Main Logo

Tuesday 10 March 2015

ජාතික ආණ්ඩුව පරාජය කරමු

ජාතික ආණ්ඩුව පරාජය කරමු

අප කලින් කියා ඇති පරිදි අප්‍රියෙල් 23 වැනි දාට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂය නමින් තවමත් හැඳින්වෙන එහෙත් මූලික වශයෙන් ඉන්දියාව විසින් නැටවෙන ඉන්දීය (හා බටහිර) ගැති පක්‍ෂයට ය. එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය අප්‍රියෙල් 23 වෑනි දාට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඒ අලුත් පාර්ලිමේන්තුව මත පදනම් වෙමින් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහීිටුවීමට ය.
තරුණයන්ගෙන් සමන්විත නොවූවත්, එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජනතා විමුක්ති පෙරමුණට ද අප්‍රියෙල් 23 වැනි දිනට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නො වේ. අනුර දිසානායකගේ කතාවලින් ඒ බව පැහැදිලි වෙයි. 

මේ දෙගොල්ලන්ට ඇත්තේ අරමුණු දෙකකි. එහෙත් කවදා ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවත් එය ජාතික ආණ්ඩුවක් නොව විජාතික ආණ්ඩුවක් වනු ඇත. එ ජා පක්‍ෂයේ සිතුම් පැතුම් අනුව ඉක්මණින් මැතිවරණයක් පැවැත්වීම ඒ පක්‍ෂයට වාසි ය. ඔවුන්ට අනුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වුයේ එ ජා පක්‍ෂ හා දෙමළ හා මුස්ලිම් ඡන්දවලිනි. එසේ සිතීමෙහි වරදක් ඇතැයි මම නො කියමි. එ ජා ප නායකත්වයට අනුව ඉක්මණින් මැතිවරණයක් පැවැත්වුවහොත් ඒ ඡන්ද ඒ අයුරින් ම ලැබෙනු ඇත. එවිට එ ජා පක්‍ෂයට හා දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවලට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ යම් පිරිසක් ද සහභාගි කරවමින් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම එ ජා පක්‍ෂයේ නායකත්වයේ අභිප්‍රාය වෙයි.

එහෙත් එයට කලින්, එනම් අප්‍රියෙල් 23 වැනි දාට කලින් හදිසි පණතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමට එ ජා පක්‍ෂය බලාපොරොත්තු වෙයි. එහි අරමුණ ලෙස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කිරීම ගැන කතා කළ ද එ ජා පක්‍ෂයට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපති බලතලවලින් යම් ප්‍රමාණයක් ඉවත්කර ඒ අගමැති යටතට පත්කිරීම ය. ඔවුන් දන්නා කරුණ නම් මෛත්‍රිපාල සිරිසේන  අවුරුදු හයකට ජනාධිපති බව ය. මොන කතා කීවත් අවුරුදු හයක් පවත්නා බලතල ඇතිව මෛත්‍රිපාල  සිරිසේන ජනාධිපති වශයෙන් සිටීම එ ජා පක්‍ෂයට අනුමත කළ නො හැකි ය. එ ජා පක්‍ෂයේ සැලැස්ම මැතිවරණයෙන් පසු බලගතු විපක්‍ෂයක් නැතිකර ජාතික ආණ්ඩුවක් නමින් විජාතික ඒකාධිපතිවාදයක් මෙරට බිහි කිරීම ය.

ශ්‍රී ල නි ප එයට අකමැති වීම පුදුමයක් නො වේ. එ ජා ප මැතිවරණයකට සූදානම් නමුත් මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප සූදානම් නැත. අනෙක් අතට මෛත්‍රිපාල කුමක් කීවත් ඔහු විධායක බලතල හදිසියේ අහිමි කරගෙන හිස දන්දීමට සූදානම් නැත. මෛත්‍රිපාලටත් ඔහු වටා සිටින චම්පික හා රාජිත ඇමතිවරුන්ටත් ශ්‍රී ල නි ප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරාටත් නිමල් සිරිපාල ආදීන්ටත් අවශ්‍ය වන්නේ මහා මැතිවරණය කල්දමා ගැනීමට ය. ඔවුන්ට මූලික වශයෙන් අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීම ය.  

මහින්ද රාජපක්‍ෂට දඬුවම් කර ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර ඔහු සදහට ම දේශපාලනයෙන් ඉවත්කිරීම ඉහත සඳහන් සියල්ලන්ගේත් බටහිරයන්ගේත් ඉන්දියාවේත් ප්‍රධාන අරමුණ වෙයි. ජේ ආර්, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කළ ආකාරයට මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීම බටහිරයන්ට විශේෂයෙන් ම අවශ්‍ය වෙයි. මෙරටින් බිහි වූ විශිෂ්ට ම යටත්විජිත විරෝධී රාජ්‍ය නායකයන්ගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීම බටහිර යටත්විජිතවාදීන්ට අවශ්‍ය වීම පුදුමයක් නො වේ. අද ගෝඨාභයට පහර දෙන්නේ මහින්දට පහර දීමේ පූර්විකාවක් ලෙස ය. 

එ ජා පක්‍ෂය මැතිවරණයක් පැවැත්වීම ඉක්මන් කරන්නේත් මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය කල් දමන්නේත් ඒ ඒ පක්‍ෂයට බලයට පත්වීමට ඒ අනුව හැකිවේය යන බලාපොරොත්තුවෙනි. එහෙත් ඒ සියල්ලන්ට ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සදහට ම ඉවත් කිරීම ය. මෛත්‍රිපාල එමගින් ශ්‍රී ල නි පක්‍ෂය තම ආධිපත්‍යය යටතට ගැනීමට ද ඒ අවස්ථාවක් කර ගනියි. මහින්ද රාජපක්‍ෂ යනු අද දවසේ යටත්විජිත විරෝධයේ සංකේතය වෙයි. මහින්ද නැති රට බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ යටත්විජිතයකි. ඊනියා ජාතික රාජ්‍යය මැතිවරණයට පෙර ද පසු ද යන්න වැදගත් වන්නේ බලයේ සිටින්නේ මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය ද නැත්නම් එ ජා පක්‍ෂය ද යන්න තීරණය කිරීමට මිස වෙනත් දෙයකට නො වේ. අද කළ යුතු ප්‍රධාන ම කරුණ නම් රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය පරාජය කිරීම ය.  
   
නලින් ද සිල්වා

2015 මාර්තු 10