Main Logo

Tuesday 3 March 2015

ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට වාරණයක්

ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන්ට වාරණයක්

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙනත් පක්‍ෂ සංවිධානය කරන රැස්වීම්වලට සහභාගි නොවන ලෙසටත් තම පෞද්ගලික මත ප්‍රචාරය සඳහා මාධ්‍ය සාකච්ඡා නොපවත්වන ලෙසටත් වාරණයක් පණචා ඇත. මෙයින් කියැවෙන්නේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරයකුට වෙනත් පක්‍ෂයක් සංවිධානය කරන රැස්වීමක් නැරඹීමට, එහි පැවැත්වෙන කතා ඇසීමට යෑමට තහනම් බව යැයි සිතිය නො හැකි ය. එවැනි ක්‍රියාවක් තහනම් කිරීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට අයිතියක් නැත.
එය මන්ත්‍රීවරයකුගේ පෞද්ගලික අයිතියකි. මධ්‍යම කාරක සභාවට කළ හැක්කේ මන්ත්‍රීවරයකු වෙනත් පක්‍ෂයක් සංවිධානය කරන රැස්වීමක වේදිකාවට නැගීම, එවැනි රැස්වීමක කතාකිරීම වැළැක්වීම පමණකි. 

කෙසේ වෙතත් මේ වාරණය මෛත්‍රිපාල සිරිසේනගේ අවශ්‍යතාවට කළ එකක් බව පැහැදිලි ය. පසුගිය දහඅටවැනි දා පැවති නුගේගොඩ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රින්ට ඔහු දොස් කියූ බව ද ඔවුන් එසේ සහභාගි වීම වැළැක්වීමට කටයුතු නොකිරීම පිලිබඳ පක්‍ෂයේ ලේකම්ට හා ජාතික සංවිධායකට වරද පැටවූ බව ද වාර්තා විය. එහි සහභාගිවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි සඳහන් ව නො තිබිණි. එහෙත් ශ්‍රී ල නි ප මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් නුගේගොඩ රැස්වීමේ වේදිකාවේ වූහ.

මේ වාරණ අවසානයේ දී ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධව ය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු ජනතාවගේ හදවත් තුළ ජයග්‍රහණය කර ඇත. අද මෙරට ජනප්‍රිය ම දේශපාලනඥයා මහින්ද රාජපක්‍ෂ ය. ඒ බව නොතේරෙන්නේ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන වැන්නන්ට ය. තමන්ට නැවතත් දේශපාලනයට පැමිණිය හැකි යැයි සිතූ චන්ද්‍රිකා ආපසු එංගලන්තයට ගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ කෙසේ වෙතත් තමන්ට මහින්දට තරගයක් දිය නොහැකි බව ඇය තේරුම් ගන්නට ඇත. 

ඊනියා මහින්ද රෙජිමය පරාජය කිරීමෙන් සෑහීමකට පත් වී නොමැති දේශීය හා විදේශීය විජාතික බලවේග බටහිර හා ඉන්දීය ඔත්තු සේවා ද යොදා ගනිමින් මහින්ද මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීමට උත්සාහ කරයි. එහි දී වඩාත් උනන්දුවෙන් ක්‍රියා කරන්නන් අතර මෛත්‍රිපාල, රාජිත හා චම්පික වෙති. මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති බලතල කප්පාදු කර ඒ බලතල යම් ප්‍රමාණයක් අගමැතිට පවරා මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට පවා ඔවුන් සූදානම් බව පැහැදිලි ය. එක් පුද්ගලයකු කෙරෙහි මෙතරම් වෛරයකින් සුළු පිරිසක් මෙයට පෙර කටයුතු කර නැත. 

මේ වාරණවලින් ජනතා කැමැත්ත බැඳ තැබිය හැකි නො වේ. වාරණ පනවන්නේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම සඳහා එක්සත් ජනතා සංධානයේ ම පක්‍ෂ කිහිපයක් සංවිධානය කරන රැස්වීම් එල්ල කරගෙන බව පැහැදිලි ය. මේ අනෙක් පක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂය සමග සංසන්දනය කිරීමේ දී කුඩා පක්‍ෂ බව සැබෑ ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නොමැති ශ්‍රි ල නි පක්‍ෂය අද දවසේ එයටත් වඩා කුඩා පක්‍ෂයක් වනු ඇත. 

අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගන්නා අදුරදර්ශී තීරණ හේතුකොට ගෙන යම් අයුරකින් මහින්ද රාජපක්‍ෂ ඒ කුඩා යැයි කියන පක්‍ෂ සමග එකතු වී මැතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රි ල නි පක්‍ෂයේ නායකත්වයට මැතිවරණයේ දී අන්ත පරාජයක් හිමිවීම වැළැක්විය හැකි නො වේ. ශ්‍රි ල නි ප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඒ කුඩා යැයි කියන පක්‍ෂවල සංධානයට එකතු වනු ඇත.

නලින් ද සිල්වා

2015 මාර්තු 03