Main Logo

Sunday 22 March 2015

ජාතික ආණ්ඩුව අද හෙට

ජාතික ආණ්ඩුව අද හෙට

එක පුද්ගලයකු වටා මෙරට දේශපාලනය කැරකැවෙන්නේ පළමු වතාවට නොවූව ද 1948න් පසුව එවැනි අවස්ථාවක් ගැන සිහියට නො නැඟෙයි. අද බටහිරයන්ට, විශේෂයෙන් ම එංගලන්තයට හා ඇමරිකාවට, ඉන්දියාවට, ඔවුන්ගේ ඔත්තු සේවාවලට, ඔත්තු සේවාවල මෙරට ඒජන්තයන්ට, ඊනියා රාජ්‍ය නොවන පඬියන්ට, විශ්වවිද්‍යාලවල හා පර්යේෂණ ආයතනවල තුට්ටු දෙකේ පර්යේෂකයන්ට, එ ජා පක්‍ෂයට, මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වෛරයෙන් පෙළෙන නිවට ශ්‍රී ල නි ප නායකයන්ට, සිංහලයන්ට විරුද්ධ එහෙත් සිංහලකම බලයට පැමිණීම සඳහා යොදා ගන්නා ජාතික හෙළ උරුමයේ වෛරී  කුහක නායකයන්ට, දෙමළ ජාතිවාදී පක්‍ෂවලට, එ ජා ප තරූණ සංවිධානය වූ ජ වි පෙරමුණට, ඇත්තේ එකම එක අරමුණකි.
ඒ මහින්ද රාජපක්‍ෂට දඬුවම් කර හැකිනම් ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කර, ඔහු දේශපාලනයෙන්  මුළුමනින් ම ඉවත් කිරීම ය. බටහිරයන්ට තර්ජනයක් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට කළ දෙය මහින්ද රාජපක්‍ෂට ද කිරීමට ඔවුහු බලාපොරොත්තු වෙති. 

ඒ සියල්ල පිටුපස සිංහල ජාතිකත්වය නැතිකර දෙමළ ජාතිවාදයට කප්පන් දීම ද බටහිර ගැති ඉන්දීය පක්‍ෂපාත චීන විරෝධී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද වෙයි.  ඒ අතර ඔවුනොවුන්ගේ භේද හා පෞද්ගලික න්‍යාය පත්‍ර ද ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන අපේක්‍ෂාවට හානියක් නොවන පරිදි ඔවුහු ඇතැම් විට පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනස් කරති. අගමැතිකමට නීත්‍යානුකූල ව පත් නො වී එය පික්පොකට් ගැසූ රනිල් වික්‍රමසිංහට මෙතෙක් අවශ්‍ය ව තිබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක බලතල තමන් අතට පවරාගෙන අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකේ බලය සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවා ඉන්පසු ඊනියා ජාතික රාජ්‍යයක් ඇතිකර දෙමළ ජාතිවාදයට කප්පන් දෙමින් මහින්ද දේශපාලනයෙන් අතුගා දැමීම ය. 

එහෙත් අද එය කළ නොහැකි බව රනිල් මෙන් ම බටහිරයන් ද ඉන්දීයයන් ද තේරුම් ගෙන ඇත. එබැවින් තමන්ගේ ප්‍රධාන අරමුණ ඉටුකර ගැනීමට කෙටිකාලීන න්‍යාය පත්‍ර වෙනස් කිරීමට ඔවුන් තීරණය කර ඇත. ශ්‍රී ල නි ප නිවට නායකයන්ට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා මහින්දට පහර ගැසීම ය. එය ඉටු නොවේ යන බියක් ඔවුන්ට නොතිබුණා නො වේ. ඔවුන්ගේ නියෝජිත පිරිසක් මහින්ද හමුවූයේ ද ඒ බිය නිසා සම්මුතියකට පැමිණීමට ය. එහෙත් මහින්ද නියෝජිත පිරිසට බඩකට පුරා දුන්නේ ය. තමන්ට මහින්ද ඉවත්කිරීමෙන් මිස වෙනත් ක්‍රමයකින් බලයට පැමිණීමට නොහැකි බව ඔවුන් තේරුම් ගෙන ඇත.

මේ සියල්ලෙහි ප්‍රතිඵලය වී ඇත්තේ අද හෙට ම ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනත් ආකාරයකින් ගෙන ඒමටත් රනිල, මෛත්‍රිපාල හා විදේශීය බලවතුන් අතර එකඟතාවක් ඇතිකර ගෙන තිබීම ය. ඒ අනුව හතළිහක පමණ කැබිනට් මණ්ඩලයක් ද එයට අමතර ව රාජ්‍ය ඇමතිවරුන් ද නියෝජ්‍ය ඇමතිවරුන් ද සහිත ආණ්ඩුවක් අද හෙට පිහිටුවනු ඇත. ඒ ගැන මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන් කියන්නේ කුමක් ද යන්න පුවත් නැතිව ජීවත්වීමට නොහැකි ජනමාධ්‍යවේදීන්ට හැරෙන්නට අනෙක් අයට ප්‍රශ්නයක් නොවනු ඇත. ඊනියා ජාතික විධායක සභාවේ හිඳිමින් ජාතික ගීය දෙමළෙන් ගැයීමට එකඟ වූ ජාතික හෙළ උරුමයට  මේ එකක්වත් ප්‍රශ්න නො වේ. ඔවුන්ට ඇත්තේ ජාතික හෙළ උරුමයට 2020 දී බලය ගැනීමේ සිහිනය පමණකි. රතන හිමියන් තම සිහිනය ජාතිය මත පැටවීමට කතා කළේ නිකම් ම නො වේ. 

අද ඔවුන් සියළු දෙනාම උත්සාහ කරන්නේ කෙසේ නමුත් මේ පාර්ලිමේන්තුවේ කාලයේ ම ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවා තුනෙන් දෙකේ බලය ගෙන රනිල්ට මෙන් ම මෛත්‍රිපාලට ද ගැලපෙන පරිදි වවස්ථාව සංශෝධනය කර රාජපක්‍ෂවරුන් එළවා දැමීම හා දෙමළ ජාතිවාදයට කප්පන් දීම අවුරුද්දක දී සිදුකිරීමට ය. මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකර ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය මගින් ඔහු බටහිරයන්ගේ (ඊනියා ජාත්‍යන්තර) අධිකරණයකට යොමු කිරීම ද එහි දී සිදුවනු ඇත. එහි පළමු පියවර ලෙස ගෝඨාභය රාජපක්‍ෂට දඬුවම් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. 

මේ පාර්ලිමේන්තුව තවත් අවුරුද්දක් පවත්වාගෙන යා හැකි ය. එහෙත් ඉහත සඳහන් කරුණු අවුරුද්දක දී සිදු කර ගැනීමට නොහැකි වුවහොත් තුනෙන් දෙකේ බලයක් තිබුණහොත් ඔවුන් මැතිවරණ සිතියම අකුළා දැමීමට වුවත් කටයුතු කරනු ඇත. වැදගත් දින සියය නොව වැඩ සියය වැනි තකතීරු සටන් පාඨයක් එහි දී යොදාගැනීමට ඉඩ ඇත. එබැවින් අද කළ යුත්තේ රනිල් මෛත්‍රිපාලට තුනෙන් දෙකේ බලයක් නොදීමට ශ්‍රී ල නි පක්‍ෂයේ දේශප්‍රේමීන් කටයුතු කිරීම ය. ඊනියා ජාතික ආණ්ඩු සංකලපය ක්‍රියාත්මක වුවත් තුනෙන් දෙකේ බලයක් නොදීමෙන් විජාතික බලවේගවල අභිප්‍රාය පරාජය කළ හැකි ය. බලලෝභී නිවටයන් ශ්‍රී ල නි පක්‍ෂය පාවා දී ඇමතිකම් ගැනීම අපට වැළැක්විය නො හැකි ය. එහෙත් ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය රැකගෙන ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අහිමි කිරීමට ජාතික ව්‍යාපාරයට කටයුතු කළ හැකි ය.
    
නලින් ද සිල්වා

2015 මාර්තු 22