ඔහු යුද අපරාධ කළ නිසා ද? ජනාධිපති මැඳුරේ තමන් වටලා සිටියදීත් වෙඩි නොතැබීමට හමුදාවට අණ කළ නිසා ද? බටහිර හා ඉන්දියානු අවශ්‍යතා ඉටු කර ගැනීමට විමල්ලාගේ සුවාදීන වීම පණින රිලවුන්ට ඉනිමං බැඳීමක් වුණා.  ආර්ථික අර්බුදයට හේතුව රාජපක්‍ෂලා හොරකම් කිරීම යන බොරුව ජප කළා. දැන් රාජපක්‍ෂලා ගිහින්. ඒත් රාජපක්‍ෂ වෛරය සමාජයේ දකින්න පුළුවන්. ඇතැම් දේශපාලන පක්‍ෂවලටත් ඒ වෛරය තියෙනවා. ඒ පක්‍ෂවල ඇතැමුන් තීරණ ගන්නේ ඒ වෛරය මත පදනම් වෙමින්.

 

ඊනියා අරගලයේ නායකයන් හා අනුගාමිකයන් කියන්නේ කුමක් වුවත් ඉන්නේ එක ම තැනක නොවෙයි. අනුගමිකයන්ට රනිල් ඉවත් කරන්නත් අවශ්‍යයි. ඒ රනිල් රාජපක්‍ෂලා රැක ගැනීමට කටයුතු කළා ය යන අදහසින්. රනිල් ගෝඨාභය ආණ්ඩුව රැක්කෙ නැහැ. ඔහු පහුගිය දා විදේශ නාළිකාවකට කිවුවෙත් ඒ ආණ්ඩුවෙ වැරදි. ඔහු තමා ගත් ණය ගැන කිසිම සඳහනක් කෙළේ නැහැ. ඔහු ආර්ථිකය ගැන දන්නෙ ජාමූලෙට යන්න පමණයි.

 

ඔහු හා ඊනියා අරගලයෙ අනුගාමිකයන් අතර අරගලයක් තියෙනවා. අද ඊනියා අරගලයෙ අනුගාමිකයන් නායකයන් පසු කර යන තත්වයකට ඇවිත්. ඒ අනුගාමිකයන් හිතන්නෙ තමන් තමයි රාජපක්‍ෂලා ගෙදර යැවුවෙ කියලා. ඔවුන් අද කියන්නෙ තමන්ට අවශ්‍ය විධියට රට පාලනය කරන්න කියා. රනිල් එයට ඉඩක් නොදෙන බව ඔවුන් දන්නවා. ඩලස් පඬි කතා කියන වැඩක් කරන්න බැරි තමන්ට ඇදගෙන යන්න පුළුවන් අයකු බවත් ඔවුන් දන්නවා.

 

ඩලස් ජනාධිපති වුණොත් රට අරාජිකත්වයට යන එක වළක්වන්න බැහැ. ජාතිකත්වය අතින් රනිල් හා ඩලස් අතර වෙනසක් නැහැ. ඩලස් චන්ද්‍රිකාගෙ කාලෙ මංගල සමග සුදු නෙළුම් රැගෙන අවලම් තවලම් ගිය අයෙක්. ඔහු ප්‍රදර්ශකයෙක්. මැතිවරණයෙන් පැරදුණු වෙලාවෙ ඔහු තම රෙදි පිළි සියල්ල කුඩා පෙට්ටියක දමා ලණුවලින් බැඳ ප්‍රදර්ශනය කළා. ඔහුට වඩා රෙදි පිළි ලට්ට ලොට්ට තිබුණා කියා මට ලජ්ජාවකුත් ඇති වුණා. අද අපට සාමය ගැන කියන සාමය ලබා දීමට බැරි ප්‍රදර්ශකයකු අවශ්‍ය නැහැ.  

 

ඔය පඬි නැට්ටන් දන්න ව්‍යවස්ථාවක් නැහැ. ඔවුන් ව්‍යවස්ථාව විසිකරන්න කියන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. අද තරුණ තරුණියන් තීරණ ගන්නෙ තම හිතළු මත පමණක් පදනම් වෙලා. ඔවුන් හිතන්නෙ තමන් හැම දෙයක් ම දන්න ප්‍රබුද්ධයන් කියා. ඔවුන්ට අනුව මා කිසිවක් නොදත් මැන්ටලයක් පමණයි. මා උගතකු බුද්ධිමතකු යැයි මාත් හිතන්නෙ නැහැ. මා දැන් වයසට ගිහින්. පඬි නැට්ටන් හා මා අතරත් ඇතැම් කරුණු ගැන එකඟත්වයක් තියෙනවා.      

 

මා පසුගිය දා මුහුණු පොතේ එක් දැන්වීමක් මගින් අසා හිටියා වැඩ බලන අගමැතිවරයකු පත් කර තිබේ ද කියා. මා දැන සිටියා ඒ පත් කිරීම නොකළ බව. මා දැන ගැනීම පිණිස කියන්නේ අවශ්‍ය අයට දැන ගන්න. මුහුණු පොතේ දක්වන ප්‍රතිචාර ගැන මා දන්නවා. මා පරීක්‍ෂණයක් ලෙස ඒ ප්‍රතිචාර ඊට කලින් වෙනත් කරුණු සම්බන්ධයෙන් ලබා ගෙන තියෙනවා. වැඩ බලන අගමැතිවරයකු පත් කෙරුණේ නැහැ. එය ප්‍රායෝගික ප්‍රශ්නයක්, දින කිහිපයකට අගමැති වරයකු පත් කිරීම අනවශ්‍ය කියා හිතෙන්න ඇති. එහෙත් ජනාධිපති පත් කෙරුණෙත් වැඩ බැලිමට. මා අදාළ 40 (1)(ඇ) වගන්තිය පහත දක්වනවා.

 

“40(1) (ඇ) ඃ (ජනාධිපති) ධුරය එසේ හිස්වීමත්, නව ජනාධිපතිවරයා ධුරයේ කාර්ය භාර ගැනීමත් අතර කාලය තුළ අග්‍රාමාත්‍යවරයා ධුරයේ වැඩ බැලිය යුත්තේ ය. අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඔහු විසින් අමාත්‍ය මණ්ඩලයේ වෙනත් අමාත්‍යවරයකු පත් කළ යුත්තේ ය.

 

ව්‍යවස්ථාවේ මේ වගන්තියේ කොටසක් පමණක් ක්‍රියත්මක වුණා. ජනාධිපති ධුරයේ වැඩ බැලීමට රනිල් වික්‍රමසිංහ පත් වුණා.  එහෙත් අග්‍රාමාත්‍ය ධුරයේ වැඩ බැලීමට කිසිවකු පත් කෙරුණේ නැහැ. ඉහත සඳහන් වගන්තිය අනුව රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත්වීමෙන් පසු අගමැති ධුරය හිස් වෙනවා. අගමැති ධුරයේ වැඩ බැලීමට වෙනත් ඇමතිවරයකු පත් කළ යුතු වන්නේ එබැවින්. පඬි නැට්ටකු කියා තිබුණේ අගමැති ධුරය හිස් නොවන බවයි. ඒ පඬි නැට්ටන්ගේ හිතළු. පඬි නැට්ටන් අතර හිතළු හුවමාරු වන්නේ කිසිම වග විභාගයක් නැතුව. පඬි නැට්ටන්ට තම වරද පෙන්වූ විට ඔවුන් වෙන අනන් මනන් කියවනවා. ඒ පඬි නැටි හැටි.

 

අග්‍රාමාත්‍ය ධුරය හිස් වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙනවා. ඒ බව කියැවෙන්නේ ව්‍යවස්ථාවේ 49(1) වගන්තියෙන්. ඒ මෙසේයි. "49 (1) ඃ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් මහා මැතිවරණය අවසාන වීමත්අතර කාලය තුළ හැර, ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් හෝ අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට, 70 වන ව්‍යවස්ථාව යටතේ ස්වකීය බලතල ක්‍රියාත්මක කරමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇතොත් මිස, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේය.... …"

 

මෙයින් කියැවෙන්න පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස පත් වූ විගස හිටපූ අමාත්‍ය මණ්ඩලය විසිරුණා. රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස ඊනියා ඇමති මණ්ඩල රැස්වීම් පවත්වා ඇත්නම් ඒ එකක්වත් වලංගු නැහැ. ඊනියා අමාත්‍යවරුන් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා නම් ඒ වලංගු නැහැ. එහෙත් මා හිතන්නෙ නැහැ කිසිවකු මේ සම්බන්ධයෙන් අධිකරණයට යාවි කියා . 

 

මා මේ කරුණ සඳහන් කෙළේ ප්‍රබුද්ධ පරපුර ක්‍රියා කරන ආකාරය පෙන්වීමට. රනිල්ටවත් ඩලස්ටවත් ප්‍රබුද්ධයන්ටවත් ව්‍යවස්ථාව විසි කරල වැඩ කරන්න බැහැ.  අරාජිකත්වය පරාජය කරන්න පුළුවන් ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමෙන් මිස හිස් ප්‍රබුද්ධ කතා දෙඩීමෙන් නො වෙයි.